
ඉෂංකා කියන්නද ? රම්‍යා කියන්නද?
මේ දවස්වල නම් ගොඩක් කට්ටිය කියන්නේ රම්‍යා කියලා තමයි. හැබැයි ඉෂංකා කියලා කියන්නත් පුළුවන්. රම්‍යා කියලා කියන්නත් පුළුවන්. ජහන්වී කියලා කියන්නත් පුළුවන්.
රම්‍යාට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරද?
රම්‍යාට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන් ප්‍රවීණයන්ගෙන් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන්නේ වෙනස්ම විදිහේ හොඳ ප්‍රතිචාර තමයි. ඉතිං මම මේ චිත්‍රපටයේ රඟපෑවේ රම්‍යාගේ චරිතයනේ. ඒ චරිතයට ලැබෙන ප්‍රතිචාර අනුව මම හිතනවා මම හොඳට රඟපාලා ඇති කියලා
රිදම් ඔෆ් ද ගිටාර් චිත්‍රපටයට ආරාධනාව ලැබුණේ කොහොමද?
මගේ පළමු සිනමා නිර්මාණය තමයි තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂණය කරන ලද ආශාවරී සිනමා නිර්මාණය. ඉතිං ඔහුගෙන් තමයි රිදම් ඔෆ්ද ගිටාර් චිත්‍රපටයටත් ආරාධනාව ලැබෙන්නේ. අද වෙනකොට ඔහු අප හැරගියත් මේ වෙලාවේ ඔහුව ආදරයෙන් මතක් කරන්න ඕනෑ. ඒ වගේම කැමරා අධ්‍යක්ෂවරයා වූ රුවන් කොස්තා මහත්මයාවත් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරන්න ඕනෑ. ඒ දෙපළ තමයි මට මේ සඳහා ආරාධනා කරන්නේ.
ඔබ හරි අපූරුවට චරිතයට පණ පොවනවා. කොහොමද ඒ සඳහා සූදානම් වුණේ?
රම්‍යාගේ චරිතය වෙනුවෙන් මම වෙනස් ස්වරූපයක් ගත්තා. ඒ වගේම මේක ටිකක් වෙනස්ම චරිතයක්. මුලදී දඟකාර චරිතයක් වුණාට පසුව ටිකක් සංවේදී චරිතයක් බවට පත්වෙනවා. ඉතිං විවිධ අවස්ථාවන් කිහිපයක්ම තිබුණ හින්දා ඒ වෙනුවෙන් ටිකක් අවධානය යොමුකරලා චරිතය රඟපෑවා.
ඔබව සිනමාවට හඳුන්වා දෙන්නේ තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂවරයා. අද ඔහු අප සියලු දෙනා හැරගිහිල්ලා. ඒ ගැන තියෙන්නෙ මොන වගේ හැඟීමක්ද?
ඇත්තටම තේජා සර් නැති එක මම හිතනවා සිනමාවට ලොකු පාඩුවක් කියලා. මොකද ඔහුගේ චිත්‍රපට දෙකම වෙනස්ම තලයක තියෙන චිත්‍රපට දෙකක්. පළමු චිත්‍රපටයෙන් පසුව මම එතුමා සහ පවුලේ සැම සමග සමීපව ඇසුරු කළා, අදහස් බෙදාහදා ගත්තා. මට සර් නැති එක ලොකු දුකක්. ඒ හිස්තැන පුරවන්න හරි අමාරුයි.
දිගටම රඟපාන්නද සූදානම?
දැනට නම් දිගටම රඟපාන්න කියලා හිතාගෙන ඉන්නවා. ඉදිරියේදී ඒ ගැන වැඩිදුරටත් මොකද වෙන්නේ කියලා බලමු.
ඉෂංකා ගුවන් සේවිකාවක් කියලත් ආරංචියි?
ඔව්. මම රංගනයට අමතරව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක් විදිහට සේවය කරනු ලබනවා.
Travel කරන්න ආසයිද?
