තත්පරයෙන් පත්තු වුණු ඇක්ට් එක – ධනුෂි දිසානායක




නිළියකට හෝ නළුවෙකුට තමන්ගේ හැකියාව පෙන්වන්න එක තත්පරයකුත් ඇති. ඇයි අපි එහෙම කියන්නේ. මේ දිනවල බොහෝදෙනා අතර කතාබහට ලක්වන ටෙලි නාට්‍යයක් වන ‘තත්පරයක් දෙන්න’ ටෙලි නාට්‍යයේ ඇගේ රංගනය ගැන බොහෝදෙනා කතාබහ කරන්න පටන් ගත්තා.

පද්ම වන්නකුගේ බිරිඳ එක තත්පරයක් ඇතුළේ මුළුමහත් සමාජයම ඇගේ ග්‍රහණයට ගන්නවා. ඒක ලේසි නැහැ. ඇගේ ඒ තත්පර ගණනක රංග ප්‍රතිභාව පිළිවෙළින් පිළිවෙළට එඩිට් කරලා සමාජ මාධ්‍යවල වගේම බොහෝදෙනාගේ මුහුණු පොත්වල ෂෙයාර් වෙන්න පටන් ගන්නවා.

ඇත්තටම මේ පද්ම වන්නකුගේ බිරිඳ කවුද?


ඔබේ නම?


ධනුෂි දිසානායක


වන්නකුගේ බිරිඳ වෙන්න ලැබුණේ කොහොමද?


ඒකත් ඉතින් සුපුන් අයියලාගේ තෝරා ගැනීමක් තමයි. මීට කලිනුත් මම සුපුන් අයියාගේ තුම්පනේ කියන ටෙලි නාට්‍යයේ විමලේගේ බිරිඳගේ චරිතය නිරූපණය කළා.


ඇත්තටම මට කෝරලගේ සමන් අයියා තමයි තුම්පනේ නාට්‍යයට සුපුන් අයියාව හඳුන්වලා දෙන්නේ. ඊට පස්සේ මධුර ප්‍රභාෂ්වර තමයි මේ නාට්‍යයේ වන්නකුගේ බිරිඳගේ චරිතය මට ලබාදෙන්න කියලා සුපුන් අයියාට යෝජනා කරන්නේ.


පසුගිය දිනවල ඔබේ රංගනය ගැන හැමෝම වගේ කතාබහ කළා?


සතියකට එකහමාරකට උඩදී තමයි මේ පිටපත මගේ අතට හම්බවෙන්නේ. මම මීට කලින් සුළු සුළු වැඩවල යෙදිලා තිබුණට එවැනි ඝනයේ රංගනයක් මට මීට කලින් හම්බවෙලා තිබුණේ නැහැ. පිටපතත් සමග සතියක විතර කාලයක් වැඩ කරලා තමයි ඒ දර්ශනයට සූදානම් වුණේ.


ධනුෂි වැඩිපුර සම්බන්ධ වෙන්නේ වේදිකාවටද?


ඔව්. මේ දවස්වල නම් ධනංජය කරුණාරත්නගේ සිහින රඟහල කියන නාට්‍ය ගොනුවේ ඔබ සාපේක්ෂයි කියලා නාට්‍යයක් තිබෙනවා. ඒකට සම්බන්ධ වෙනවා මමත් පූජන අයියත්.


වේදිකාවට එන්න කලින්?


මගේ ගමේ ඉඳලා ජනරඟ සභාව කියන වීදි නාට්‍ය කණ්ඩායමත් එක්ක අවුරුදු හතරක කාලයක් වැඩ කළා. කැම්පස් ආවට පස්සේ තමයි වේදිකා නාට්‍යවලට වැඩි නැඹුරුවක් දැක්වූයේ.


ඔබ මේ ආපු ගමන ගැන කතා කළොත්?


මුලින්ම වීදි නාට්‍යවලින් ඇවිල්ලා ආයේ වේදිකාවට ඇවිල්ලා වේදිකාවෙන් ටෙලි නාට්‍යවල පොඩි පොඩි චරිත කරලා තමයි මේ තැනට ආවේ. මේක ඉතින් හිතාගන්නවත් බැරි තැනකින් තත්පරයකින් මගේ ඇක්ටින් කියන එක මිනිස්සු අතරට ගියා.


ධනුෂිගේ ගම් පළාත වගේම පාසල් ගියේ එහෙම කොහේද කිව්වොත්?


මගේ ගම මහියංගණය. උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරුවේ ගමේ පාසල් තුනකට ගිහින්. 1 වසරේ ඉඳලා 5 වසර දක්වා සේනානිගම ප්‍රාථමික විද්‍යාලයටත්, 6 වසර සිට 11 වසර දක්වා මාපාකඩ මධ්‍ය මහා විද්‍යාලයටත් උසස් පෙළ සඳහා ආඳාඋල්පත ජාතික පාසලටත් යනවා.


