බුදු දහමට ළං වුණාම ප්‍රශ්න අඩුයි – රයන් වැන්රෝයන්

gossiplanka image 1
පසුගිය දවසක සූදානම් කොට තිබුණ ‘දේවි කුසුමාසන’ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයේදී අපිට රයන් වැන්රෝයන් මුණගැසුණා. නිර්මාණයකදී හැමදාම ඔහුව අපිට දකින්න ලැබෙන්නෙ සුද්දකුගේ චරිතයකින්නෙ. මෙතැනදිත් ඒක එහෙමමයි. නමුත් ඔහු නම් කියන්නෙ සුද්දාගේ නියම චරිතය රඟපාන්න ලැබුණෙ ‘දේවි කුසුමාසන’ චිත්‍රපටය නිසා කියල. එහි ඔහු පණ පොවන්නෙ ‘සව්සා’ ගේ චරිතයට. දර්ශන වාරය අවසන් වෙලා පොඩි චැට් එකක් දාගෙන ඉන්න අතර රයන් ඔහුගේ ජීවිත කතාව කෙටියෙන් අපිට කිව්වා. එහි සමහර තැන් චිත්‍රපටයක් වගේ. ඔබත් ඔහුගෙ රසිකයෙක්, රසිකාවියක් වෙන්න ඇති. ඒ නිසා අපිට හිතුනා මේ කතාව ඉතාම කෙටියෙන් ඔබටත් දැනගන්න පිටු අතර සටහන් කරන්න ඕන කියල. මේ රයන්ගෙ කතාව.


රයන්, ‘දේවී කුසුමාසන’ චිත්‍රපටයේ සව්සාට ලැබෙන්නෙ මොන වගේ ප්‍රතිචාරද?


සව්සාට ලැබෙන ප්‍රතිචාර නම් අසීමිතයි. මුලින්ම මම ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාට ස්තූතිවන්ත වෙන්න ඕන සව්සා කියන චරිතයට මාව තෝරාගැනීම සම්බන්ධව. මොකද මමත් සෑහෙන කාලයත් තිස්සේ බලාගෙන හිටිය ජයන්ත මහත්මයාගේ නිර්මාණයකට මට කතාකරයිදෝ කියල. ඒ සිතුවිල්ල ඇතිවෙලා අවුරුදු පහළොවකට පස්සෙ තමයි මට මේ ආරාධනය ලැබෙන්නෙ. අපි අවුරුදු දහයක් පුරාවට දැනහඳුනනව. නමුත් ඒ ඇඳුනුම්කම නිසාවත් වෙන මොකක් හෝ බලාපොරොත්තුවක් ඇතිව වත් ජයන්ත මහත්මයාගේ නිර්මාණවලට නළු නිළියන් සම්බන්ධකරගන්නෙ නැහැ.


මේ දුරකතන ඇමතුම ලැබුණාම ඔබට දැනුණෙ මොන වගේ හැඟීමක්ද?


ජයන්ත මහත්මයා මට කතාකරල මේ වගේ වැඩක් තියෙනව කිව්වාම මම ඒක මොකක්ද කියලවත් අහන්නෙ නැතිව හා කියල කිව්වා. මොකද මම දන්නව ජයන්ත මහත්මයා කතාකරන්නෙ ඒ චරිතයට සුදුසුම කෙනාට කියල. මේ මම අවුරුදු පහළොවක් තිස්සෙ එනතුරු බලාගෙන හිටපු කෝල් එක. ඇත්තටම එදා රෑ මට නින්ද ගියෙත් නැහැ. මහේන්ද්‍ර අයියා, හේමාල්, බුද්ධික ජයරත්න, සනත් ගුණතිලක අයියා වැනි ප්‍රවීණයන්ගෙන් මට ලැබුණ සහයෝගයට බොහොම ස්තූතියි කියල මම මේ අවස්ථාවේ කියන්න ඕන.


ඔබට ලැබෙන්නෙම සුදු ජාතිකයන්ගෙ චරිත?


මම ටැටූස් ගහල තියෙන නිසා සාමාන්‍ය චරිත මට ලැබෙන්නෙ නැහැ. ඒ නිසා දීර්ඝකාලීනව මට ලැබිල තියෙන්නෙ සුද්දන්ගෙ චරිත. ඒ වගේම කියන්න ඕන සුද්දෙක්ට සුද්දෙක් විදිහට රඟපාන්න ලැබුණෙ දේවි කුසුමාසන චිත්‍රපටය හරහා.


ඇත්තටම රයන් වැන්රෝයන් කියන්නෙ කවුද?


