සිනමාවේ සන්ධිස්ථානයක්වෙයි-සාරංග දිසාසේකර

gossiplanka image 2
සාරංග දිසාසේකර කියන්නේ සිනමාවේ වේදිකාවේ පුංචි තිරයේ එක ලෙස ආදරණීය මතක රැන්දූ රසික ආදරය දිනාගත්, දක්ෂ රංගන ශිල්පියෙක්. මේ දිනවල ඔහුව ක්ලැරන්ස් – Rhythm of the Guitar නම් සිනමාවට නැවුම් අත්දැකීමක් ගෙන එන සිනමාපටය හරහා රිදී තිරයෙන් දකින්න පුළුවන්. ඉතින් මේ සොඳුරු කතාබහ ඔහුගෙන්. ක්ලැරන්ස් – Rhythm of the Guitar චිත්‍රපටයේ වැඩකටයුතු කොහොමද?


ක්ලැරන්ස් චිත්‍රපටය තිරගත වූ පළමු දිනයේම හවුස් ෆුල් වෙලා තිබුණා. විශේෂයෙන්ම ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ හැත්තෑව දශකයේ රසික රසිකාවියන් බොහොමයක් චිත්‍රපටය තිරගත වනතුරු ගොඩක් ආශාවෙන් බලාගෙන හිටියා. ඉතින් ඒ ජෙනරේෂන් එකට ක්ලැරන්ස් කියන චරිතය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ මොකද ඒ යුගයේ හැමෝම දන්නවා. නමුත් අලුත් පරම්පරාවේ ක්ලැරන්ස් පිළිබඳව දන්න පිරිසක් සහ නොදන්න පිරිසකුත් ඉන්න පුළුවන්. ඒ හැමෝටම නැවත ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගීත රස විඳින්න සහ ඔහුගේ ජීවිත කතාවේ රසමුසු තැන් දැනගන්න මේ සිනමාපටය හොඳ අවස්ථාවක් වෙයි කියලා හිතනවා.


මෙවැනි ආරයේ චිත්‍රපට ලංකාවේ බිහිවෙලා නැතිම තරම්. ඒ අත්දැකීම මොනවගේද?


ඇත්තටම අලුත් අත්දැකීමක් වුණා. ඒ ගැන හරි සතුටුයි. මොකද විවිධ ශානරයේ විවිධ මාදිලියේ සිනමාපට තිබෙනවානේ. ප්‍රේක්ෂකයෝ බොහෝ වෙලාවට වින්දනාත්මක සිනමාවෙන් බලාපොරොත්තු වන්නේ එහි ගීත රස විඳින්න වගේම රූප රාමුවලින් ලස්සනට එය දකින්නයි. ඒ හැමදෙයකටම ප්‍රේක්ෂකයෝ හරි කැමැතියි. සංගීතයට අකැමැති කෙනෙක් නැහැනේ. ඉතින් සංගීතය පාදක කරගෙන ගොඩනැඟුණු සිනමාපට ලංකා ඉතිහාසයේත් ටිකක් අඩුයි. ඒ නිසා මේක වෙනස්ම විධියේ අලුත් අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන සිනමා නිර්මාණයක්. රංගන ශිල්පියෙක් විධියට ඒ නිර්මාණයේ කොටසක් වීමට ලැබීම ගැන හරි සතුටුයි.


ඇනස්ලි මාලේවන වැනි රසික ආදරයට අසීමිතව පාත්‍ර වූ චරිතයකට පණ පෙවීමට ලැබීමේදී දැනුණ හැඟීම?


මම කොහොමත් ඔහුගේ ලොකු රසිකයෙක්. මම පාසල් යන කාලයේ ඉඳලම ඒ ගීතවලට ඇලුම් කරනවා. ඒ කටහඬ ඔහුටම ආවේණික අනන්‍ය වූ කටහඬක්. අපට ඔහුගේ හඬින් පද පේළියක් ඇහුණත් ඒ කටහඬ අපි හඳුනන චරිතයක් තමයි ඇනස්ලි මාලේවන කියන්නේ. ඒ වගේම ප්‍රේක්ෂකයෝ හරියට ආදරය කරන, ඇලුම් කරන චරිතයක්. ඔහුව පෞද්ගලිකවත් මට මුණගැහිලා තිබෙනවා. ඔහු හරිම මිත්‍රශීලී කෙනෙක්. ඒ වගේ චරිතයකට රංගන දායකත්වය දෙන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඔහු ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ අතිජාත මිත්‍රයා වගේම මුල් අවධියේ ඉඳන්ම ඔහුගේ සංගීත ජීවිතයේත් පෞද්ගලික ජීවිතයේත් ඉතාම ළඟින් ඇසුරු කරපු කෙනෙක්. ඒ නිසා ක්ලැරන්ස් ගැන දැනගන්නත් අපට දැනට ජීවමානව ඉන්න කෙනා තමයි ඇනස්ලි මාලේවන. මේ චිත්‍රපටයත් දිගහැරෙන්නේ ඇනස්ලි මාලේවනගේ දැක්මෙන්.


