රතීට සම්මානයක් ලැබීම ලොකු සතුටක් -තිලක්ෂණී රත්නායක

gossiplanka image 2
ඇතැම් රංගන ශිල්පිනියන්ගේ රංගනයන් දකින විට ප්‍රේක්ෂකයන්ගේ සිතට සතුටක් ඇති වන්නේ මෙරට සිනමාවේ අනාගතය දීප්තිමත් එකක් වනු ඇතැයි යන හැඟීම හේතුවෙනි. තිලක්ෂණී රත්නායක යනුද එවැනි හැඟීමක් දනවන ප්‍රබල රංගන හැකියාවෙන් යුතු දක්ෂ රංගන ශිල්පිනියකි. තමාට ලැබෙන ඕනෑම චරිතයකට සියයට සියයක්ම සාධාරණය ඉටු කරන මේ රංගන ශිල්පිනිය මෙවර සරසවි සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තේ දුස්රා චිත්‍රපටය වෙනුවෙන් ඇය කළ රතීගේ චරිතයටයි. රතී ඔබව හොඳම නිළිය ලෙස සම්මානිත කළා, ඒ ගැන කියලම කතා කරමු?


ඔව්. ඉතින් ඇත්තටම හරිම සතුටුයි. රතී කියන්නේ වෘත්තාන්ත චිත්‍රපටයක මම ප්‍රධාන චරිතය කරපු පළමු අවස්ථාව. ඉතින් ඒ පළමු අවස්ථාවෙම මෙවැනි සම්මානයක් හිමිවීම ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම ඒ චිත්‍රපටය චන්න දේශප්‍රිය මහත්මයාගේ අධ්‍යක්ෂණයක් හා තිර පිටපතක් වීම තවත් සතුටක්.


දුස්රා කියන්නේ සාම්ප්‍රදායික රාමුවෙන් එහාට ගිය වෙනස් ගලායෑමක් සහිත චිත්‍රපටයක්, මේ කාරණයත් එක්ක රතීට පණ පෙවීම මොන වගේ අත්දැකීමක් වුණාද?


චිත්‍රපටයක කතාවේ ගලායෑම කියන එක, ඒ කියන්නේ නැරේශන් එක ගොඩක් වෙලාවට සකස් වෙන්නේ චිත්‍රපටයක් සංස්කරණය කරද්දී. දුස්රා චිත්‍රපටයේත් ඒක ඒ විධියට තමයි සිද්ධ වුණේ. රංගන ශිල්පිනියක් විධියට මට තිබුණේ කාලානුරූපීව ගලාගෙන යන රතීගේ ජීවිතය නිරූපණය කරන එක. සංස්කරණයේදී තමයි කාලය ආපස්සට යන, නැවත ඉදිරියට එන ආකාරයට චිත්‍රපටයේ නැරේශන් එක සකස් වෙන්නේ. ඉතින් රංගනයේදී රතීගේ ගමන කාලානුරූපීව ගලාගෙන යන ආකාරයට රූගත කළ නිසා ඇගේ චරිතයේ හැඟීම් හොඳින් නිරූපණය කරන්න. ඇගේ අතීත අත්දැකීම් ඇසුරෙන් ඇගේ හැඟීම්, භාවයන් වෙනස් වුණු ආකාරය නිරූපණය කරන්න මට පහසුවක් වුණා.


රතීට පණ පොවද්දී ඔබ සමාජයේ සිටින ඇය වැනි අත්දැකීම්වලට මුහුණ දුන් අයව අධ්‍යයනය කළාද?


