
ඒ අතරට එන්න තියෙන අලුත්ම චිත්‍රපටය තමයි දඩක් 2 කියන්නේ. 2018 වසරේදී තිරගත වූ දඩක් චිත්‍රපටයේ දෙවන දිගහැරුම විදිහට තමයි මේක ප්‍රේක්ෂකයින් අතට පත්වෙන්නේ. ඒ වගේම 2018 වසරේදීම තිරගත වූ පරියේරුම් පෙරුමාල් කියන දමිළ චිත්‍රපටයේ හින්දි අනුවර්තනය විදිහටත් අපිට මේක හඳුන්වා දෙන්න පුළුවන්. ඔන්න මේ ආදරණීය අගෝස්තු මාසයේ පළමු වැනිදා ප්‍රේක්ෂකයින්ට දඩක් 2 බලන්න අවකාශය ලැබෙනවා.
දඩක් චිත්‍රපටය ඒ කාලේ ප්‍රේක්ෂකයින් ගොඩක් ආදරයෙන් වැලඳගත්තා. ඒ වගේම ශ්‍රී දේවී සහ බොනී කපූර්ගේ වැඩිමහල් දියණිය ජාන්වී කපූර් සිනමාවට පිවිසියෙත් මේ චිත්‍රපටයෙන්. ශාහිද් කපූර්ගේ සහෝදරයා එහෙමත් නැතිනම් ඉෂාන් කයිතර් සිනමාවට ආවෙත් මේ චිත්‍රපටයෙන්. චිත්‍රපටය අතිශය සාර්ථක වුණා වගේම බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ශෂන්ක් කයිතර්. ධර්මා ප්‍රඩක්ෂන් වෙනුවෙන් කරන් ජොහාර් මේ චිත්‍රපටය නිෂ්පාදනය කළා. ඉන්දීය රුපියල් කොටි 41ක් වියදම් කරලා කරපු මේ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 112ක් පමණ උපයන්න සමත් වුණා. දඩක් කියන්නේ හදගැස්ම කියන තේරුම තියෙන වචනයක්. දඩක් 2 කියන්නේ තාරුණ්‍යයේ උන්මාදනීය ප්‍රේමය ගැන කියැවෙන වෙනස්ම විදිහේ කතාවක් කියල තමයි කරන් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරලා තිබුණේ. හැබැයි මේ චිත්‍රපටයේ රංගන ශිල්පීන් නම් ටිකක් විතර වෙනස් වෙලා තියෙනවා.
මෙහි ත්‍රිප්ති දිම්රි එක්ක සිද්ධාර්ත් චතුර්වේදි තමයි ප්‍රධාන චරිත රඟපාන්නේ. ඊට අමතරව විපින් ශර්මා, දීක්ෂා ජෝෂි, මංජරී පුපලා, අශ්වන්ත් ලෝදි, අමිත් ජාත්, ප්රියංක් තිවාරි, මයන්ක් ඛන්නා සමගින් ආදිත්‍ය තාකර් සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වනවා. ත්‍රිප්ති කියන්නේ තාරුණ්‍යයේ නැඟී එන රංගන ශිල්පිනියක්. සරාගී ත්‍රිප්ති බොහෝ රසිකයින් අතර මේ දවස්වල අතිශයින්ම ජනප්‍රියයි. ඒ වගේම සිද්ධාර්ත් කියන්නෙත් නව පරපුරේ අතිශය දක්ෂ ඒ වගේම හැමෝගෙම ආදරය දිනාගෙන ඉන්න රංගන ශිල්පියෙක්. ඉතින් මේ අයගේ වෙනස්ම විදිහේ රංගනයක් අපිට මෙවර දඩක් 2 හරහා දැකබලාගන්න ලැබෙයි. රාහුල් බද්වෙල්කාර් එක්ක ශාසියා ඉක්බාල් තමයි චිත්‍රපටයේ තිර පිටපත සකස් කරලා තියෙන්නේ.
කරන් ජොහාර් එක්ක මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න කණඩායමක් ම එකතුවෙලා ඉන්නවා. ඒ තමයි, උමේෂ් කුමාර් ඩන්සාල්, අදර් පූන්වාලා, අපූර්ව මෙහෙතා, මීනු අරෝරා, සෝමෙන් මිෂ්රා සහ ප්‍රගති දේශ්මුක් කියන පිරිස. මේ චිත්‍රපටයේ සංස්කරණයට එක්වෙලා ඉන්නෙත් සුවිශේෂී පිරිසක්. ඒ තමයි, චාරු ශ්‍රී රෝයි, ඕම්කාර් උත්තම් සහ සංගීත් කියන පිරිස. ඒ නිසා මේක වෙනස් විදිහේ අත්දැකීමක් ප්‍රේක්ෂකයින්ට තිළිණ කරන චිත්‍රපටයක් වෙයි කියලා බොහෝ දෙනා සඳහන් කරනවා. ශ්‍රෙයාස් පුරනික් කියන නව පරපුරේ අති දක්ෂ සංගීතවේදියෙක් තමයි මෙහි සංගීත නිර්මාණය කරන්නේ. සිද්ධාර්ත් ගරීමා ගේ අපූරු පදවලට ඔහු කන්කලු නාද රටා නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා අතිශය සුන්දර ගීත කිහිපයක්ම ප්‍රේක්ෂකයින්ට දඩක් 2 හරහා දැකබලා ගන්න අවකාශය ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. සී ස්ටුටියෝ, ධර්මා ප්‍රඩක්ෂන් සහ ක්ලවුඩ් 9 පික්චර්ස් බෙදාහැරීමක් වන මෙහි තිර කාලය මිනිත්තු 146ක්. ඉන්දියාව ඇතුළු ලෝකයේ රටවල් රැසක චිත්‍රපටය තිරගත කරන්න නිෂ්පාදක කණ්ඩායම මේ වෙනකොටත් තීරණය කරලා ඉවරයි.
ලෝකයේ රටවල් රැසක සුවිශේෂී දර්ශන තල කිහිපයකම රූගත කිරීම් සිදුකර තිබෙන දඩක් 2 ප්‍රේක්ෂකයින්ට අමතක නොවන අත්දැකීමක් වෙයි කියලා විචාරකයින් දැනටමත් මත පළ කරනවා. මේක ටිකක් ආශිකී 2 කතාවත් ටච් කරනවා කියල තවත් සමහරු ප්‍රකාශ කරනවා. ඒත් ඉතින් ඇත්ත නැත්ත බලාගන්න නම් චිත්‍රපටය රිලීස් වෙනකල්ම ඉන්න වෙනවා. කාලෙකින් බොලිවුඩ් වලින් හිතට දැනෙන සිංදු ටිකක් අහන්න ලැබුනෙ නැති නිසා, දඩක් 2 හරහා ඒ අඩුව පුරවන්න ලැබුණොත් අනිවාර්යෙන්ම ඒක ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොඅඩුව ලැබෙන නිර්මාණයක් වෙනවා කියන එක නම් අපිට කියන්න පුළුවන්. ඔන්න ඉතින් අපිත් ඔයාලට ආරාධනා කරනවා එළැඹෙන අගෝස්තුවේ සිනමා ශාලාවකට ගිහින්ම දඩක් 2 නරඹන්න කියලා.
අමිල නුවන් මධුසංඛ
