මේ දවස්වල කොල්ලන්ගෙ අලුත්ම ක්‍රෂ් එක රට පවුලේ අප්සරා

gossiplanka image 2
රට පවුල ටෙලි නාට්‍යයේ අප්සරාගේ චරිතයට පණ පොවන ඇයව මේ දිනවල නම් නොදන්නා කෙනකු නැති තරම්. ඇයගේ සුරූපී බවත්, හුරුබුහුටි පෙනුමත්, අපූරු රංගන විලාසයත් නිසාම ප්‍රේක්ෂකයන් වැඩි උනන්දුවකින් ඇය දෙස බලා සිටින බව නොරහසක්. මුල්ම ටෙලි නාට්‍යයේ රංගනයෙන්ම ප්‍රේක්ෂක සිත් දිනාගත් ඇය නවක රංගන ශිල්පිනී ප්‍රශා මිචෙල්. මෙවර හදගැස්මට මේ සොඳුරු කතාබහ ඇයගෙන්. මේ දිනවල ඔබේ කාලය ගෙවී යන්නේ කොහොමද?


මේ දවස්වල මම තරමක් කාර්යබහුලයි. රංගනයටත් විශාල ආරාධනා ප්‍රමාණයක් ලැබෙනවා. ඒවායින් බොහොම සීමිත ප්‍රමාණයක් තමයි තෝරා බේරාගෙන මම රංගනයෙන් දායක වෙන්නේ. ඒ වගේම මගේ ව්‍යාපාර කටයුතුත් කරගෙන යන ගමන් රට පවුල ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා රංගන ක්ෂේත්‍රයේ වැඩ කටයුතුත් කරගෙන යනවා.


රට පවුල ටෙලි නාට්‍යයේ අප්සරාගේ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?


ඇත්තටම අප්සරාගේ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම මම හිතුවෙවත් නැති විධියට අප්සරාගේ චරිතය ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරයෙන් වැලඳගෙන තිබෙනවා. වර්තමාන තාරුණ්‍යයේ හැසිරීමට ගැළපෙන චරිතයක් නිසාම ඒක බොහෝදෙනකුට සමීප වෙනවා ඇති කියලා හිතනවා.


මුල්ම ටෙලි නාට්‍යයේ රංගනයට මෙතරම් රසික ආදරයක් ලැබීම ගැන දැනෙන හැඟීම?


ඒ ගැන නම් ඇත්තටම හරිම සතුටුයි. රට පවුල ටෙලි නාට්‍යයේ අප්සරාගේ චරිතය මගේ ජීවිතයේ ලොකු හැරවුම් ලක්ෂ්‍යයක් කියලා හිතෙනවා. ඒ ගැන මට නිහතමානී සතුටක් තිබෙනවා. ඒ ගැන මම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෑ මාව මේ චරිතයට තෝරාගත්ත එහි අධ්‍යක්ෂ හසුන් සමීර අයියාට සහ මට මේ ටෙලි නාට්‍ය සඳහා ආරාධනා කරපු සංගීත් කුරේරා අයියට.


සාම්ප්‍රදායික කතා රාමුවෙන් එහාට ගොස් රට පවුලෙන් කතා කරන සමාජ ඛේදවාචකය ගැන ඔබේ අදහස?


ඇත්තටම දැනට බොහෝ නාළිකාවල යන ටෙලි නාට්‍ය දිහා බලනකොට හැම එකක්ම වගේ ප්‍රේමය මුල්වුණු කතා තේමා තමයි තිබෙන්නේ. ඉතින් රට පවුල ටෙලි නාට්‍යයෙන් කතා කරන්නේ වෙනස්ම කතා තේමාවක්. ජීවිතේ ගොඩයන්න රට හීන දකින මිනිසුන්ගේ කතාවක් තමයි එහි තිබෙන්නේ. මේ ටෙලි නාට්‍යය ප්‍රේක්ෂකයන් බොහොමයක් හරිම ආදරයෙන් වැලඳගෙන තිබෙනවා.


එක එක තරාතිරම්වල මිනිස්සුන්ට එක එක මට්ටම්වල හීන තිබෙනවා. හතර දෙනෙක් හතර විධියකට දකින මේ හීන ගැන මොකද හිතෙන්නේ?