සිනමාපටයේ හැටියටත් ඔහු තමයි නැවත ක්ලැරන්ස්ව අපට සිහි කරලා දෙන්නේ. මේ චරිතය මම ගොඩක් කැමැත්තෙන් කරපු චරිතයක්.


මෙහි රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ බාහිර පෙනුම හා සැබෑ චරිතවල බාහිර පෙනුම සංසන්දනය කර ප්‍රේක්ෂකයන් පළ කරන අදහස් ගැන ඔබේ අදහස?


 අපි අධ්‍යක්ෂ සමඟ කළ මුල්ම සාකච්ඡාවේදී ඒක මම ම පෞද්ගලිකව මතු කළ කාරණයක්. බැලූ බැල්මටම මමත් කල්පනා කළේ ඇනස්ලි මාලේවනගේ රූපයට මම ලොකු සමානකමක් නැහැ කියලා. ඒ වගේම අපට ඇනස්ලි මාලේවනගේ ඉක්මනින්ම මතකයට එන්නේ වර්තමාන පෙනුමනේ. නමුත් අපි තරුණ කාලයේ දී ඔහුව වැඩි වශයෙන් දැකලා තිබුණෙත් නෑ. ක්ලැරන්ස්ට දමිත්ව තෝරා ගනිද්දීත් බැලූ බැල්මට ක්ලැරන්ස්ට වඩා පෙනුම වෙනස්. ඒ ගැන දමිතුත් ඉන්ටර්වීව් එකක කියනවා. ඒ වගේ උස මහතෙන්, ශරීර වර්ණයෙන් අපි වෙනස්. නමුත් අවසාන තීරණය වෙන්නේ අධ්‍යක්ෂ තේජා මහත්මයාගේ තීරණය නේ. ඉතින් ඔහු ඒ පෙනුම පිළිබඳව වැඩි තැකීමක් කරන බවක් කීවේ නැහැ. ඔහුට වඩා වැදගත් වුණේ සිනමාපටයක් ලෙස ආකර්ෂණීය විධියට මේ ගැන ප්‍රේක්ෂකයන්ට ගෙනියන එක. මිනිසුන්ගේ විශ්වාසය ගොඩනැඟෙන විධියට ඒ දේ කරන එක. ඒ ඒ හැම කාරණයක් ගැනම හිතලා තමයි ඔහු චරිතවලට නළු නිළියන්ව තෝරා ගෙන තිබුණේ. අවාසනාවකට මේවාට උත්තර බඳින්න අද ඔහු අප අතර නෑ. ඉතින් අපි ඔහුගේ තීරණයට හිස නමා අපට පුළුවන් උපරිමයෙන් චරිතවලට සාධාරණයක් කරන්න උත්සාහ කළා.


චරිතාපදානයකට චිත්‍රපටයක් නිර්මාණයේදී ඒ ගැන කොයිතරම් සැලකිලිමත් විය යුතුද?


අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න ඕනෑ. ක්ලැරන්ස් පිළිබඳව සිනමාපටයක් කරනවා නම් තේජා ඉද්දමල්ගොඩ තමයි අපට හිටපු හොඳම කෙනා කිව්වොත් වැරැදි නෑ කියලා මම හිතනවා. මොකද තේජා ඉද්දමල්ගොඩ කියන්නේ ක්ලැරන්ස් විජේවර්ධනයන් පෞද්ගලිකව හඳුනන ඔහුට අතිශය ආදරය කරපු සහ ඒ ක්ලැරන්සියානු සංගීතය අදහපු කෙනෙක්. ක්ලැරන්ස්ට අමතරව ඒ වටාපිටාවේ අය ගැනත්, ක්ලැරන්ස් භාවිත කරපු ගිටාර් ගැන, පෞද්ගලික ජීවිතයේ සුන්දර අසුන්දර තැන් ගැන ඔහු ෆලෝව් කළ සංගීත කණ්ඩායම් ගැන ඒ ඒ කාල වකවානුවල භාවිත කළ නොකළ දේවල් ගැන තේජා ඉද්දමල්ගොඩ හොඳින්ම දන්නවා. තේජා ඉද්දමල්ගොඩ තමයි මේ දෙයට ඉදිරිපත් වෙලා අමාරුවෙන් මේ නිර්මාණය කළේ. ඔහුට ඒ ගෞරවය සීයට සීයක්ම දෙන්න ඕනෑ. ඊළඟට කෙනකුට කරනවා නම් මේ නිර්මාණයත් පාදක කරගෙන ඩොකියුමන්ට්‍රියක් තමයි කරන්න තිබෙන්නේ. මම හිතන්නෙ කරන්න පුළුවන් සුදුසුම පුද්ගලයා ඒ නිර්මාණයට අත ගැහුවා කියලා. ගුණදොස් කියන එක ප්‍රේක්ෂකයන්ට බාරයි ඒ ගැන කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් මේක සිංහල සිනමාවේ සන්ධිස්ථානයක් වෙයි කියලා මම හිතනවා. මෙවැනිම සිනමාවට ගෙනෙන්නට පුළුවන් තවත් චරිත තිබෙනවා. ඒවාටත් මේ නිර්මාණය උත්තේජනයක් වෙයි කියලත් හිතනවා.


