
මේ දවස් ගෙවී යන්නේ කෙසේද?
මේ දවස්වල දවස ගතවෙන්නේ ස්ටුඩියෝ එකේමයි. කාලෙකින් මගේ සින්දුවක් රසිකයන්ට ලබා දෙන්න බැරි වුණා. ඉතින් ඒ නිසාම මම නව ගීත නිර්මාණය කිරීමට යොමු වුණා. මගේ නවතම ගීතයේ වැඩකටයුතු අවසානයි. ඉතින් ඒ ගීතය ඉක්මනින්ම ආදරණීය රසිකයන්ට විඳගන්න ලැබෙයි.
අලුත් ගීතය ගැන කියමු?
මේ මාසේ 25, 26 අලුත් කලාවක් සංගීත ප්‍රසංගය පැවැත්වෙනවා. එදාට ඒ ගීතය අපේ ආදරණීය රසිකයන්ට සජීවීව විඳගන්න ලැබෙනවා. නමුත් ඊට කලින් මේ ගීතයේ මියුසික් වීඩියෝව නිකුත් වෙනවා. ගීතයේ නම කුකුළා. ඒ ගීතයේ ගී පද රචකයා වසන්ත දුක්ගන්නාරාල. ඒක වෙනස් ආකාරයක නිර්මාණයක්. මම මගේ රවුම් කඩේ ගීතය නිර්මාණය කළේ දුකා එක්කනේ. මේකත් දුකා එක්ක නිර්මාණය කරපු ගීතයක්. මේක ඩාන්ස් එහෙම තිබෙන සරම් ඇඳලා කරපු පරණ මොඩ්ල් එකේ වයිබ් එකක් තිබෙන ගීතයක්.
ඔබේ රවුම් කඩේ වැනි ගීතයන් වේගවත් ගීත නමුත් පසුකාලීනව ඔබේ නිර්මාණ ළයාන්විත රාමුවට කොටු වුණා නේද?
මම මගේ පාඩුවේ ළයාන්විත ඒ කියන්නේ ස්ලෝමෝෂන් රිද්මයේ යන ගීත ටිකක් තමයි නිර්මාණය කළේ. නමුත් මට දැන් ඒ රාමුව බිඳගන්න අවශ්‍ය වුණා. අලුත් ගීතය ඒ රාමුව බිඳගන්න මට ලොකු පන්නරයක් වෙයි කියලා මම සිතනවා. මම වැඩිය සංගීත ප්‍රසංගවලට සහභාගි වෙන කෙනෙක් නෙවෙයි. අලුත් කලාවට විතරයි මම සම්බන්ධ වුණේ. මම වසර ගණනාවක් පුරාවට හදපු ගීත රාශියක් තිබෙනවා. ඉතින් ඉක්මනින්ම එක දිගට ඒ ගීත ආදරණීය රසිකයන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. කමර්ෂල් ජින්ගල් එක්ක මම හිර වුණා. මේ නිසාම මම ඇයි වැඩ කරන්නෙ නැත්තේ කියලා මිනිස්සු බණිනවා. මේ අවුරුද්ද ගීත නිර්මාණය සඳහාම වෙන් කරන්න මම සිතුවා.
ඔබේ සොඳුර ගීතයට ලැබෙන ප්‍රතිචාර ගැන කියනවා නම්?
සොඳුර කියන ගීතය නිර්මාණයන් වෙන්නේ අපි අතින් සැම විටම ගිලිහී යන දෙයක් මාතෘකා කොටගෙන. අපේ ගෙදර අපිත් සමඟම සිටින, අපේ සෑම දෙයම සොයා බලලා කරන සහකාරිය ගැන අපි සොයා බලන්නේ නැහැ. අපි ඇයව නිසි ලෙස ඇගයීමකට ලක් කරන්නේ නැහැ. ඉතින් මට මේ දෙය ගැන ගීතයක් නිර්මාණය කරන්න අවශ්‍ය වුණා. මගේ අතිනුත් ගෙදර දේවල් ගිලිහෙනවා. නමුත් සැබෑ ආදරය තිබෙන්නේ ගෙදර. අපි මොන රවුම ගැහුවත් එතැන තමයි නවතින්න වෙන්නේ. ඉතින් මගේ හෙවණැල්ල වගේ ළඟින් සිටින කෙනා ගැන සිතලා මේ ගීතය නිර්මාණය කළා. මේ ගීතය ගැන ගොඩක් අය අගය කරලා තිබුණා ඒ ගැන සතුටුයි.
ලාංකේය සංගීතයට විශාල බලපෑමක් කළ ඔබේ පරම්පරාවේ අලුත් කලාවක් ගැන කියමු.
