නයි මෙල්ල කරන විශ්වකර්ම කපු මෑණියෝ - වසන්ති රංවල

Wednesday, November 10, 2021 , 0 Comments




විවිධ චරිත හරහා ඔබට සමීපවුණු ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය වසන්ති රංවල. ඉතින් ඇය මෙතෙක් නිරූපණය නොකළ සුවිශේෂී රංගනයක් ‘නීල පබළු’ ටෙලිනාට්‍ය හරහා දැකගන්නට පුළුවන්. ඇය දැන් රංගනයට විතරක් නෙවේ අධ්‍යක්‍ෂවරියක් ලෙසටද ඉදිරියේදී කටයුතු කරන්නට සූදානම්. ඒ කරුණු කාරණා ගැන ඇය පුවත්පතක් සමඟින් මෙලස පවසා තිබුනා.


වසන්ති මේ දවස්වල දේවාලයක් කරගෙන යන බව ආරංචියි..?

ඔව්… එය වෙනස්ම අත්දැකීමක්. සඳුන් රාජකරුණ අධ්‍යක්‍ෂණය කරන ලලිත් වසන්ත මහතා නිෂ්පාදනය කරන ‘නීල පබළු’ ටෙලිනාට්‍යයට මම අලුතෙන් සම්බන්ධ වුණා. ‘නීල පබළු’ ටෙලිනාට්‍යයේ ‘මෑණි’ කෙනෙක්ගේ චරිතයක් තමයි මම කරන්නේ. මම මෙයට කලින් සඳුන් රාජකරුණා අධ්‍යක්‍ෂණය කළ ‘ඉතින් ඊට පස්සේ’ ටෙලිනාට්‍යයෙත් වැඩ කළා. හරිම සුහදශීලී විදියට එකමුතුව චරිතය නිරූපණය කරනවා.


මෙයට කලින් ඔබේ විවිධ රංගනයන් දැක තිබුණත් මෙවැනි චරිතයක් ඔබ නිරූපණය කරනවා දැකලා නැහැ. ඉතින් මේ වෙනස කොහොමද?

මම මෙවැනි චරිතයක් කරන පළමු අවස්ථාව තමයි මේ. ඉතින් මේ ලැබුණු කෙටි කාලයත් තුළ චරිතය මට කළ හැකි උපරිම ලෙසට නිරූපණය කළා. හැබැයි ඉතින් චරිතයට තව කාලයක් තිබුණ නම් මම මෙයට වඩා හොඳට කරනවා ඒ ගැන හොයලා බලලා.


‘කපු මෑණියන්’ට හොඳ යාළුවෙක් සමග නේද වැඩ හමුවෙලා තියෙන්නේ?

අම්මෝ මොන හොඳද… මම අකැමැතිම දෙයක් තමයි සර්පයින්ට. මට කිවුවා නයෙක් එක්ක තමයි රඟපාන්න තියෙන්නේ කියලා. ඒත් මම හිතුවේ විහිළුවට කිව්වා කියලා. අකැමැත්තෙන් වුණත් ඒ අභියෝගයට මම මුහුණ දුන්නා. නයාව මෙල්ල කරන්න තමයි ‘කපු මෑණියන්’ ‘නීල පබළු’ ටෙලිනාට්‍යයට එකතු වෙන්නේ.


දේව සාත්තර පිළිබඳව ඔබ විශ්වාස කරනවාද?

මෙහෙමයි… එහෙම නොපෙනෙන බලවේග තියෙන්න පුළුවන්. යක්‍ෂයෝ, ප්‍රේතයෝ ඇති කියලා මම විශ්වාස කරනවා. නමුත් අපේ සමාජයට දැඩි වශයෙන් එළියට ඇවිත් තියෙන්නේ බොරුවෙන් මවාපාලා ඒ වැඩ කරලා මිනිසුන් මුළාකරන අය තමයි.


ඔබ කලින් පැවැසූ පරිදි වර්තමානයේ නිර්මාණවල සුහදශීලීත්වය බිඳවැටිලා නේද?

නිර්මාණයක් සාර්ථක වීමට ප්‍රධානම හේතුව සියලුමදෙනා අතර තියෙන සුහදශීලීත්වයයි. දෙවියන්ගේ පිහිටෙන් මම වැඩ කරපු හැම කෙනෙක් සමගම සුහදශීලීව වැඩ කරන්න පුළුවන් වුණා. එකම එක අවස්ථාවක හලාවතදී ප්‍රශ්නයක් මතුවුණා. මම ඒ ගැන කතා කරන්න කැමැති නැහැ.


‘බ්ලැක් ෆුල්’ සමග ගෙවන ජීවිතය කොයිවගේද වසන්ති..?

හරිම සුන්දරයි… නුවරඑළිය පැත්තේ තමයි ‘බ්ලැක් ෆුල්’ ටෙලිනාට්‍ය කරන්නේ. කැළුම් උඩුවාවල තමයි එය අධ්‍යක්‍ෂණය කරන්නේ. අලුත් පරපුරට චෝදනා නඟනවා වැඩ හරියට කරන්නැහැ කියලා. නමුත් ‘බ්ලැක් ෆුල්’ එකේදී මට අලුත් පිරිසක් හමුවුණා. පුදුම විනයක් ඔවුන්ගේ මම දැක්කේ. ඒ වගේම ඉතාමත් හොඳ, දක්‍ෂ පිරිසක් කැළුම් නිර්මාණයට තෝරාගෙන තිබෙනවා. ‘බ්ලැක් ෆුල්’ රූගත කිරීම් නැවැත පටන් ගන්නකම් මම ආශාවෙන් බලාගෙන ඉන්නේ.


කොරෝනා කාලේ කලාව වෙනුවෙන් බැඳුණු ආලේ කොයිවගේද?

ඒ කාලේ තමයි සතුටින්ම ගෙවපු කාලය. පවුලේ අයත් එක්ක. මොකද අපිට එහෙම ලේසියෙන් එකදිගට පවුලේ අයත් එක්ක ඉන්න ලැබෙන කාලය අඩුයි. ඉතින් සතුටින්, විවේකීව ගෙදරට වෙලා කාලය ගතකළා.


ඔබේ ආදරණීය දියණියත් දැන් රංගන ශිල්පිනියක් වෙලා නේද?

ඔව්… සිලිඳු රංවල මගේ දුව. ඇයත් ටෙලිනාට්‍යය කිහිපයකට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා මේ දවස්වල. ඒ වගේම ඇයගේ දෙවැනි සින්දුව කිරීමට සූදානම් වෙනවා.


-වසන්ත විතාරණගේ-