රතීගේ චරිතය නිරූපණයේදී ඉතාමත් හොඳ විශිෂ්ට පිටපතක් රචනය වෙලා මගේ අතට ලැබුණා. මට පිටපත ලැබුණු විධියටම තමා ප්‍රේක්ෂකයාට රතීගේ චරිතය දකින්න ලැබෙන්නේ. ඒ මට්ටමටම ඉතාමත් හොඳින් පිටපත ලියවිලා තිබුණා. චන්න දේශප්‍රිය මහත්මයා ඉතාමත් නිර්මාණාත්මක ආකාරයට, හැම පොඩි දෙයක්ම සඳහන් කරමින් ඉතාමත් පොහොසත් පිටපතක් ලියලා තිබුණු නිසා මට රතීගේ චරිතය වෙනුවෙන් එළියෙන් දේවල් රිෆර් කරන්න අවශ්‍ය වුණේ නැහැ. ඒ චරිතය ගොඩනඟන්න අවශ්‍ය මූලිකාංග සියල්ලම පිටපතේ අඩංගු වෙලා තිබුණා. ඒ වගේම රූගත කිරීම්වලට පෙර මම චන්න දේශප්‍රිය මහත්මයා සමඟ මේ පිළිබඳව විශාල වශයෙන් සාකච්ඡා කළා. එතැනදි ඔහු කියපු දේවල් වගේම පුද්ගලයෙක් විධියට හා රංගන ශිල්පිනියක් විධියට සමාජය පිළිබඳව මටත් යම්කිසි කියැවීමක් පරිණතභාවයක් තිබුණා. මේ සියල්ලම සමඟින් තමයි රතීගේ චරිතය ගොඩනැඟුණේ. ඒ වගේම රූගත කිරීම් සඳහා ගල්ගමුව ප්‍රදේශයට ගියාට පස්සේ ඒ ප්‍රදේශයේ ඉන්න කාන්තාවන් පොඩි ගැහැනු දරුවන් වගේ අයගේ හැසිරීම් යම් තරමකට අධ්‍යයනය කළා. ඒ හැරුණු විට විශේෂයෙන් අධ්‍යයනය කිරීමක් කළේ නැහැ.


දුස්රා රූගත කරද්දි නිකමට හරි හිතුණද රතී ඔබව හොඳම නිළිය බවට පත් කරයි කියලා?


නැහැ, ඇත්තටම සම්මානයක් ගැන අදහසක් එන්නේ සම්මාන උළෙලක් තියෙනවා කියලා අදාළ පාර්ශ්වවලින් අපිට දැනුම් දුන්නම. එතැනදි සම්මාන උළෙලක් තියෙනවා ඒ සඳහා නිර්දේශ වෙලා තියෙනවා කියලා දැනුම් දුන්නම තමයි සම්මානයක් ගැන අදහසක් මුළින්ම ඔළුවට එන්නේ. ඒ හැරුණු විට වැඩක් භාර ගනිද්දී තිර පිටපතක් ලැබෙද්දී මේකට සම්මානයක් ලැබෙයිද වගේ අදහසක් හිතට එන්නේ නැහැ. ඒ වෙලාවට අපි උත්සාහ කරන්නේ රංගන ශිල්පිනියක් විධියට අපේ රංගනය උපරිමයෙන් ලබා දෙන්න. නමුත් ඉතින් රංගන ශිල්පිනියක් විධියට මට ලැබුණු මේ සම්මානය ගැන විශාල සතුටක් සහ ගෞරව පූර්වක හැඟීමක් තියෙනවා.


කලා නිර්මාණයක් හරහා සෑම විටම සමාජ ශෝධනයක්, සමාජයට යහපත් පණිවිඩයක් ලබා දීම සිදු විය යුතුද?


රංගන ශිල්පිනියක් විධියට මම සිනමාවේ නියැළෙන්නේ සමාජය වෙනස් කරන්න හෝ සමාජයට පණිවුඩයක් ලබා දෙන්න නෙවෙයි. සිනමාව කියන්නේ රසවින්දනය උදෙසා තිබෙන දෙයක්. ඒ තුළ අපි නිරූපණය කරන්නේ මනුෂ්‍යත්වය. මේ සමාජය තුළ සිටින තවත් එක ආකාරයක මනුෂ්‍යයෙක් තමයි අපි නිරූපණය කරන්නේ. සමහර විට අපි සිනමාව තුළ නිරූපණය කරන චරිත සමහර සංස්කෘතීන් තුළ වැරැදි වෙන්න පුළුවන්. සමහර සංස්කෘතීන්, සමාජයන් තුළ එය එතරම් ගැටලුවක් නැති කාරණයක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් මම හිතන්නේ මේ විනෝදාස්වාද කලාව තිබෙන්නේ සමාජය වෙනස් කරන්න නෙවෙයි මිනිස්සුන්ට වින්දනයක් ලබා දෙන්න කියලා. සමාජය නිවැරැදි කරන්න, සමාජය වෙනස් කරන්න ඒකටම වෙන්වුණු වෙනත් ආයතන, සංවිධාන තිබෙනවා. නමුත් යම්කිසි ප්‍රේක්ෂකයෙක් නිර්මාණයක් නරඹලා, රසවිඳලා ඒ තුළින් හැඟීමක් දනවගන්න එක, තමන්ගේ ජීවිතය ගැන යම් කිසි අවබෝධයක් ලබා ගැනීම සිදු වෙන්න පුළුවන්.


