සුපුන් රත්නායකගේ තත්පරයක් දෙන්න ටෙලි නාට්‍යයේ ඩැෆ්නි ලෙසින් ඔබ හමුවට එන රෙබෙකා දිල්රුක්ෂි එළැඹෙන 17 වැනිදා සිට තිරගත කිරීම ආරම්භ කිරීමට නියමිත සසික හේරත් අධ්‍යක්ෂණය කළ මහාචාර්ය චරිත් ජයතිලක සහ ධම්මික ගීකියනගේ නිෂ්පාදනය කළ ‘සිහින සමීකරණ’ සිනමා නිර්මාණයෙන් ද ඔබ හමුවට පැමිණීමට නියමිතයි.
තත්පරයක් දෙන්න ඩැෆ්නිගේ චරිතයට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?
මට වගේම නාට්‍යයටත් මේ දවස්වල හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් දෙනෙක් බලන නාට්‍යයක් බවට පත්වෙලා තිබෙනවා.
කොහොමද මේ ආරාධනය ලැබෙන්නෙ?
සුපුන් රත්නායක අධ්‍යක්ෂවරයා සමඟ මම මීට කලින් මෙට්‍රෝ හීන ටෙලි නාට්‍යයේ වැඩ කළා. ඒ හඳුනාගැනීම මත තමයි මට මේ නාට්‍යයේ චරිතයට කතා කළේ.
රූගත කිරීම්වල අත්දැකීම් ගැන කතා කළොත්?
උපේක්ෂා, වොල්ගා, තරින්දි, ශලනි, දමිතා, මාධනී, සේමිණී, ලලීන්ද්‍ර වගේ දැවැන්ත පිරිසක් එක්ක තමයි රූගත කිරීම් සිදු කරන්නේ. බන්ධනාගාරගත දර්ශන රූගත කිරීම සිදුකරන්නේ අංගොඩ මානසික රෝහලේ අතහැර දැමූ ගොඩනැඟිල්ලක. ඒ දර්ශන තලයට ගියහම වෙලාව යනවා දැනෙන්නේ නැහැ.
තත්පරයක් දෙන්න ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙනකොට හිතුවද මේ තරම් ප්‍රතිචාර ලැබේවි කියලා?
නැහැ. නැහැ. මට චරිතයක් විදිහට එළියට එන්න පුළුවන් වුණාට ලැබිල තියෙන කාලය ගොඩක් අඩුයි. නමුත් මම ට්‍රයි කළා මොනවා හරි වෙනස් දෙයක් කරන්න. පොඩි චරිතයක් වුණත් මම උත්සාහ කළා වෙනස් විදිහකට මිනිස්සු අතරට යන්න. හැබැයි මමත් හිතුවේ නැහැ නාට්‍යය මේ තරම් ජනප්‍රිය වෙලා පොඩි චරිතයක් කරන කෙනෙක් පවා මෙච්චර අගයයි කියලා.
පොඩි රෝල් එක මෙච්චර හිට් වෙයි කියලා හිතුවේ නැහැ?
ඔව්. ඔව්. සමහර නිර්මාණවල පොඩි චරිතයක් කළාට කවුරුවත් කතා කරන්නේ නැහැනේ. මේකේ එක සීන් එකෙන් එක මනුස්සයෙක් ගැනත් කතාබහ වෙනවා.
ඔබ රංගනයෙන් දායක වුණු සසික හේරත්ගේ සිහින සමීකරණ චිත්‍රපටයත් එළැඹෙන 17 වැනිදා සිට තිරගත වෙනවා?
ඇත්තටම අවුරුදු ගණනාවක් බලාගෙන හිටියා මේ චිත්‍රපටය තිරගත වෙනකම්. මොකද චිත්‍රපටයේ රූගත කිරීම් සිදුකළේ 2019 වසරේදී. හරි සතුටුයි. ඇඟිලි ගැන ගැන ඉන්නේ මංගල දර්ශනයට සහභාගි වෙන්න.
මේක ඔබේ පළමු සිනමා නිර්මාණය?
ඔව්. මේක මගේ පළමු සිනමා පටය. සසික හේරත් අයියගෙත් පළමු සිනමා පටය. මම චරිතයක් කරන පළමු වැනි චිත්‍රපටය. 2019 කියන්නේ මම වයසින් මුහුකුරා ගිහිල්ලත් නැහැ. අලුත් අත්දැකීම් ටිකක් ලැබුණා.
සිහින සමීකරණවලට සම්බන්ධ වෙන්න ලැබුණේ කොහොමද?
මම කැම්පස් ඉන්න කාලේ සසික අයියා සහාය අධ්‍යක්ෂණය කරපු වැඩකට කතා කළා. ඒ කාලෙම මම තේරුම් ගත්තා ඔහු හොඳ අදහස් තියෙන මනුස්සයෙක් කියලා. ආර්ට් එකට තියෙන ආසාව මම එයාගෙන් දැක්කා. ඒකත් එක්ක ඇති වුණ කතාබහක් එක්ක තමයි එයාගේ පළමු වැඩේට මට ආරාධනාව ලැබුණේ.
ඔබට රඟපාන්න ලැබෙන්නෙත් රන්දික සහ සජිත ඇන්තනී එක්ක?