ඔබට චිත්‍රපටයේදී ඔබේ බිරිය දිනක්ෂිගෙන් ලැබුණු සහයෝගය කොහොමද?


ඒක දිනක්ෂිටත් ලැබුණු හොඳ අවස්ථාවක්. ඇයට ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ චරිතය තමයි රඟපාන්නට ලැබුණේ. එතැනදීත් බාහිර පෙනුම ගැන සමාජ මාධ්‍යවල කතාබහට ලක් වෙනවා දැක්කා. කලින් කිව්වා වගේම ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ පෙනුම ම සිනමා නිර්මාණයේදී තිබිය යුතුයි කියලා තේජා ඉද්දමල්ගොඩ බලාපොරොත්තු වුණේ නෑ. මෙහිදී ඔහුගේ ඉල්ලීමකට අනුව ත්‍රී සිස්ටර්ස්ලා විධියට සහෝදරියෝ තිදෙනාම මේ නිර්මාණයට ගමු කියල කීවා. ඇත්තටම ශේෂාද්‍රී සහ ශනුද්‍රී මෙහිදී ගරු රඟපෑමක් කළේ. ඔවුන් දෙදනා කිසිම මූල්‍යමය ගනුදෙනුවක් නැතිව ක්ලැරන්ස් විජේවර්ධනයන්ට සහ තේජා ඉද්දමල්ගොඩට ගෞරවයක් වශයෙන් තමයි සම්බන්ධ වුණේ. දැනට දිනක්ෂිගේ රංගනයට චිත්‍රපටය නරඹපු කිහිපදෙනකුගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉතින් ඇයත් ඒ චරිතයට හොඳ සාධාරණයක් කලා කියලා හිතනවා.


වාසලගේ චරිතයට සම්මානයක් නොලැබීම ගැන ප්‍රේක්ෂකයෝ දැඩි කතාබහට ලක් කරනවා?


ඇත්තටම මෙවර සුමති සම්මාන උළෙලේ නිර්දේශ වීමක් වෙලා තිබෙනවා. තවම සම්මාන උළෙල පැවතුණේ නැති නිසා සම්මානය ගැන දැනට කියන්න බෑ. නමුත් නිර්දේශ වීමක් ලැබීම ගැන සතුටුයි. ප්‍රේක්ෂකයන්ගෙන් ලොකු අවධානයක් ටේක් කෙයාර් නිර්මාණයටම ලැබුණා. ඒ අතරේ වාසලගේ චරිතය ගැනත් ලොකු කතිකාවක් ඇතිවුණා. අදටත් සමාජ මාධ්‍ය තුළ ඒ නිර්මාණය ගැන සහ චරිත ගැන කතා කරනවා.


ඔබට නිෂ්පාදන කටයුතු දිගටම කිරීමේ බලාපොරොත්තුවක් තිබෙනවාද?


ඔව්. හදිසියේ හදිසියේ මූල්‍යමය පරමාර්ථ නිසා නිර්මාණ ගොඩක් කරන්න අදහසක් නැහැ. ඒ නිසා තවම පොඩි කාලයක් අරගෙන  හොඳ හිතට දැනෙන නිර්මාණයක් කරන්න ලාපොරොත්තු වෙනවා. සිනමා නිර්මාණයකට අතගහලා තිබෙනවා. ඉදිරියේදී ඒ ගැන වැඩි විස්තර කියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

gossiplanka image 1
Previous Post Next Post