
කාංචි මේ දවස්වල ඔබ පිළිබඳ බොහෝ දෙනෙක් කතාබහ කරනවා ?
ඇත්තෙන්ම මේ දවස්වල මම ගැන කතාබහ කෙරෙන්නේ විශේෂ හේතුවක් නිසා. ඒ තමයි පසුගිය ජුනි මස අවසන් සතියේ මැලේසියාවේ ක්වාලාලම්පූර්වලදී සතියක් පුර පැවැති World Junior Tourism Ambassador 2025 kids pageant එකෙන් අපේ රටට ජයග්‍රහණ 13 ක් හිමිවීම නිසා. එහි ජාතික අධ්‍යක්ෂවරිය විදිහට කටයුතු කළේ මම. මගේ අධීක්ෂණය යටතේ අපේ රටේ දරුවන් පස්දෙනෙක් මේ තරගාවලියට සහභාගි වුණා. ඔවුන් හැමෝටම ජයග්‍රහණ හිමිකර ගැනීමට හැකි වුණා.
මේ කටයුත්තෙන් පස්සේ මොනවද කරන්න හිතාගෙන ඉන්නේ?
මම දැනට තවත් International pageant කිහිපයකම ජාතික අධ්‍යක්ෂවරිය විදිහට කටයුතු කරනවා. ඒ සඳහා තරගකරුවන් තරගකාරියන් මේ දවස්වල සූදානම් කරමින්, ඔවුන්ගේ පුහුණුවීම්වලට සහයෝගය ලබා දෙනවා.
ඔබ පසුගිය වසරේ Mrs International කිරුළ සඳහා ඉදිරිපත් වෙන්න හිතුවේ ඇයි?
ඒක අහඹු සිදුවීමක්. මගේ වෘත්තීය සම්බන්ධ හෝටල් ක්ෂේත්‍රයට. මම හෝටල් ක්ෂේත්‍රයේ කළමනාකාරිණියක් විදිහටයි කටයුතු කළේ. හැබැයි මේ ක්ෂේත්‍රයට මම මට තේරෙන කාලේ ඉඳන්ම කැමැතියි. නමුත් මට ඉදිරිපත් වෙන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඒත් දවසක් ෆේස්බුක් එකේ දැන්වීමක් දැකලා මට හිතුණා අයැදුම් කරලා බලන්න. පළමුවැනි පරීක්ෂණයෙන් තේරුණා. ඒ නිසා ඉදිරියට ගියා මිසක් කිරුළ ලබාගන්නවාමයි කියලා හිතලා තිබුණේ නැහැ.
කිරුළ ඔබට ලැබෙයි කියලා හිතුවද?
මුලදී බලාපොරොත්තුවක් නොතිබුණත් ටිකෙන් ටික තරගයේ ඉදිරියට යනකොට බලාපොරොත්තුවක් ඇතිවුණා.
කිරුළ ගත්තට පස්සේ මොනවද හිතුණේ?
ජීවිතේ සමහර තැන් තියෙනවා අපි බිංදුවටම වැටෙන. එහෙම වැටෙන හැම තැනකදීම දිනලා පෙන්නන්න මට ඕනෑ වුණා. මේකත් ඒ වගේ ජයග්‍රහණයක්. මට ඒ සතුට මෙච්චරයි කියලා කියන්න බෑ. මම හිතන්නෙ හැම ගැහැනියක්ම තමන් දැකපු හීනවලින් එකම එක හීනයක් හරි හැබෑකර ගන්න ඕනෑ. ඒක මම කරගත්ත. ඒක මට ආඩම්බරයක් සහ සතුටක්.
ඒ ජයග්‍රහණයෙන් පස්සේ මොනවද කළේ?
ඒ ජයග්‍රහණය නිසා මට ජාතික අධ්‍යක්ෂිකාවක් විදිහට කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. මට ඇත්තටම ආඩම්බරයි අපේ අය ඒ වගේ තරගවලට සහභාගිවෙලා ජයග්‍රහණ අරන් එනකොට. මම මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දීලා අපේ රටේ දක්ෂයන් ඉන්නවා කියලා ලෝකෙට පෙන්නන්න, අපේ දේවල් ලෝකෙට ගෙනියන්න උත්සාහ කරනවා.