ඔව්. මම පුංචි කාලේ ඉඳලා ට්‍රැවල් කරන්න ගොඩක් ආස කෙනෙක්. පොඩි කාලේ ඉඳලා ගුවන් සේවිකාවක් වෙන්න හීන මවපු ළමයෙක්. ට්‍රැවල් කරන්න ආසා නිසා තමයි ගොඩක්ම ගුවන් සේවිකාවක් වෙන්න ආශා කළේ.
මේ වෙනකොට ලෝකෙ රටවල් කීයකට ගිහින් තියෙනවාද?
මේ වෙනකොට මම රටවල් තිහකට විතර ගිහින් තියෙනවා.
ඔබත් ක්ලැරන්ස්ගේ රසිකාවියක්ද ?
අනිවාර්යයෙන්ම. කොහොමත් මගේ ගෙදර මගේ තාත්තා ක්ලැරන්ස්ගේ සින්දු සහ සුනිල් පෙරේරා, කොරින් අල්මේදාගේ ගීත අහනවා. මමත් ඉතිං පුංචි කාලේ ඉඳලා ඒ ගීත අහලා තියෙනවා. මම ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ ලොකු රසිකාවියක්.
පවුලේ විස්තර එහෙම?
අම්මයි තාත්තයි මල්ලියි. මගේ අම්මයි තාත්තයි දෙන්නම විශ්‍රාමික පොලිස් නිලධාරීන්. මල්ලි ඇමෙරිකානු තොරතුරු තාක්ෂණික ආයතනයක සේවය කරනවා. ඔහුත් රංගනයට සම්බන්ධයි.
පුංචි කාලේ ඉඳන් හීන දැක්කෙ කවුරු වෙන්නද?
පුංචි කාලේ ඉඳලා හීන දැක්කේ හරිම නිදහසේ ජීවත් වෙන්න. ඉතිං මම හරි ආසයි ට්‍රැවල් කරන්න. උසස් පෙළ කරන කාලේ ඉඳලා තමයි ආසා කළේ ගුවන් සේවිකාවක් වෙන්න. මට හිතුණා ගුවන් සේවිකාවක් වුණොත් මගේ අරමුණු හීනවලට ඉක්මනටම යන්න පුළුවන් කියලා. මම පාසල් යන කාලේ ඉඳලා වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ නියැළී සිටිනවා. දැන් වෙනකොට මම පුංචි කාලේ ඉඳලා දැකපු හැම හීනයක්ම සැබෑවෙලා තියෙනවා. මට තව පොඩි අරමුණු ටිකක් විතරයි මගේ ජීවිතයේ තියෙන්නේ. මම ඇත්තටම හීන දැකපු හැම දෙයක්ම ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ ගැන ආඩම්බරයි.
ඉදිරියේදී එන්න තියෙන නිර්මාණ මොනවාද?
ඉදිරියේදී තවත් චිත්‍රපට දෙකක් එන්න තියෙනවා. ඒ වගේම මම රිදී තිරයෙන් වගේම පුංචි තිරයෙනුත් දැකගන්න ලැබේවි.
රම්‍යාගේ චරිතය හින්ද අලුත් ආරාධනා එහෙම ලැබුණද?
රම්‍යාගේ චරිතය හින්දා මේ වෙනකොට තවත් චරිතවලට ආරාධනා ලැබිලා තියෙනවා. මගේ රැකියාවත් සමග සමබරව වැඩකරගෙන යන්න පුළුවන් හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න කැමැත්තක් තියෙනවා.
චිත්‍රපටය බලද්දි ඔයාට ඔයා ගැන මොනවද හිතුණේ?
මේක මගේ දෙවැනි චිත්‍රපටය හින්දා මට ආශාවරී චිත්‍රපටයෙන් පස්සේ මම බැලුවේ මම චරිතයට මොනවාද කරලා තියෙන වෙනස්කම් කියලා. ඒ වගේම වෙන්නෙ නැතිව, වෙනස් කිරීමක් තමයි මට අවශ්‍ය වුණේ. ඉතිං මට සතුටු හිතුණා. චිත්‍රපටය බලද්දී හරි ආශා හිතුණා.
දිනේෂ් විතාන