වේදිකාවෙන් සිනමාවට එන ඇතැම් ශිල්පීන්ට තිබෙන චෝදනාවක් තමයි අධි රංගනයක යෙදෙනවා කියන එක, ඔබ මේ කාරණය දකින්නේ කොහොමද?


වේදිකාව, ටෙලි නාට්‍ය හා සිනමාව කියන්නේ මාධ්‍යන් තුනක්, ඒවායේ වැඩ කෙරෙන විධිය එකිනෙකට වෙනස්. වේදිකාවේදි රංගන ශිල්පියා තමාව මෙවලමක් කරගෙන සජීවීව ප්‍රේක්ෂකයාට රංගනය ප්‍රක්ෂේපණය කරනවා. නමුත් ටෙලි නිර්මාණයකට එද්දි රංගන ශිල්පියාව ප්‍රක්ෂේපණය වෙන්නේ කුඩා තිරයක් හරහා, එතැනදි යම් තරමකට ඉරියව් හා අංගචලනයන් නිරූපණය කළත් සිනමාවේදී විශාල තිරයක් හරහා ප්‍රක්ෂේපණය වන නිසා ඒ වෙනස අවබෝධ කර ගත යුතුයි. නමුත් අපිට රංගනය. අධි රංගනයක්, අවම රංගනයක් හෝ මධ්‍යස්ථ රංගනයක් කියලා නිර්වචනය කරන්න බැහැ. මොකද යම්කිසි කෙනෙක් ඉන්න පුළුවන් සාමාන්‍ය ජීවිතයේදී ගොඩක් ශබ්දයෙන් කතා කරන, තවත් කෙනෙක් ඉන්න පුළුවන් හැඟීම් එතරම් නොපෙන්වන ඉතාමත් හෙමිහිට කතා කරන, ඉතින් ඒ නිසා අපිට බැහැ කිසිම කෙනෙක් අවම හෝ අධි රංගනයක යෙදෙනවා යැයි කියන්න. නමුත් අනිවාර්‍යෙන්ම රංගන ශිල්පියෙක් වුණාම මේ විෂය සම්බන්ධයෙන් හැදෑරීමක් කරලා රංගනය සම්බන්ධයෙන් පොදු තාක්ෂණික කරුණු අවබෝධ කර ගත යුතුයි.


ඔබට ලැබුණු මේ සම්මානයත් එක්ක ඔබේ සැමියාගේ ප්‍රතිචාර මොන වගේද?


සම්මානයක් ලැබීම පොදුවේ රංගන ශිල්පියෙක්ට ලොකු සතුටක්, තෘප්තියක් දනවන දෙයක්. පොදුවේ රංගන ශිල්පියෙක් විධියට වගේම, පෞද්ගලිකව මට මේ සම්මානය ලැබීම ගැනත් ඔහු බොහොම තෘප්තියෙන් ඒ ගැන කතා කළා.


අවසන් වශයෙන් ඉදිරියේදී එන්න තිබෙන නිර්මාණ මොනවාද කියලා මතක් කරමු?


අරුණ ජයවර්ධන මහත්මයාගේ ධර්ම යුද්ධය 2 චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කළා. පාලිත පෙරේරා මහත්මයාගේ චිත්‍රපටයක් එන්න තිබෙනවා. ඊට අමතරව ඩිලන්ක රංගනාත් මහත්මයාගේ ඩිංගා චිත්‍රපටය එන්න තිබෙනවා.


අක්ෂි මාපා වීරසිංහ

gossiplanka image 1
Previous Post Next Post