ඔබේ පවුලේ විස්තර මොනවද?
මගෙ පවුලෙ මම විතරයි. මම විවාහවෙලා. අපිට පුතෙක් ඉන්නවා.
ඉස්සරහට මොනවද කරන්න හිතාගෙන ඉන්නේ?
ඉස්සරහට world pageant එකකට සහභාගි වෙන්න ආසාවෙන් ඉන්නවා. ඒ ගමන්ම මම වගේ හීන දකින ඕනෑම කෙනෙක්ට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දීලා අපේ රටේ දේවල්, දක්ෂතා ලෝකෙටම පෙන්නන්න බලාපොරොත්තු වෙනවා.
දිගටම බියුටි පැජන්ට් කරනවද?
මේ ක්ෂේත්‍රයේ කොයි තරම් කාලයක් ඉන්න පුළුවන්ද බැරිද කියන එක විශ්වාස නෑ. හැබැයි මම හිටියත් නැතත් කරන කෙනෙක්ට හරි ඒ දේවල්වලට උදව්වක් ඕනෑ තැනකදී ඒ උදව්ව මම කරනවා. මට ඇත්තටම ආසයි එක ජාත්‍යන්තර තරගයක් ලංකාවේ කරන්න. ඒ සඳහා අවශ්‍ය කටයුතු මම දැනටමත් සිදුකරගෙන යනවා.
ඇයි එහෙම වැඩකට අතගහන්න හිතුවේ?
එකක් මම ආසයි හීන දකින මිනිස්සුන්ට. මම ආසයි හැමෝගෙම හීන ඇත්ත වෙනවා බලන්න. ඒ මිනිස්සුන්ගේ හිනාව බලන්න. අනිත් රටවල්වල අය වගේ ලංකාවෙ දක්ෂ අය ඉන්නවා කියලා කියන්න මම ආසයි. ඒ වගේම මට ඕනෑ අපේ රටත් හරිම ලස්සන ගමනාන්තයක් කියලා ලෝකෙට පෙන්නන්න.
මොනවද අනාගත බලාපොරොත්තු?
ලොකු බලාපොරොත්තු නෑ. මම මේ කෙටි කාලය ඇතුළත ජයග්‍රහණ ගොඩක් ගෙනාවා. මිනිස්සු ඒවා අගය කරනවා අඩුයි. අපේ රටේ නම ගියපු අය ඇරෙන්න වෙන කිසිම කෙනෙක් මොනදේ කළත් පේන්නෙ දකින්නෙ නැතිකමක් තියෙනවා. හැමෝටම පොඩි හරි අගය කිරීමක් අතදීමක් තියෙනව නම් තව මේ දේවල් ලස්සනට කරන්න පුළුවන් වෙයි.
වෙළෙඳ දැන්වීම්වල හිටිය නේද? ඒවා මොනවද?
වෙළෙඳ දැන්වීම් නම් ගොඩක් කළා. මම හරිම ආසාවෙන් ඒ දේවල් කරන්නේ. නාමිකව කියන්න ගියොත් ගොඩයි.
රඟපානවද? මොනවද රඟපාලා තියෙන නිර්මාණ?
නැහැ. ආරාධනා ලැබුණත් මගේ වෙලාව මදිකම නිසා ඒ වගේ දේකට තාම යොමුවෙන්න බැරිවුණා. ආසාවෙන් ඉන්නවා ඒ සඳහාත් යොමුවෙන්න.
ඉදිරි කාලයේ කරන්න හිතාගෙන ඉන්න විශේෂ දේවල් මොනවද?
ඉස්සරහට ලෝක විවාහක, අවිවාහක රූ රැජින තරගාවලි කීපයක් එනවා. ඒකට තරගකාරියන් සහභාගි කරවන්න වගේම මමත් ඒ වගේ තරගයකට සහභාගි වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
යුගන්ති යශෝද
