
මුලින්ම නදුනි ගැන විස්තර ටිකක් කියමුද?
මගේ ගම නිට්ටඹුව. පාසල් ගියේ නිට්ටඹුව සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලයට. පවුලේ ඉන්නෙ අම්මා, තාත්තා, ආච්චි, මල්ලි, අක්කා සහ මම. මගේ තාත්තා සේවය කරන්නෙ ශ්‍රී ලංකා පොලීසියේ. අම්මා නම් රැකියාවක් කරන්නෙ නැහැ.
ශෂී ගැන රසිකයො මොකද කියන්නෙ?
මේ දවස්වල මම හිතුවෙවත් නැති විදිහට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනව. මොකද මේ චරිතයේ ඉන්නෙ කටකාර නිතරම කියවන ගැහැනු ළමයෙක්නෙ. මේ වගේ චරිතයකට මොන වගේ ප්‍රතිචාර ලැබෙයිද කියල මුලදි මම බයෙන් හිටියෙ.
කොහොමද මේ ආරාධනය ලැබෙන්නෙ?
නිරෝෂන් අයියා සේවය කරන්නෙ හිරු නාළිකාවේ. ඔහු අපිත් එක්ක එකට වේදිකාවේ වැඩකරපු කෙනෙක්. ඔහු මට දවසක් කියනව, හිරු නාළිකාවෙන් කරන්න යන අලුත් ටෙලි නාට්‍යයක් වෙනුවෙන් නිවන්ත ප්‍රසාර මහත්මයාගේ මූලිකත්වයෙන් ඔඩිෂන් එකක් තියෙනව, වේදිකාවේ වැඩකරන ළමයි ඉන්නවනම් මේකට සම්බන්ධ කරන්න කියල. මමත් එදා ඔඩිෂන් එකට සම්බන්ධ වුණා. එකෙන් පස්සෙ නිවන්ත සර් මට කතාකරල කිව්වා ශෂී කියල චරිතයක් තියෙනව, ඒක නාට්‍ය තුළ මිෂෙල් දිල්හාරාගේ යහළුවාගේ චරිතය වෙනනෙ කියල. ඒ වගේම ශෂී කියන්නෙ ටිකක් කට සැර, වත්තක ඉන්න ගැහැනු ළමයෙක් කියලත් කිව්වා. මම හරි ආසා වුණා මේ චරිතය මට ලැබීම ගැන. මොකද ඒක මට අභියෝගයක් වගේම යමක් කරන්න පුළුවන් චරිතයක්. මීට කලින් ඒකාංගික ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. නමුත් ‘රොන් සොයා’ තමයි මගේ පළමු ටෙලි නාට්‍යය වෙන්නෙ
නදුනි කියන්නෙ ශෂීගේ චරිතයට සමාන කෙනෙක්ද?
නැහැ. මම ගොඩක් කියවන කෙනෙක්වත් රණ්ඩුවලට යන කෙනෙක්වත් නෙමෙයි. මම මේ චරිතයට ආසා වුණෙත් නදුනි නොවන වෙනම චරිතයක් මට නිර්මාණය කරගන්න පුළුවන් නිසා.
රූගතකිරීම්වලදි අමතක නොවන සිදුවීමකකුත් වුණාලු?
මට ගොඩක් වෙලාවට රඟපාන්න ලැබෙන්නෙ මිශෙල් අක්කාත් එක්ක. මට රඟපාන්න තියෙන්නෙ ඇයත් සමග කියල දැනගත්තාම මම ගොඩක් සතුටු වුණා. අපි ගොඩක් වෙලාවට කතාකරගෙන තමයි සීන් එක ක්‍රියේට් කරන්නෙ. එක දවසක් අපිට පාරෙ රණ්ඩුවෙන දර්ශනයක් රූගත කරන්න තිබුණා. අකලංක අයියා සහ දර්ශන් අයියත් ඒකට සහභාගි වුණා. අපි පාරෙ රණ්ඩු වෙනකොට කැමරා තියෙන බව නොදැක එක අංකල් කෙනෙක් බැනගෙන ආවා කවුද මේ පාරෙ ගැහැනු ළමයින්ට බණින්නෙ කියල. අපි එහෙමම සීන් එක කරගෙන ගියා. ටික වෙලාවකින් කැමරා දැක්කට පස්සෙ සොරි කියල ගියා. ඒක අපිට අමතක නොවෙන සිදුවීමක් වුණා.
