“සල්මන් ඛාන් අපේ රටේ මං කැමතිම නළුවා කිව්වොත් හරි. ඉතින් නවක නිළියක් විදියට ඔහුත් එක්ක රඟපාන්න මට ලොකු හීනයක් තිබුණා. හැබැයි මං හිතුවේ නෑ මගේ පළවැනි චිත්‍රපටයෙම ඔහු එක්ක රඟපාන්න වාසනාව උදාවෙයි කියලා. එහෙම බලනකොට මං පුදුම වාසනාවන්තියක්.”
එදා අභිනව් කාශ්‍යප් අධ්‍යක්ෂණය කරපු ‘ඩබාන්ග්’ චිත්‍රපටයේ සොනක්ෂිට ඒ ලැබුණා වගේම අවස්ථාවක් 2011 වසරෙදි අපේ රටේ තරුණියකටත් ලැබුණා. ඒ නිපුනිකාට. ඇයගේ වචනවලින්ම කිව්වොත් ඒ කතාව මෙහෙමයි.
“මාලිනී ෆොන්සේකා මහත්මිය කියන්නේ මං කැමතිම නිළියක්. ඉතින් ඇයත් එක්ක එකට රඟපාන්න ලැබෙනවා කියන්නේ කෙනෙක්ට ලේසියෙන් නොලැබෙන දුර්ලභ අවස්ථාවක්. ඒ අවස්ථාව එදා මට ලැබුණා. ඒක තවත් විශේෂ වෙන්නේ ඒ අවස්ථාව මට ලැබුණේ මගේ පළමු නිර්මාණයේදි. අදටත් මං ඒ ලැබුණු අවස්ථාව ගැන හිතලා සතුටුවෙනවා.”
එදා ස්වණවාහිනී නාලිකාවේ විකාශනය උනු නාලන් මෙන්ඩිස් අධ්‍යක්ෂණය කළ ‘දූවරු’ ටෙලිනාට්‍යය හරහා ඒ අපූරු අවස්ථාව ලැබුණේ මෑත කාලයේ ජනප්‍රිය නිළියක් වෙන නිපුනිකා දිසානායකට. එදා ඒ ආශිර්වාදාත්මක රංගන ප්‍රවිෂ්ඨය නිසාම වසර 15කට ආසන්න කාලයක් ගතවුණත් අදටත් නිපුනිකාට තියෙන ප්‍රේක්ෂක ආකර්ෂණයේ වෙනසක් නෑ. ඒ නිසාමයි මෙවර ‘ධරණී’ කවරයට පෙනී ඉන්න වගේම සොඳුරු කතාබහක නියැලෙන්න ඇයට ආරාධනා කළේ.
*නිපුනිකා රංගන කටයුතු එහෙම කොහොමද?
“වසර කීපයක් මං රංගන කටයුතුවලින් පොඩි විරාමයක් අරන් හිටියා. හැබැයි වෙළඳ දැන්වීම් සහ සමාජ මාධ්‍යවල විවිධ සන්නාම එක්ක ඒ කාලෙදි වැඩ කළා. නිවේදන කටයුතුවලට සහ හඬකැවීම් කටයුතුවලටත් දායකවුණා. දැන් මට හිතෙනවා විරාමය ඇති කියලා. ඒ නිසා ඉදිරියේදි සුපුරුදු විදියටම රංගන කටයුතුවලට දායකවෙන්න හිතාගෙන ඉන්නවා.”
නිළියක් විදියට නිපුනිකාට ආදරය කරන ආදරණීය ප්‍රේක්ෂකයින් වෙනුවෙන් කතාබහ ආරම්භයේදිම ඒ විදියට සුබ ආරංචියක් දුන්නු නිපුනිකා, ඈ රංගන ක්ෂේත්‍රයට ආපු අතීතයත් මේ විදියට සිහිපත් කළා.
“ඇත්තටම මට රංගනයට එන්න ලැබුණේ හරි අහම්බෙන්. උසස් පෙළ විභාගය අවසන්වීමත් එක්ක මට ගුවන්විදුලි නාලිකාවකට සම්බන්ධ වෙන්න ලැබුණා. එහි මං අවුරුද්දක් පුරාවට ඉංග්‍රීසි ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට වැඩ කළා. එතැනින් පස්සේ දෙරණ නාලිකාවට සම්බන්ධ වෙලා එහි උදෑසන වැඩසටහන්වල නිවේදිකාවක් විදියට වැඩ කළා. ඒ ඉන්නකොට තමයි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ නාලන් මෙන්ඩිස් මහත්තයා මං දැකලා දෙරණ නාලිකාවේ විශ්ව ලංකා හරහා මාව ඔහුගේ ‘දූවරු’ ටෙලිනාට්‍යයට සම්බන්ධ කරගත්තේ. ඒ 2011 අවුරුද්දේ.”