මම බර්ගර් ජාතිකයෙක්. මගේ අම්මා තාත්තා දෙන්නම බර්ගර්. මගේ පරම්පරාවේ කිසිම කෙනෙක් රඟපාල නැහැ. මාව රංගන ශිල්පියෙක් හැටියට ක්‍ෂේත්‍රයට හඳුන්වල දෙන්නෙ බුද්ධික ජයරත්න. ඒ ඔහුගෙ ‘දේදුණු වැස්ස’ චිත්‍රපටයෙන්. අද මම වගේම මගේ අම්මා, තාත්තා බත් කටක් කනව නම් ඒ ගෞරවය ඔහුට හිමි වෙන්න ඕන. අපේ යාළුකමට දැන් අවුරුදු විසි පහක් විතර වෙනව. අදටත් එදා වගේම ඔහු මට සහයෝගය ලබා දෙනව.


ටෙලි නාට්‍ය වැඩකටයුතු කොහොමද?


මම ටෙලි නාට්‍ය කිහිපයකම සුදු ජාතිකයන්ගේ චරිත රඟපාල තියෙනව. ඒ වගේම මාව ගොඩක්ම මිනිසුන් අතරට ගියේ ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යය නිසා.


සුදු ජාතිකයන්ගේ චරිත රඟපෑම පහසු දෙයක්ද?


සුදු ජාතිකයන්ගේ චරිත රඟපෑම අනෙක් චරිත එක්ක බලද්දි පහසුයි වගේ පෙනුනට ඒක පහසු දෙයක් නෙමෙයි.


ඉන්දියානු චිත්‍රපටවලත් ඔබට ලැබුණෙ සුදු ජාතිකයන්ගෙ චරිතද?


නැහැ. අලුතින් සම්බන්ධ වුණ චිත්‍රපට දෙකට අමතරව මම මුලින්ම සම්බන්ධ වුණේ වෝටර් ෆිල්ම් එකට. ඒක තමයි මගේ මුල්ම ඉන්දියානු චිත්‍රපටය වුණේ. මෑතකදී සම්බන්ධ වුණ චිත්‍රපට දෙකෙන් එකක මට ලැබුණෙ අන්ධ සංගීතඥයකුගේ චරිතයක්. අනෙක ඩාන්සර් කෙනකුගේ චරිතයක්. මීට අමතරව රුසියන් චිත්‍රපටයක වැඩකරන්නත් මට අවස්ථාව ලැබුණා.


දේවි කුසුමාසන චිත්‍රපටයේදී භාෂාව ගැටලුවක් වුණාද?


මම බර්ගර් ජාතිකයෙක් නිසා සමහර සිංහල වචන උච්ඡාරණය කරද්දි ටිකක් දිව පැටලෙන ගතියක් තියෙනව. එතනදි විශේෂයෙන්ම මහේන්ද්‍ර අයියව මතක් කරන්න ඕන. ඔහු වචන සියයක් කතාකරද්දි මම අනූවක් හොරකම් කරනව. ඔහුගෙන් අපිට ගන්න දේවල් ගොඩක් තියෙනව. සමහර වෙලාවට නිදිමත පැත්තක තියල මහේන්ද්‍ර අයිය මට යම් යම් දේවල් කියල දුන්න අවස්ථා තියෙනව.


බුද්ධික රංගන ක්‍ෂේත්‍රයට ඔබව හඳුන්වා නොදෙන්න, මේ වනවිට මොන වගේ වෘත්තියක නිරත වෙයිද?


එහෙම නොවුණා නම් මම කලාවේ කොතැනක හරි ඉඳීවි. මොකද මම කලාවට හරි කැමතියි. මේ හැමදේම අපිට ලැබෙන්නෙ අපි කළ හොඳ නරක මත සහ විශ්වයෙන් අපිට දෙන දේ නිසා. කලාවට අධිපති සරස්වතී මෑණියන් නිතරම දෙයක් දෙන්න ආදරණීය මිනිස්සුන්ට. අපි ආදරණීය වුණොත් තමයි අපේ රසික රසිකාවියන්ට ආදරේ දෙන්න පුළුවන් වෙන්නෙ වගේම ඔවුන්ගේ ආදරය ලබන්න පුළුවන් වෙන්නෙ.


ඔබ බෞද්ධාගමට බොහොම ලැදියි?


ඔව්, මම රෝමානු කතෝලිකයෙක් වුණාට මීට අවුරුදු හතකට පෙර ඉඳන් මම ශ්‍රී මහා බෝධියට ගිහින් භාවනා කරනව, දළදා මාළිගාවට යනව, රුවන්මැලි සෑය, කිරි වෙහෙර අධිපති ස්වාමීන් වහන්සේලා පෞද්ගලිකවම මාව දන්නව. මේ විදිහට බෞද්ධ වත් පිළිවෙත් බොහොමයක් කරනව.


