පැය 24 යන්න කලින්වයිරල් වුණු සණුකගේ අලුත්ම සිංදුව ඉතිං මම ඉන්නවා -සණුක වික්‍රමසිංහ

gossiplanka image 1
සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්, නමුත් සංගීතය පුළුවන් හැමෝටම තමන්ගේ ජන කෝට්ඨාසයෙන් එළියේ ඉන්න පිරිසගේ හදවත් ස්පර්ශ කරන්න හැකියාවක් නැහැ. අපි මේ අද කතා කරන තරුණ සංගීතඥයාට ඉතාමත් අඩු වයසකදීම තමන්ගේ සංගීතය හරහා ජාත්‍යන්තරය ආකර්ෂණය කරගන්න හැකියාව ලැබෙනවා. පිය උරුමයෙන් ලැබුණු සංගීත ගමන තුළ තමාටම අනන්‍ය වූ මාවතක් සකසාගත් ඔහු නමින් සණුක වික්‍රමසිංහ, ඔහුගේ නවතම ගීතය වුණු “ඉතින් මම ඉන්නවා” ගීතයට ලැබෙන අති විශාල ජනාදරයත් එක්ක  අපිට හිතුණා ඔහු එක්ක කතා කරන්න. 


ඉතිං මම ඉන්නවා ගැන කියලම කතාව පටන් ගමු?


මගේ අලුත්ම ගීතය ”ඉතින් මම ඉන්නවා” දැන් දින කිහිපයකට කලින් රිලීස් වුණා. ඒ ගීතයේ පද රචනය, තනු නිර්මාණය, ගායනය සියල්ල මගේ අතින් සිද්ධ වුණේ. ඒකේ රූප රචනය කළේ චමිල් පතිරණ අයියා. ඔහුගේ විශේෂත්වය වෙන්නේ මීට අවුරුදු 10කට කලින් මගේ පළමු වැනි මියුසික් වීඩියෝ එක වුණු ”මල් වියන්” ගීතයේ රූප රචනාව කළෙත් ඔහු. ඒ වගේම මේ ගීතයේ තවත් විශේෂත්වයක් තමයි මේ ගීතයට චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය රංගනයෙන් දායක වීම. ඒ වගේම ඇයට අමතරව මාලිනී ෆොන්සේකා මහත්මියගේ මිනිබිරියක් වුණු කුශේන්‍යා ෆොන්සේකා හා මේ ක්ෂේත්‍රයේ ඉන්න තවත් දක්ෂයෙක් වන මගේ පාසලේ සහෝදරයෙක් වුණු ධනුෂ්ක ඩයස් රංගනයෙන් දායක වෙනවා.


ගීතය රිලීස් කරලා පැය විසිහතරක් යන්නත් කලින්ම වයිරල් වුණා. ඒ ගැනත් කියමු?


ඔව්, ඇත්තටම ඒක හිතුවේවත් නැති දෙයක්. මේ වෙලාවේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය වෙලා තිබුණේ වෙනම ආරක ගීත. ඒ විධියට සංගීත ක්ෂේත්‍රයේ මූඩ් එක වෙන පැත්තකට තිබුණු වෙලාවේ තමයි මම මේ ගීතය රිලීස් කළේ. ඒ කාරණයත් එක්ක මම හිතුවේ නැහැ මේ තරම් හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. ඒ සම්බන්ධයෙන් විශාල සතුටක් තියෙනවා.


”ඉතින් මම ඉන්නවා” ලංකාවේ විතරක් නෙවෙයි ඕස්ට්‍රේලියාවෙත් ට්‍රෙන්ඩිංග් ලිස්ට් එකේ මුලට ආවා නේද?


ඔව්, ලංකාවේ යූ ටියුබ් එකේ ට්‍රෙන්ඩිංග් ‌‍‌ෆ‌ෝර් මියුසික් කියන කැටගරියේ නම්බර් 1 විධියටත්, ජෙනරල් කැටගරියේ නම්බර් 7 වලටත් ආවා. ඒ වගේම විශේෂත්වය වෙන්නේ ඕස්ට්‍රේලියාවෙත් යූ ටියුබ් ට්‍රෙන්ඩිංග් ෆ‌ෝර් මියුසික්වල නම්බර් 17ට ආවා. “මේ ඉතින් මම ඉන්නවා” ගීතය.


මේ ගීතයේ රූප රචනය ගැනත් කතා නොකරම බැහැ?


රූප රචනය ගැන කියද්දි ඒ හරහා පද රචනයේ තියෙන කතාව එතැනින් ඔබ්බට අරගෙන ගිහින් පෙන්නලා තියෙනවා. එතැනදි පද රචනයේ තියෙන, සාමාන්‍ය ගුරු ගෝල සම්බන්ධය කියන කතාව ඔය විධියේ රූප රචනයක් බවට පත් කළේ චමිල් පතිරණ අයියා. ඔහු මට මේ ගැන කියද්දි එය ඉතාමත් හොඳ අදහසක් කියන දේ තේරුණා. මේකේ නළු නිළි වරණය කළෙත් ඔහුම තමයි. ඇත්තටම මේ රූප රචනයේ ගෞරවය යන්නේ ඔහුට.


මේකේ කාස්ට් එක ගීතයට තවත් ආලෝකයක් වුණා නේද?