එතැන් පටන් නිපුනිකා පුංචි තිරයේ නිතර දකින්න ලැබුණු රුවක් වුවත් පළමු ටෙලිනාට්‍ය අත්දැකීම කිසිම දිනක අමතක නොවන එකක් බවයි ඇය පැවසුවේ.
“නාලන් මෙන්ඩිස් මහත්තයා වගේ අපේ රටේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකුගේ නිර්මාණයකට ආරාධනා කළාම මට හිතාගන්න බැරිවුණා. ඒ වගේම එහි රඟපාන්න තිබුණේ ඒ වෙනකොට හිටපු ප්‍රවීන නළු නිළි කැළක් එක්ක. මං මුලින් කියපු විදියට මාලිනී ෆොන්සේකා මහත්මියත් ඒ අතර හිටියා. ඒ නිසා ගෙවුණු අවුරුදු 15 පුරාවටම මං කොයිතරම් නිර්මාණවලට දායකවුණත් ඒ අතරින් දූවරු කියන්නේ මට රඟපාන්න ලැබුණු සුවිශේෂීම ටෙලි නිර්මාණයක්.”
හැබැයි නිපුනිකාට ‘දූවරු’ ටෙලිනාට්‍යය සුවිශේෂී එකක් උනාට, ඇයට ආදරේ කරන ප්‍රේක්ෂකයින්ට නම් නිපුනිකාගේ සුවිශේෂිම නිර්මාණය වුණේ ස්වාධීන රූපවාහිනියේ (ITN) විකාශනය උනු ‘පබසරා’ ටෙලිනාට්‍යය කියලයි අපිට හිතුණේ.
“ඔව් ඒක මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය උනු නිර්මාණය කිව්වොත් හරි. මාව නොදන්න ප්‍රේක්ෂකයෝ පවා මාව දැනගත්තේ පබසරා හරහා. ඒ වගේම වයස් භේදයක් නැතුව ලොකු ප්‍රේක්ෂක ආකර්ෂණයකුත් මට ලැබුණා. එදා ඒ ටෙලිනාට්‍යය නරඹපු සමහර ප්‍රේක්ෂකයෝ අදත් මට කතා කරන්නේ ඒ නමින්. ඊට අමතරව මං රඟපෑ රන්තරු සහ අහස් මාලිගා ටෙලිනාට්‍ය දෙකටත් ඉතා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා.”
වසර 15ක රංගන මතක අස්සේ අමතක නොවන දවස් නොතිබෙන්න විදියක් නෑනේ. ඒ ගැන අහලා බැලුවමයි ‘පබසරා’ ටෙලිනාට්‍යයේ රූගතකිරීම් අතරවාරෙදි නිපුනිකා මුහුණදුන් ඇඟ කිලිපොලා යන සිදුවීමක් ගැන මේ විදියට විස්තර කළේ.
“ඒ ටෙලිනාට්‍යය රූගත කළේ ගමක. ඒකෙ මීට කලින් මං ජීවිතේ කවදාවත් කරලා නොතිබුණු දේවල් ගණනාවක් කරන්න තිබුණා. මට තාමත් මතකයි හරක්ගෙන් කිරි දොවන්න, ගස් උඩ නගින්න, වැවේ පීනන්න වගේ ගොඩාක් දේවල් තිබුණා. මේ මං කියන සිදුවීම වුණේ වැවේ පීනපු දවසේ. එදා පීනලා ගොඩට ඇවිත් මං මහන්සි නිසා ඉඳගෙන හිටියා. ඒ වෙලාවේ එතැනට ආපු ගමේ කෙනෙක් කිව්වේ නැද්ද මං පීනපු තැන නිතරම මිනිස්සු බිලිගන්නවා කියලා. එහෙම කිව්වම එකපාරම මං ගැස්සිලා ගියා. ඇයි ඉතින් මොනතරම් අවදානමක්ද මං අරන් තිබුණේ. ඒ සිදුවීම මතක් වෙනකොට අදටත් හිතට බයක් දැනෙනවා.”
