නිවේදන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක්, කැමරා ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් සහ අධ්‍යක්‍ෂවරයෙක් යන කලා ක්‍ෂේත්‍රයේ එකිනෙක බැඳුණු අංශ කිහිපයකින්ම දක්‍ෂතා දක්වන ඔහු නමින් චරිත් අබේසිංහ. නිතරම වෙනස් වැඩකට මුලපුරමින් තමන් තමන්වම අභියෝගයට ලක්කරන චරිත්, ඔබ වෙත ගෙන එන අලුත්ම තිළිණය ‘බඹරෙක් ඇවිත්’. මේ කතාබහ ඒ වෙනුවෙන්.
චරිත්, ‘බඹරෙක් ඇවිත්’ පුංචි තිරයට ගේන්න හිතුවෙ ඇයි?
විශේෂයෙන්ම මේ නාට්‍යය කරන්න වුවමනා වුණේ මම කාලෙකින් පුංචි තිරයේ රඟපෑවෙ නැති නිසා.
මේ මොන වගේ නිර්මාණයක්ද?
මම හිතුවා නැවතත් පුංචි තිරයට ඔළුව දානව නම් මෑතකදි නොදැකපු රූපයකින් එන්න ඕන කියන එක. දේශපාලනය ගැන අපි නිතරම කතාකරන්නෙ 88, 89 යුගය ගැන. මට හිතුනා එතැනින් එහාට 71ට යන්න ඕන කියල. මොකද හැමෝම අතගාපු දෙයක් නැවතත් අතගාන එකේ තේරුමක් නැති නිසයි අපි මේ තීරණය ගත්තෙ. 71 දේශපාලනයට වඩා මේ නිර්මාණයේ වැඩිපුරම දකින්න ලැබෙන්නෙ ගමේ පරිසරය. අපි හැම වෙලාවෙම හිතනව නගරෙට වඩා ගම සුන්දරයි කියල. නමුත් ගමේ ජීවත් වෙන කෙනා තමයි දන්නෙ ගම නගරයට වඩා සුන්දර වුණාට මිනිස්සුන්ගෙත් ඒ සුන්දර ගති පැවතුම් තියෙනවද කියල. නගරයේ මහල් නිවාසවල, මුඩුක්කුවල ජීවත් වෙන මිනිස්සු ජාති, කුලමල බේදයකින් තොරව හොඳින් ජීවත් වෙනව. නමුත් ගම්වල ඊට වඩා වෙනස් ජීවන රටාවක් තියෙන්නෙ. ඒ වෙනස අදට වඩා තිබුණෙ 70 දශකයේ.
මේක පක්‍ෂග්‍රාහී කතාවක්ද?
කෙනකුට හිතෙන්න පුළුවන් අපි යම් යම් පුද්ගලයන්ට හෝ පක්‍ෂවලට මඩ ගහන්න කරන උත්සාහයක්ද කියල. නමුත් මේ මුළු කතාව පුරාවටම අපි කාගෙවත් පැත්තක් ගන්නෙ නැහැ. මොකද අපිට ඒකට හේතුවක් නැහැ. වැරදි හැමෝම අතින් වෙලා තියෙනව. අදටත් වෙනව. ඉදිරියටත් වෙයි. අපි අද කරන වැරදි තව අවුරුදු විස්සකින් විතර තව කවුරු හරි පෙන්නල දෙයි. මේ ජීවන චක්‍රයේ හැටි එහෙම තමයි. ඒ තුළ අතරමං වුණ තරුණයකුගෙ චරිතයක් තමයි මේ කතාවෙ නළුවෙක් විදිහට මට කරන්න තියෙන්නෙ. නමුත් අධ්‍යක්‍ෂවරයෙක් හැටියට ගොඩනැගිය යුතු කතාවේ පූර්ණ ආකල්පය තමයි මේ.
අධ්‍යක්‍ෂවරයා සහ නළුවා යන භූමිකා දෙක එකම නිර්මාණයකින් ඔබ එළිදක්වනව?
ඇක්ට්‍රස් මීඩියම් ඇක්ටින් සහ ඩිරෙක්ටර් ඇක්ටින් කියල දෙකක් තියෙනව. නළුවා විසින් චරිතය නිර්මාණය කරගැනීම හෝ අධ්‍යක්‍ෂවරයා විසින් නළුවා නිර්මාණය කිරීම. මං ඇක්ට්‍රස් ආර්ට් සහ ඩිරෙක්ට්‍රස් ආර්ට් කියන දෙකම කරනව. අධ්‍යක්‍ෂණයත් කරනව, රඟපෑමත් කරනව. ඇක්ට්‍රස් ආර්ට් මූවි සහ ඩිරෙක්ට්‍රස් ආර්ට් කියල දෙකක් ලෝකෙ තියෙනවනෙ. මේ දෙකම තමන් වුණාම අවශ්‍ය වෙලාවට මේ දෙකෙන් එකක් තෝරාගන්න පුළුවන්.
නළු නිළියන් තෝරාගැනීම ගැන කතා කළොත්?
මෙතනදි අපි ටිකක් අලුත් අය තෝරාගන්නව. මොකද ඉන්ඩස්ටි්‍ර එකට අලුත් මුහුණු එනව අඩු නිසා හොඳ නාට්‍යයකින්
අවස්ථාවක් දෙනව නම්, ඔවුන්ටත් ඒ අවස්ථාව වටිනව නම් එතනදි දෙපිරිසටම සාධාරණයක් වෙනව.