ඔව්, ඇත්තටම චමිල් අයියා තමයි කාස්ට් එක තේරුවේ. එතැනදි ඔහුගේ තේරීමට මම කැමැති වුණා. ධනුෂ්ක සහ කුශේන්‍යා කියන්නේ දක්ෂම දෙන්නෙක්. අලුතෙන් එන රංගන ශිල්පිනියක් විධියට අපිට කුශේන්‍යාගේ දක්ෂකම් ඉදිරියේදී බලන්න පුළුවන් වෙයි. එතැනින් එහාට ධනුෂ්ක ඩයස් දක්ෂ රංගන ශිල්පියෙක් විධියට ප්‍රේක්ෂකයන් අඳුරගෙන ඉන්නවා. ඒ වගේම චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය ගැන කියද්දි අපි හිතුවා ඇයව සම්බන්ධ කරගත්තොත් මේ නිර්මාණයට විශාල ආලෝකයක් ලැබෙයි කියලා. ඒක අපි හිතපු විධියටම සිද්ධ වුණා. ඇයත් කිසිම පැකිළීමකින් තොරව ඒකට කැමැති වුණා. කොහොමත් චන්ද්‍රලේඛා ආන්ටි මුල ඉඳන්ම මේ සිංදුවට ගොඩක් කැමැත්තෙන් හිටියා. මම මේ සිංදුව හදපු දවස්වලම මේක වින්ඩිට සහ අපේ මවුපියන් හතර දෙනාට අහන්න දුන්නම ආන්ටි ඒකට ගොඩක් කැමැති වුණා. ඒත් එක්කම මියුසික් වීඩියෝ එක හදද්දි ආරාධනා කළාමත් ඇය කිසිම පැකිළීමකින් තොරව සම්බන්ධ වුණා.


එළියට දාන හැම වැඩේම හිට් වීමේ රහස මොකක්ද?


ගීතයක් ජනප්‍රිය කරගන්න සැලසුම් නොකරනවාම නෙවෙයි. නමුත් මේකෙදි මට සම්බන්ධ වෙන්න බැරි, මගේ පාලනයෙන් තොර කොටසක් තියෙනවා. හොඳ ගීතයක් නිර්මාණය කරලා එළියට දාන තැන වෙනකම් මගේ පාලනයේ තිබ්බට එතැනින් එහාට ඒක මගේ පාලනයෙන් තොරයි. එහෙම බලද්දි සමහර විට අපිට ඒක වෙලාව කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඒක වෙන්න තිබුණේ ඒ විධියට වගේ කතාවක් තමයි ඒකට කියන්න වෙන්නේ.මේ ගීතය මම නිර්මාණය කරන්න පටන් අරගෙන අවුරුදු 2ක් විතර වෙනවා. ඒත් අතරමඟදී මේක පැත්තකින් තියලා වෙන වෙන නිර්මාණ කරනවා. කොහොම වුණත් අවසානයේ ලැබෙන ප්‍රතිචාර එක්ක මේක එළියට දැම්මේ හරිම වෙලාවට කියලා හිතනවා. ඒ වෙනුවෙන් මගේ රසික රසිකාවියන්ට ස්තූතියි කියලා කියන්න කැමැතියි.


ඔබ තාත්තගේ සෙවණැල්ලෙන් මිදිලා වෙනම අනන්‍යතාවක් ගොඩනඟා ගෙන තිබෙනවා. මේ ගැන කතා කළොත්?


ඒකට මූලිකම හේතුව තමයි මම මගේ මුල් කාලයේදී තාත්තාගේ ගීත ගායනා නොකර මගේ ස්වනිර්මාණ එළියට දාපු එක. මම තාත්තගේ ගීත ප්‍රතික්ෂේප කරලා නැහැ. නමුත් මට අවශ්‍ය වුණා සණුක වික්‍රමසිංහ කියන මගේ නමින් මට අනන්‍යතාවක් හදාගන්න. ඒක වෙනුවෙන් මම වැඩ කළා. මගේ මිතුරන් හා මම එකතු වෙලා අපි ඒ දවස්වල කවර්ස් එහෙම කළා. නමුත් ඊට පස්සේ මම මූලික වෙලා අපි තීරණයක් ගත්තා කවර්ස් කරන එක නතර කරලා අපේ ස්වනිර්මාණ කරමු කියලා. ඊට පස්සේ තමයි නදීමාල්ට මායම් කලාවෙත්, සජිතට ස්වර්ණපාලී කියන ගීතයත්, කෞෂාන්ට සොයන්නේ අපේ ආදරේ කියන ගීතයත් නිර්මාණය කළේ. ඊට කලින් මගේ සරාගයේ හා සංසාර සිහිනයේ කියන ගීත එළියට ආවා. අපිට අද වෙද්දී ඒ වගේ වටිනාකමක් ලැබිලා තියෙනවා නම් ඒ ලැබිලා තියෙන්නේ ඒ නිසා. ඒත් එක්කම මේ වෙද්දී මම මට අනන්‍යතාවක් හදාගෙන ඉන්න නිසා දැන් තාත්තාගේ ගීත ගායනා කරන අවස්ථා තියෙනවා. මම හිතනවා දැන් මම තාත්තාගේ ගීතයක් ගායනා කරද්දි ඒකට ලැබෙන වටිනාකම වැඩියි කියලා.


අවසන් වශයෙන් ඉදිරියේදි එන්න තිබෙන නිර්මාණ ගැනත් කතා කරමු?


ඔව්, ඇත්තටම මගෙත් වින්ඩිගෙත් අලුත් ගීත කිහිපයක්ම එන්න තිබෙනවා. ඒත් එක්කම බයිලා චිත්‍රපටයේ වැඩ කටයුතු කෙරී ගෙන යනවා. ඒ වගේම දකුණු ඉන්දියානු සිනමාවේ තවත් වැඩ කටයුතු කිහිපයක් කරන්න තියෙනවා.


අක්ෂි මාපා වීරසිංහ

gossiplanka image 2
Previous Post Next Post