*ගොසිප්වලට අහුනොවුණු එකම නිළිය ඔබද?
“(සිනාසෙමින්) එහෙම වෙන්නත් පුළුවන්. මම හිතන්නේ මං ක්ෂේත්‍රයේ ඉන්න විදියට කිසිම විදියකින් මට ගොසිප් හදන්න බැරිවුණා. කලා ක්ෂේත්‍රය වගේ ගොසිප්වලින් අඩුවක් නැති තැනක වසර ගාණක් ඉඳලත් ගොසිප් හැදුනේ නැති එක ගැන සතුටුයි.”
මේ වෙනකොට ලංකාවම දන්න නිළියක් උනාට මොකද නිපුනිකාට පුංචි කාලේ සිහින කීපයක්ම තිබිලා. හැබැයි ඒ අතර අනාගතයේ නිළියක් වන සිහිනයක් නම් ඇයට තිබිලම නෑ.
“එක කාලෙක මට ගුවන් සේවිකාවක් වෙන්න ඕන වුණා. ඊටපස්සේ නීතිඥවරියක් වෙන්න හිතුවා. හැබැයි මාධ්‍ය ක්ෂේත්‍රයට පැමිණීමත් එක්ක ඒ හීන වෙනස් වුණා. කොහොම උනත් දැන් ඉන්න තැනත් එක්ක ඒ හීනවලට නොගියා කියලා පසුතැවීමක් නෑ.”
ලහිරු දිසානායක. ඒ තමයි නිපුනිකාගේ ආදරණීය සැමියා. මේ ඔහුත් එක්ක ගෙවන ජීවිතය ගැන, ඇය අපිත් එක්ක කියපු කතාව.
“අපි විවාහවුණේ 2021 වසරේ මුල. දැන් අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුවට දැන් වයස අවුරුදු 4ක්. පුතාට එකහමාරයි. අපි සතුටින් ජීවත්වෙනවා. විවාහ වෙනකල් මගේ ළඟින් හෙවණැල්ලක් වගේ හිටියේ අම්මා. එයා මාව ගොඩාක් පරිස්සම් කළා. දැන් ඒ වගකීම මගේ හස්බන්ඩ් කරනවා. කලා කටයුතුවලදි උනත් ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. දරු දෙන්නෙක් ඉන්න මවක් විදියට ඇත්තටම ඒක මට ලොකු පහසුවක්.”
*මවක් කියන හැඟීම දැනෙන්නේ කොහොමද?
“ඇත්තටම ඒ හැඟීම මට මෙහෙමයි කියලා විස්තර කරන්න තේරෙන්නේ නෑ. ඒත් මම හිතනවා මගේ ජීවිතේ සර්ව සම්පූර්ණ වුණේ මගේ දුව ලැබුණු දවසේ කියලා. ගැහැනියක් මව් පදවිය ලැබුවා කියන්නේ ඇය රැජිනක් වුණා හා සමානයි කියලා මං ලස්සන කතාවක් අහලා තියෙනවා. දුව ලැබුණු දවසේ මටත් හිතුණා මාත් දැන් රැජිනක් කියලා.”
මවක් උනු හැඟීම ඒ විදියට හැඟීම්බර වචනවලින්ම කියපු නිපුනිකාගෙන් නොඅසා බැරි ප්‍රශ්නයකුත් අපට තිබුණා. සමහරවිට නිපුනිකා දැක්කම කියවන ඔබටත් ඒ ප්‍රශ්නය එන්න ඇති. ඒ ඉලක්කම්වලින් වයසට ගියාට වයසට නොයන ඇගේ පෙනුම ගැන. ඒකට ඇය දුන් පිළිතුර තමයි මේ.
“(සිනාසෙමින්) ඒකට රහසක් නෑ. මම නිතරම හිනාවෙලා සතුටින් ඉන්න කෙනෙක්. හුඟාක් සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. ඒ වගේමයි මං මට හරි ආදරෙයි. ඒක නිසා මම හරිම ආදරෙන් මාව බලාගන්නවා. ඒ දේවල්වල ප්‍රතිඵල වෙන්න ඇති ඒ...”
එහෙම කියපු නිපුනිකා අපේ කතාබහට සමුදුන්නේ මෙතෙක් කාලයක් පුරාවට ඇයට නිළියක් විදියට ආදරේ කළ ප්‍රේක්ෂක ඔබවත් ආදරෙන් සිහිපත් කරමින්...