චරිත් අබේසිංහ කියන රංගන ශිල්පියාට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනව. බොහෝ වෙලාවට මාව හඳුනාගන්න බැරි තරමට අංගරචනා ශිල්පී බුවනෙක රණවක මාව වෙනස් කළා. ඉදිරියේදී ස්වරූප කිහිපයකට වෙනස් වෙමින් තවත් විශාල වෙනස්කම්වලට මේ චරිතය එක්ක අපිට යන්න තියෙනව. සියල්ල සාර්ථකව කෙරුණොත් ඒ ප්‍රතිඵලය ලබන වසර වන විට අපිට බලාගන්න පුළුවන්වෙයි.
‘බඹරෙක් ඇවිත්’ ගැන කතාකරනකොට දර්ශනතල ගැන කතා නොකරම බැහැ?
ඔව්, මේ දර්ශණතල සොයාගැනීමේදී කොළඹින් පිට දුෂ්කර ප්‍රදේශවලට අපිට යන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම හම්බන්තොට, මොනරාගල වගේ දිස්ත්‍රික්වල බොහෝ කොටස් රූගත කෙරුණා. ඒ වගේම සමහර පසුතල නිර්මාණය කරගන්නත් සිදු වුණා. මෙතනදි අපි නොදැකපු අතීතයක් සාර්ථකව නිර්මාණය කරගන්න ලොකු උත්සාහයක් ගන්නව. අපේ අතින් අඩුපාඩු වෙන්න පුළුවන්. 70 දශකයේ ජීවත් වුණ අය තවමත් ඉන්නව. ඒ අතීතය මතක තියෙන ඔවුන් හිතන්න පුළුවන් සමහර දේවල් ඒ කාලේ තිබුණෙ නැහැ නේද කියල. නමුත් නිර්මාණයකදි අපිට උපරිම උත්සාහයට එහා දෙයක් දරන්න බැහැ. අඩුපාඩු අවම කරගෙන නිර්මාණය සාර්ථක කරගන්න උපරිම උත්සාහයක් දරනව.
මොනවද ඔබට තිබුණ අභියෝග?
අපිට තිබුණ ලොකුම අභියෝගය තමයි ඒ කාලෙ රේඩියෝවල විකාශය වුණ පුවත්, නිවුස්වල තීම්, රේඩියෝ නාට්‍ය වගේ දේවල් සොයාගැනීමේ ප්‍රශ්නය. ශිෂ්‍ය අරගලයක කොටස් කිහිපයක් රූගත කරන්න සිදු වුණා. එතැනදි දර්ශන තල නිර්මාණය කරගැනීම ලොකු අභියෝගයක් වුණා. පරණ පිංතූර උපයෝගි කරගෙන තමයි ඒ අවස්ථාවන් නිර්මාණය කරගත්තෙ.
වර්තමානයේ තිබෙන ලොකුම ගැටලුවක් වෙන්නෙ නිෂ්පාදකයකු සොයාගැනීම?
මට මේ නාට්‍යයට හිරු ටීවී ආයතනයෙන් සාධාරණ මුදලක් ගෙවනව. මං හිතන්නෙ මගේ නිෂ්පාදකවරයා මේ වෙලාවෙ නාට්‍යයකට ගෙවන වැඩිම මුදල මේ නාට්‍යයට ගෙවනව. ඒ අතින් මම වාසනාවන්තයි.
ඔබ නිතරම වෙනස් තේමාවක් තෝරාගන්නව?
මම නිතර මාවම අභියෝගයකට ලක්කරනව. එකම ශානරයක නිර්මාණ කළොත් වෙනසක් නැති වෙනව. තෝරාගන්නා මාතෘකාවන්, කාලවකවානු වෙනස් වන විට අධ්‍යක්‍ෂවරයකුට නිතරම අභියෝගයක් තියෙනව. ඒ අභියෝගය දවසක මාව හොඳ අධ්‍යක්‍ෂවරයෙක් කරයි කියල මම විශ්වාස කරනව.
සිනමාවට අලුත් දෙයක් නැද්ද?
ආලංකුළම ආයතනයත් එක්ක එකතුවෙලා මේ අවුරුද්ද තුළ චිත්‍රපට දෙකක් කරනව. එකක් ලස්සන ආදර කතාවක්. ජුනි මාසයේ 10 වැනිදා පටන් රූගතකිරීම් ආරම්භ කරනව.
ඔබ තුළ සිටි නිවේදන ශිල්පියාට මොකද වුණේ?
නිවේදන ශිල්පියා මේ දවස්වල ඕෆ් සීසන්. නැවත වැඩ පටන්ගන්නකොට ඔක්තෝබර් අවසාන භාගය විතර වෙයි.
නිවේදන ශිල්පියා එහෙම වෙනකොට ගායන ශිල්පියාට මොකද වෙන්නෙ?
ගායන ශිල්පියා චිත්‍රපටවල සහ ටෙලි නාට්‍යවල ගීත ගායනා කරාවි. බඹරෙක් ඇවිත් ටෙලියේ තේමා ගීතය රචනා කළේ සහ ගායනා කළේ මම.
මහේෂ් එදිරිසිංහ
.png)

.png)