අලුත් කලාව කියන්නේ වසර ගණනාවකට පසුව නිර්මාණය වුණු අමුතුම ආකාරයේ වැඩක්. අපේ ගීත අහපු පිරිස ඇත්තටම ජීවත් වුණේ ඒ ගීත එක්ක. අපේ ගීත තුළ හැමෝගෙම අතීතයක් වැළලිලා තිබෙනවා. ඒ යුගයේ ගීත ගැයූ කලාකරුවන් රාශියකගේ එකතුවෙන් සිදු වන මේ සංගීත ප්‍රසංගය වෙනස්ම ආකාරයේ දෙයක්. අපිටත් මේ ප්‍රසංගයට එක් වීමෙන් ගායනය කරන්න ශක්තියක් ලැබුණා. අපිට මෙහෙම රසිකයන් පිරිසක් සිටිනවාද කියන දෙය අපිට ඇත්තටම දැනුණේ අපි වේදිකාව මත ගායනා කරන විට රසිකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර දුටුවාම. අපේ ගීත අහපු අය අද ලොකු මිනිස්සු බවට පත්වෙලා. මේක අපේ පරපුරේ ගායක ගායිකාවෝ හැමෝම එක්රැස් වෙන ලස්සන වැඩක්.
සමාජ මාධ්‍යවල බලපෑම සංගීත ක්ෂේත්‍රයට කළ වෙනස ඔබ දකින්නේ කෙසේද?
ලෝකය වෙනස් වන විට අපිටත් වෙනස් වීමට සිදු වෙනවා. අපේ කාලයේ ගීතවලට යම් වාරණයක් තිබුණා. මේ නිසා ගුණාත්මක නිර්මාණ තමයි රසිකයා අතරට ගියේ. අපේ ගීත මේ අයුරින් කළමනාකරණය වුණු නිසාම අපි සැම විටම ගුණාත්මකව ගීත නිර්මාණය කරන්න උත්සාහ කළා. නමුත් දැන් සමාජ මාධ්‍ය නිසා තමන්ට අවශ්‍ය ගුණාත්මක නිර්මාණ තෝරා ගන්න වෙලා තිබෙන්නේ රසිකයාටමයි. අද රසිකයාට වගේම නිර්මාණකරුවාටත් ලොකු නිදහසක් ලැබිලා තිබෙනවා. ඉතින් මේ නිදහස රැක ගැනීම ප්‍රේක්ෂකයා සහ නිර්මාණකරුවා සතු වගකීමක්. සමාජ මාධ්‍ය තුළ යහපත වගේම අයහපතත් තිබෙනවා.
ටික් ටොක්වල ඔබේ තරු දෙනෙතේ ගීතය වයිරල් වෙලා මේ පිළිබඳ ඔබේ අදහස?
ඇත්තටම ඒක වාසනාවක්. මම නිර්මාණය කළ ගීතයක් මේ විධියට නව පරපුර අතර සැරිසරනවා කියන එක මට ලොකු සතුටක්. ඇත්තටම ජනප්‍රියත්වය කියන එක රඳා පවතින්නේ ප්‍රේක්ෂකයා මත ඒක අපේ අතේ තිබෙන දෙයක් නෙවෙයි. තවමත් ඔවුන් මගේ ගීතවලට ආදරය කරන එක ගැන මට තිබෙන්නේ විශාල සතුටක්.
රවුම් කඩේ ගැනත් මතක් කරමු?
රවුම් කඩේ කරත්තකාරයා විධියටනේ මම කොළඹට ආවේ. මම දෙයක් කරද්දී ඒකෙ ට්‍රෙන්ඩ් එක මොකක්ද, මේක යයිද වගේ දේවල් ගැන සිතන්නේ නැහැ. මම කරන්නේ මට දැනෙන දෙය. රවුම් කඩේ කියන්නේ මට දැනෙන දෙයින් නිර්මාණය කළ ගීතයක්. අපේ පරපුරේ ගොඩක් කලාකරුවන් සිටියේ හිප්හොප් සංස්කෘතිය සමඟ මට අවශ්‍ය වුණේ වෙනස් විධියක දෙයක් කරන්න. ඇත්තටම මගේ ට්‍රැක් එකේ රවුම් කඩයක් තිබුණේ නැහැ. දුකා තමයි කඩේ රවුම් කළේ.
ඉදිරි වැඩකටයුතු ගැන කියනවා නම්?
ඉදිරියේදී මගේ අලුත් ගීතවල වැඩකටයුතු සමඟ කාලය ගෙවීමට බලාපොරොත්තු වෙනවා. මගේ ආදරණීය රසිකයන්ට ඒ ගීත ඉක්මනින්ම රසවිඳින්න ලැබෙයි.