මොකක්ද ඔබේ අරමුණ?


මට දැන් අවුරුදු හතළිස් හතයි. මගේ අරමුණ තව අවුරුදු තුනකින් මහණ වෙන එක.


ජීවිතේ ගැන කලකිරීමෙන්ද?


නැහැ නැහැ… කලකිරීමකදි මට මේ තීරණය ගන්න බැහැ. එවැනි මොහොතකදි මේ තීරණය ගත්තොත් මම ජීවිතයේ ආපස්සට දෙයක් ඉතිරිකරගෙන යන්නෙ. ඒ නිසා මම යන්නෙ බෞද්ධ දර්ශනය ගැන පැහැදීමකින්.


හැම කෙනකුටම ලබන්න බැරි ජනප්‍රියත්වයක ඉහළම තැනක ඉන්න මොහොතක මේ තීරණය ගැන තවත් වරක් හිතන්න අදහසක් නැද්ද?


මගේ ළමා කාලයේදී මට කිසිම දෙයක් තිබුණෙ නැහැ. කාපු බත්කටවල්වලට වඩා බඩගින්නෙ හිටපු අවස්ථා වැඩියි. ඒ නිසා මම අදටත් පිළිකා රෝහලේ සහ අන්ධ විද්‍යාලයේ අම්මලා තාත්තලා සියයක් දෙනාට මම කලාවෙන් හම්බ කරන දෙයින් සෑම මසකම කෑම වේලක් දෙනව, ඔවුන්ගෙ කොණ්ඩා කපනව. මම හිතනව අපි ඒ දේවල් කළ යුතුමයි. තව කෙනකුගේ බඩගින්නක් මට දැනෙන්නෙ මම බඩගින්නෙ හිටපු නිසා. මම පාසල් ගියේ දෙහිවල සාන්ත මරියා මහා විද්‍යාලයට. ඒක හරි දුප්පත් පාසලක්. දුප්පත් ළමයි හිටියෙ. මගේ තාත්තා මුල්කාලයේ එයාර්ෆෝස් එකේ හිටියෙ. පස්සෙ රට ගියා. ඔහුට වත්කමක් තිබුණෙ නැහැ මාව ලොකු ස්කෝලෙකට දාන්න. මගේ පවුලෙ මමයි නංගියි හිටියෙ. අම්මා රැකියාවක් කළේ නැහැ. සමහර දවස්වලට පල්ලියෙන් දෙන බත් එක මම කෑව කියල මගේ අම්මට ගෙනත් දීලා, අම්මයි නංගියි ඒ බත් එක කනහැටි හොරෙන් බලාගෙන ඉන්නව. ඒක තමයි මගෙ ළමා කාලය.


ජීවිතයට ආපු ගැහැට කොහොමද ඔබ දැක්කෙ?


ජීවිතයේ මට ආපු ප්‍රශ්න මාව හරි මගට යොමු කළා. මාව තව තව බුදු දහමට යොමු කළා. විශ්වයට බරක් නොවෙන්න මනුස්සකමක් ඇතිව සමාජයේ ජීවත් වෙන්න හුරු කළා. ඉස්සර මම හරිම ආවේගශීලියි. ගොඩක් කේන්ති යනව. දරාගන්න බැරිව ගෙදර අයටත් කෑගහනව. දැන් මම ප්‍රශ්න පිළිගන්නෙ සිනහ මුසු මුහුණින්. මට දැනුණ දේ තමයි බුදු දහමට ළං වෙද්දි ප්‍රශ්න අඩුයි කියන දේ.


ජීවිතයේ හීන තිබුණද?


ජීවිතයේ මට තිබුණ ලොකුම හීනය තමයි මැරෙන්න දවසකට කලින් හරිහමන් සුද්දකුගේ චරිතයක් රඟපාන එක. දේවි කුසුමාසන චිත්‍රපටය හරහා මට ඒක කරන්න පුළුවන් වුණා. සුද්දා කියන්නෙ කෙස්ගහේ පටන් සපත්තු දෙක දක්වා හරිම පිළිවෙළක් තියෙන මනුස්සයෙක්. ඒ නීට්නස් එක මේ චිත්‍රපටයේදී මට ලැබුණා.


ගෙදරින් ලැබෙන සහයෝගය මොන වගේද?