රන්දිකලා අපි එක බැජ්වල. එයා සෞන්දර්යයේ. මම ශ්‍රීපාලියේ. එතකොට රන්දික සහ මම සම වයස් හින්දා අපි හොඳින් හඳුනනවා. ඒ කාලේ යාළුවෝ. හැබැයි සජිතව අපි දන්නේ නැහැ. ෆිල්ම් එකට ගියාට පස්සේ තමයි අපි දැන ගත්තේ.
රන්දිකගෙන් සහ සජිතගෙන් මම දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අනික මගේ චරිතයට දෙන්නම ලොකු සහයෝගයක් ලබා දුන්නා.
සිහින සමීකරණ ගැන මොකද හිතෙන්නේ?
මීට කලින් මම සිනමා නිර්මාණවල පොඩි පොඩි චරිත කරලා තියෙනවා. හැබැයි මේක ප්‍රධාන චරිතයක්නේ. ප්‍රේක්ෂකයෝ මොනවා කියයිද කියලා බලාගෙන ඉන්නේ. මේ චිත්‍රපටය මොන අවුරුද්දක තිරගත කළත් තුන්කල් දැක්මෙන් කරපු වැඩක්. මේක ඕනෑම කාලයකට ගැළපෙන චිත්‍රපටයක්.
මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණ තරුණියකගේ චරිතය රඟපාන්න බය හිතුණේ නැතිද?
මේ චරිතයට බය හිතුණේ නැහැ, ආසාවක් ඇති වුණේ. මගේ පළමු සිනමා නිර්මාණයත් අභියෝගාත්මක චරිතයක්නේ. ඒ නිසාමයි මම සිහින සමීකරණ චිත්‍රපටය රඟපාන්න කැමැති වුණේ. ඕනෑම මනුස්සයෙක් ඕනෑම නරක දෙයකට ඇබ්බැහි වීමේදී ඊට පිටුපසින් මොනවා හරි හේතු ටිකක් තියෙනවා. එතකොට මේ චරිතයේ ප්‍රධාන හේතුව තමයි ෆැමිලි එක අවුල් වීම.
රූගත කිරීම් අවසන් වුණාට පසුව අධ්‍යක්ෂ සසික හේරත් මොනවද කිව්වේ?
කොහොම හරි ෂූටින් ඉවර වෙලා අධ්‍යක්ෂවරයාට මොනවත් කියන්න වුණේ නැහැ. මොකද ෂූටින් ඉවර වෙලා දවස් දෙකෙන් රට වැහුවා. කොරෝනා වසංගතය ආවානේ. ඊට කලින් අපි ෂූටින් ඉවර කරගත්ත එක ගැන මාර විදිහට සතුටු වුණා. හැබැයි සසික අයියා මට කතා කරලා ස්තූති කළා. මගේ රංගන හැකියාව ගැන කිසිවක් දන්නේ නැතිව මාව විශ්වාසකරලා මේ චරිතයට ගත්තු එක ගැන මම මාරවිදිහට ඔහුට ගරු කරනවා.
ඔබ වැඩිපුර සම්බන්ධ වේදිකාවට?
මම ඩ්‍රාමා කරන්න පටන් ගත්තේ ඉස්කෝලෙ පල්ලියෙන්. ඒවාත් එක්ක මට ආසා හිතුණා රංගනය පිළිබඳව වැඩිදුර හැදෑරීමක් කරන්න. ඊට පසුව මම ශ්‍රීපාලි කැම්පස් එකට එනවා.
කැම්පස් එකට ආවට පස්සේ නාමල් ජයසිංහ, තුමිඳු දොඩම්තැන්න, නලීන් ලුසේනා වගේ දැවැන්ත කට්ටිය මුණගැසෙනවා. ඔවුන්ගෙන් තමයි මම ඉගෙන ගන්නේ. ඒ ගොල්ලන්ගේ ආභාෂය එක්ක තමයි මම නාට්‍ය හා රංග කලාව තවදුරටත් හදාරලා කැම්පස් එකේ ඉන්න කාලේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම නිළිය වෙනවා එක වතාවක්. ඊට පසුව කුසලතා සම්මාන ලැබෙනවා. ඉගෙනගනිමින් තමයි පුංචි තිරයට එන්නේ.
මේ වෙනකොට ඔබේ වෘත්තිය?
ඇත්තටම මගේ වෘත්තිය රංගනය.
අවුරුදු දහයකට පස්සෙ අද මොකද හිතෙන්නෙ?
ඇත්තටම මම හැමදාමත් කියන කතාවක් තියෙනවා. මම කැමරාවකට මුහුණ දුන්නේ අවුරුදු විස්සේදී. 2012 ඉඳලා 2024 දක්වා කාලයක්. දැන් අවුරුදු දහයකටත් වැඩියි. මට ඇත්තටම සතුටුයි. මම බොහොම හෙමින් ගමනක් ආවේ. මට එක රැයින් ජනප්‍රිය වෙන්නත් තිබුණා. හැබැයි මම ඒ පාර තෝරගත්තේ නැහැ. හෘද සාක්ෂියට අවංකව තමයි මේ ගමන ආවේ. ඒ ගැන මට සතුටුයි. මොකද කාගෙන්වත් කතා අහගන්නේ නැතිව ආපු ගමනක් මේක.
මහේෂ් එදිරිසිංහ
.png)
.png)