කෙනකුට ජීවත් වෙන්න අමාරු වුණාම එක එක ප්‍රශ්න නිසා රට යනවා. ඒ වගේම සමහර ප්‍රශ්නවලින් බේරෙන්න සමහරු රට යනවා. මේ ටෙලි නාට්‍යයේත් තිබෙන්නේ ඒ වගේ රට හීන හතරක්. ඒ හතර දෙනා හතර විධියකට දකින හීනවලට මොකද වෙන්නේ කියලා විස්තරය බලන්න නම් සති අන්තයේ රට පවුල ටෙලි නාට්‍යය බලන්න.


ඔබ සැබෑ ජීවිතයේදීත් කොරියානු නාට්‍ය නරඹන kpop අහන BTS ෆෑන් කෙනෙක්ද?


නැහැ. මම BTS ෆෑන් කෙනෙක් නෙවෙයි. ඒත් මම කොරියානු ඩ්‍රාමා බලන්න ගොඩක් ආසයි.


ප්‍රවීණයන් රැසක් සමඟ එකට වැඩ කළ මුල්ම ටෙලි නාට්‍ය අත්දැකීම මොනවගේද?


ඇත්තටම ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒ වගේම ප්‍රවීණයන් රැසක් සමඟ මගේ පළමුවැනි ටෙලි නාට්‍ය අත්දැකීම බෙදා ගන්න ලැබීම ගැන හිතද්දී මම හරි වාසනාවන්තයි කියලා හිතනවා. ඉතින් ඒ ගැන හරිම සතුටුයි. විශේෂයෙන් ජයනි සේනානායක අක්කා, සනත් විමලසිරි අයියා, අකලංක අයියා වගේ ප්‍රවීණයන් බොහොමයක් එක්ක මට මේ ටෙලි නාට්‍යයේ රඟපාන්න ලැබුණ නිසා ඒ අයගේ ගුරුහරුකම්, අත්දැකීම් බෙදා ගන්නත් මගේ පැත්තෙන් නිර්මාණයට සාර්ථක දායකත්වයක් ලබා දෙන්නත් ලොකු අවස්ථාවක් ලැබුණා.


ඔබේ පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?


මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා සහ අයියා. ඉතින් මගේ පවුලෙන් ඉදිරියට යන්නට මට සෑහෙන්න ලොකු සහයෝගයක් ලබා දෙනවා.


කෙටි කලකින් ක්ෂේත්‍රයට බොහෝ නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක් පැමිණියත් ක්ෂේත්‍රයේ රැඳෙනවා අඩුයි නේද?


ඔව්. මම විශ්වාස කරන දෙයක් තමයි රංගන ක්ෂේත්‍රය පිළිබඳව හැදෑරීමක් නොමැතිව ක්ෂේත්‍රයට පිවිසෙන විට ගමන කෙටිකාලීන වෙන්න පුළුවන් කියන දේ. මමත් මගේ පළමුවැනි නිර්මාණයෙන් ලොකු හැදෑරීමක් රංගනය පිළිබඳව සිදු කළා. තවමත් කරමින් ඉන්නවා. ඒක ඉදිරියට මට හොඳ අත්දැකීමක් හා අත්වැලක් වේවි කියලා හිතනවා.


මේ දිනවල බොහෝදෙනකුගේ ක්‍රෂ් එක බවට පත්වූ ඔබ ආදරය හා විවාහය දකින්නේ කෙසේද?


ආදරය සුන්දරයි. නමුත් විවාහයේදී අරමුණක් එක්ක වගකීම් සහගතව කෙනකුට ආදරය කරන්න පුළුවන් නම් එය හරිම සුන්දරයි කියලා හිතනවා. ඒක ඉතින් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. ඒත් ජීවත් වෙන්න නම් ආදරය ඕනෑ කියලා හිතනවා.


ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?


මගේ ව්‍යාපාර කටයුතු ඉදිරියට දියුණු කරගන්න එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. ඊට අමතරව රංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්නත් ලොකු ආශාවක් මට තිබෙනවා.


රුවිනි අමරකෝන්

gossiplanka image 1
Previous Post Next Post