තාත්තයි අම්මයි තමයි මගේ මුල්ම රසිකයො. මහා ලොකුවට රංගනය ගැන දන්නෙ නැති වුණාට මගේ අඩුපාඩු පෙන්නල දෙන්නෙ ඔවුන්. කාලවේලාව අඩු දවස්වලට තාත්තා මගේ ඇඳුම් මැදල දෙනව. මම ගොඩක් වාසනාවන්තයි එවැනි දෙමවුපියන් ලබන්න.


රයන් විවාහකයි?


ඔව්, මම විවාහකයි. නමුත් මේ වන විට අපි සෙපරේට් වෙලා ඉන්නෙ. මට දුවෙකුයි පුතෙකුයි ඉන්නව. දුව විවාහකයි. ඒ වගේම මම දැන් සීයා කෙනෙක්.


ජීවිතේ වර්තමානය ගැන ඔබ සතුටින්ද?


අවුරුදු සියයකට මම මගේ ජීවිතය විඳලත් තියෙනව, විඳවලත් තියෙනව. ඉතිං මට තව විඳින්න දේකුත් නැහැ, විඳවන්න දේකුත් නැහැ.


පසුතැවීමක් නැතිව ඔබට සසුන්ගත වෙන්න පුළුවන්?


අවුරුදු හතක් පුරාවට පියවරෙන් පියවර මම ඒකට අවශ්‍ය දේ සූදානම් කරමින් ඉන්නව. මගේ දෙමවුපියන්ට ජීවත් වෙන්න යම් දෙයක් තියෙන්න ඕන. මගේ දරුවන්ටත් ඒ වගේ. යුතුකම් ටික පිළිවෙළක් කළාට පස්සෙ මගේ ගමන මට යන්න පුළුවන්.


තව නිර්මාණ කීයක් විතර ඉදිරියේදී එන්න තියෙනවද?


ටෙලි නාට්‍ය දහහතරක් පමණ සහ චිත්‍රපට නවයක් ඉදිරියේදී දැකබලාගන්න පුළුවන්. පසුගිය දවස්වල ‘රිසානා’ චිත්‍රපටයේ රූගතකිරීම්වලට සහභාගි වුණා. ඒ වගේම මහාචාර්ය සුනිල් ආරියරත්න සහ එරංග සේනාරත්න යන මහත්වරු අධ්‍යක්‍ෂණය කරන නවතම චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිල තියෙනව. ඔක්කොම චිත්‍රපට පහකට සහ ටෙලි නාට්‍ය තුනකට ආරාධනා ලැබිල තියෙනව.


වේදිකාවට කැමැත්තක් නැද්ද?


වේදිකාව කියන්නෙ මම හරිම ආස තැනක්. නමුත් කාර්යබහුලත්වය නිසා මට ඒක කරගන්න විදිහක් නැහැ. නමුත් වේදිකාව කියන්නෙ රංගනය ගැන අයන්න ආයන්න ඉගෙනගන්න හොඳම තැනක්.


බාහිර පෙනුම නිසා ප්‍රශ්න මතු වුණ අවස්ථා නැද්ද?


පෙනුම නිසා ප්‍රශ්න ඇතිවෙලා නැහැ. නමුත් මාව රීඩ් කරන්න කෙනෙක් වැඩි වෙලාවක් ගන්නව.


ප්‍රවීණයන් සමග මොන වගේ සම්බන්ධතාවක්ද තියෙන්නෙ?


ප්‍රවීණයන්ට මම හරිම ආදරෙයි. මම ආපු ගමනෙදි ඔවුන්ගෙන් ලැබුණ සහයෝගය අසීමිතයි. එවැනි රූස්ස ගස් අපි වගේ පුංචි පැලවලට සෙවන දෙනව විතරක් නොවෙයි, අපිවත් රූස්ස ගස් බවට පත්කරල ඵල හටගන්න තරමට ආවරණය දෙනව.


රසික රසිකාවියන්ගෙ ආදරය ඔබ විඳින්නෙ මොන විදිහටද?


මට ආදරය කරන රසික රසිකාවියන්ගෙ වයස් බේදයක් නැහැ. ආගම් බේදයක් නැහැ. නමුත් මම දකින එක දෙයක් තියෙනව, නගරයේ මිනිස්සුන්ට වඩා ගමේ මිනිස්සු හිනාවෙන්නෙ හදවතින්. මම දෙවුන්දර තුඩුවෙ ඉඳන් පේදුරුතුඩුවට ගියොත් මට ඉන්න තැනක් තියෙනව, බත් කටක් කන්න තැනක් තියෙනව. එක තමයි මම කලාවෙන් හම්බකරල තියෙන දේ. මගේ රසික රසිකාවියො හැමෝටම බුදු සරණයි… දෙවි පිහිටයි…!


මහේෂ් එදිරිසිංහ

gossiplanka image 2
Previous Post Next Post