නදුනි වේදිකාවට ගොඩක් සමීපයි?
වේදිකාව කියන්නෙ මගේ ආරම්භය කිව්වොත් හරි. මම මේ වනවිට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්‍රාසාංගික කලා ගෞරව උපාධිය අවසන් කරල ඉන්නෙ. වේදිකාව නිසා යෞවන සම්මාන, රාජ්‍ය සම්මානවලිනුත් අගැයීමට ලක්වෙන්න මට අවස්ථාව ලැබුණා.
කාලෙකට කලින් ඔබ රිදී තිරයේත් දකින්න ලැබුණා?
ඉන්දික ෆර්ඩිනැන්ඩු සර්ගෙ ‘වෙඩි නොවදින ළමයි’ හි තමයි මම මුලින්ම සිනමා නිර්මාණයක රඟපෑවෙ. මට ඒ අවස්ථාව ලැබුණෙ උසස් පෙළ අවසන් කළාට පස්සෙ. ඉන්දික සර් මාව තෝරාගෙන තිබුණෙ වේදිකා නිර්මාණයක මම රඟපානව දැකල.
වේදිකාවේ අලුත් වැඩකටයුතු කොහොමද?
චාලක රණසූරිය අයියගෙ ‘සඳුදා වැටෙන්නෙ සිකුරාදාට’ කියන වේදිකා නාට්‍යයත් එක්ක ලංකාව පුරා දර්ශනවාරවලට සහභාගි වෙනව. ඒ වගේම මේ නාට්‍යයට ළඟදීම විදෙස් සංචාරයකටත් ආරාධනා ලැබිල තියෙනව. ඒ වගේම සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නිෂ්පාදනයක් වන ‘සහරා නේරංජනා’ නාට්‍ය එක්ක දර්ශනවාරවලට සහභාගි වෙනව.
ඔබේ අදහස වෘත්තීයමය රංගන ශිල්පිනියක් වෙන්නද?
පොඩිකාලෙ ඉඳන්ම මගේ ආසාව වුණේ රංගන ශිල්පිනියක් වෙන්න. ඒ එක්කම මම හිතුවා එහෙම දෙයක් කරනව නම් හරි විදිහට ඒක කරන්න ඕන කියල. ඒ නිසා උසස් පෙළ දක්වා නාට්‍ය හා රංග කලාව විෂය හදාරලා ඉන් පස්සෙ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙනුත් රංගනය මූලික කරගෙන උපාධිය හදාරලා මේ වන විට පශ්චාත් උපාධියේ වැඩකටයුතුත් කරගෙන යනව. ඉදිරියට මම හිතාගෙන ඉන්නෙ ඉගෙනගත් දෙයින් ප්‍රයෝජනයක් ගන්න.
පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
ඒ ගැන විශේෂයෙන්ම කියන්න ඕන. මේ තරම් නිදහසකින් මගේ වැඩකටයුතු කරගෙන යන්න මට අවස්ථාව ලැබෙන්නෙ මගේ පවුලේ අය නිසා. ඔවුන් මට කිසිම දේකට බලකරල නැහැ. මම යන ගමනට හැමදාම සහයෝගය ලබා දුන්නා.
අලුත් නිර්මාණ මොනවද?
මේ දිනවල ටෙලි නාට්‍ය දෙකක වැඩකටයුතු කරගෙන යනව. ඒ වගේම ආනන්ද අබේනායක මහත්මයාගේ සිනමා නිර්මාණයකටත් සම්බන්ධ වුණා.
මහේෂ් එදිරිසිංහ