රංගනයට සම්බන්ධ වෙන්නේ?


රිදීමාලියද්ද ගමේ තිබුණු ජන රඟ සභාව කියන සංස්කෘත මධ්‍යස්ථානයට බැඳෙනවා. ප්‍රේමරත්න තෙන්නකෝන් සහ ඔහුගේ බිරිඳ දිලුක් ශ්‍රියානිගේ අඩිපාරේ ගිහින් තමයි නාට්‍ය කලාවට සම්බන්ධ වුණේ.


එතකොට කොළඹ එන්නේ?


යෞවන ප්‍රතිභා තරගයේ අවසන් මහා තරගාවලිය තිබුණා බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී. ඒ වෙනකොට මම හිටියේ කැම්පස් එන්න අම්පාරේ නායකත්ව පුහුණු වැඩමුළුවට ගිහින්. එතකොට මේ තරගාවලියට ආවේ සර් ඉදිරිපත් කළ ‘පොඩ්ඩක් හෝල්ට්’ කියලා කෙටි නාට්‍යයක් හරහා. ඒකේ හිටපු ප්‍රධාන නිළියට එන්න බැරි හින්දා අන්තිමේ මම රඟපෑවා. අන්තිමේ මම යෞවන ප්‍රතිභා තරගයේ හොඳම නිළිය වුණා. ඒ ආපු ගමන තමයි අදටත් මේ එන්නේ.


මහියංගණයේ ඉඳලා කොළඹ ආපු ගමනේ ලද අත්දැකීම්?


කැම්පස් එන්න කලින් ඒ කාලේ ඉඳලා අපි නාට්‍ය බලන්න කොළඹ එනවා. අපේ සංස්කෘත මධ්‍යස්ථානය ප්‍රසිද්ධ වෙලා තිබුණේ නර්තනයට. සමස්ත ලංකා නර්තන තරගවල අපි හොඳ නියෝජනයක්. ඒ කාලේ ඉඳලා අපි කප් එක ගහනවා.


‘තත්පරයක් දෙන්න’ ජීවිතයේ ලොකු පෙරළියක් ඇති කළාද?


ඇත්තටම මාරම පෙරළියක් ඇති කළා. ඒ කියන්නේ මේ සීන් එක එන්න කලිනුත් මාව යූටර්න් වෙලා කියලා දැක්කා. මම රඟපානවා තාත්විකයි කියන එක ‘තත්පරයක් දෙන්න’ පටන් ගත්තු දවස්වල ඉඳලා මගේ ක්‍රමයට එන්න පටන් ගත්තා.


ඔබ ආදරවන්තියක්ද?


ඔව්. මට හොඳ ආදර වන්තයෙක් ඉන්නවා. මේ ගමනට ඔහු ලොකු හයියක් වෙනවා. ඔහු පූජන දන්දෙනිය. එයත් මේ නාට්‍යයේ චරිතයක් රඟපානවා. ඇක්ටින් පැත්තෙන් මොන වැඩේ ආවත් අපි දෙන්නා අතර ලොකු සංවාදයක් තිබෙනවා. මොන වැඩේ ආවත් මොන චරිතය ආවත් අපි කතාබහ කරනවා. මගේ ලයිෆ් එකේ ගොඩක් දේවල්වලට එයා සහයෝගය දක්වන විදිහට මට සාර්ථකව ඒ දේවල් කරගන්න පුළුවන්.


පූජන වන්නකුගේ බිරිඳ ගැන මොනවද කිව්වේ?


මේ දවස්වල ගෙදර නැහැ. වෙන වැඩකට ගිහිල්ලා ඉන්නේ. එයත් මාර සන්තෝසයි.


පූජනව ආදරවන්තයා විදිහට තෝරාගත්ත විශේෂ හේතුවක් තිබුණද?


විශේෂ හේතුවක් තිබුණේ නැහැ. ඔහුව මට හොඳින් දැනුණා. දෙන්නාට දෙන්නා ගැළපෙනවා කියලා හිතුණා. තේරුම් ගැනීමේ හැකියාව එයාට හොඳට තියෙනවා. මගේ ගමනට එයා මාර සහයෝගයක් ලබාදෙනවා. අපි දකින හීනයට අවුලක් දාන පෙම්වතෙක් සැමියෙක් අවශ්‍ය නැහැනේ ඉතින්. අපි දෙන්නට එක ගමනක් යන්න පුළුවන් හින්දා ඉතාම සාර්ථකයි කියලා හිතෙනවා. එයත් මාත් එක්ක ඉන්නෙ ලොකු කැමැත්තකින් සහ විශ්වාසයකින්.


දිනේෂ් විතාන




Previous Post Next Post