කොන්ද කෙළින් තියාගෙන ඉස්සරහට යන එක හරිම අමාරු වැඩක් - තරින්දි ප්‍රනාන්දු

Tuesday, November 09, 2021 , 0 Comments

 




කැපකිරීම

පාසැල් යන කාලයේ සිටම කැපකිරීම මගේ ජීවිතයට ගොඩක් සමීපයි. පාසැලේදී මම අධ්‍යාපනයට වගේම ක්‍රීඩාවටත් මුල්තැන දීලා වැඩකරපු කෙනෙක්. තරින්දි ප්‍රනාන්දු කියන නම පාසැලේදී බොහෝ දෙනා හඳුනන කෙනෙක් වුණා. පාසැලේදී වගේම මම සේවය කරපු බැංකු ආයතන දෙකේදීමත් මම කැපවීමෙන් වැඩකරපු කෙනෙක්. මම පාසැල් තුනක අධ්‍යාපනය ලැබුවා. මුලින්ම ප්‍රාථමික අධ්‍යාපනය සඳහා පල්ලන්සේන ප්‍රාථමික විදුහලටත්, පසුව දළුවකොටුව ශාන්ත ආනා විදුහලේත්, දංකොටුව බාලිකා මහ විදුහලේත් ඉගෙන ගත්තා. කලා ජීවිතේ මේ ආපු දුර එන්නත් පාසැල් ජීවිතේදී කරපු කැපකිරීම් ගොඩක් ඉවහල් වුණා. මගේ පැහැය සුදු වුණත් පාසැල් ජීවිතේදී මගේ පෙනුම ගැන හිතුවේවත් නැහැ. මගේ වයසේ ළමයින් ඒ කාලේදී තමන්ගේ රූපය ගැන, පැහැය ගැන, බාහිර පෙනුම ගැන හිතුවත් මම ඒ හැමදේම ක්‍රීඩාව වෙනුවෙන් කැප කළා. මමත් ලස්සන වෙන්න ආසා කළා. ඒත් එකදිගට ක්‍රීඩා පුහුණුවීම් වෙනුවෙන් අව්වේ ඉඳිද්දී, නර්තන කණ්ඩායමේ හිටපු නිසා ඒ පුහුණුවීම් වෙනුවෙන් කැපවෙද්දී ඒ හැම දෙයක් ගැනම හිතන්න පුළුවන් වුණේ නැහැ. මට තාම මතකයි ක්‍රීඩා කරන්න ගිහින් කකුල්, අතපය තුවාලවෙලා ඒ කැලැල් පවා අත් පාවල තිබුණා. ඒ හැම කැපකිරීමක්ම මම පාසැල් ජීවිතය වෙනුවෙන් කළා. අද ඒවායේ සාර්ථක ප්‍රතිඵල ජීවිතයට ලැබිලයි තියෙන්නේ.


 ඉරිසියාව

චූටි කාලයේදී සමහර මගේ වයසේ ළමයින් අඳින ඇඳුම්, පාවිච්චි කරන පාසැල් බෑග් දැක්කහම අරය ලස්සනට අඳිනවා. මට එහෙම නැහැනේ* කියල හිතිලා තියෙනවා. මට හිතෙන විදිහට ඒක ඉරිසියාවක් වෙන්නත් ඇති. හැබැයි මම තේරෙන වයස ආවත් සමඟම මගේ අම්මා නැතිවෙනවාත් සමඟම මම ජීවිතේ බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒ නිසා චූටි කාලේ මම හිතුවට වඩා අද ජීවිතේ ගොඩක් වෙනස්. දැන්නම් මගේ හිතේ ඉරිසියාව කියන වචනයට ඉඩක් නැහැ. අපි කාටවත් ඉරිසියා කරලා තේරුමක් නැහැ. කොච්චර ඉරිසියා කළත් අපිට ඒ අදාළ කෙනා වගේ කොහොමටවත් වෙන්න බැහැ. එක එක්කෙනාට වෙනම ස්ටයිල් එකක් තිබෙන්නේ. ඒ නිසා කාටවත් ඉරිසියා කරලා තේරුමක් නැහැ. ඒකෙන් වෙන්නේ අපේ සිතුවිලි නාස්තිකර ගැනීමක් විතරයි.


 කඩාවැටීම

මගේ ජීවිතේ ලොකුම කඩාවැටීම වුණේ මගේ අම්මාගේ වියෝවයි. අම්මා 2016 වසරේදී මියගියා. අද මම යම් තැනක ඉන්නවා නම් ඒ තැනේ අත්තිවාරම දැම්මේ මගේ අම්මයි. පාසැල් යන කාලේදී ඕනෑම ගුරුවරියක්, පාසල් ළමුන්ගේ දෙමව්පියන් පවා තරින්දිව දන්නේ අර අම්මා එක්ක එන ගෑනු ළමයා නේද?* කියලයි. ඒ තරමටම මගේ අම්මා මගේ ජීවිතේට සමීපයි. මගේ අම්මා කිලෝමීටර් පහක් හයක් උදේ හවස මාව බයිසිකලේ ලැගේජ් එකේ තියාගෙන බයිසිකලේ පැද්දා. ලොකු වුණාට පස්සේ මම අම්මව දාගෙන බයිසිකලේ පැද්දා. එහෙම පදිද්දී තමයි ඒක කොයිතරම් අමාරු දෙයක්ද කියලා මට දැනුණේ. මගේ නර්තන ජීවිතයට, ක්‍රීඩා ජීවිතයට, මගේ අධ්‍යාපනයට ලොකුම හෙවනැල්ල වුණේ මගේ අම්මයි. අම්ම නැතිවුණාට පස්සේ මගේ ජීවිතයම කඩා වැටුණා. අඬන්න ගත්තොත් අඬලා ඉවර කරන්න බැරි බව මට දැනුණා. මුළු ජීවිත කාලයම මට අඬන්න වෙයි කියල මම දැනගෙන හිටියා. ඒ තරමටම මම ජීවිතේ කඩා වැටුණා. අම්මා නැති අඩුව මම මැරෙන තුරුම මට දැනේවි. දෙවියන් වහන්සේ අපේ අම්මා වෙනුවෙන් දීලා තිබුණු කාලය එච්චර වෙන්න ඇති. අපි හැමෝටම මරණය උරුමයි. ඒ ගැන හිතලා කඩාවැටුණු මගේ හිත මම හයිය කරගන්න උත්සාහ කළා. හැබැයි මගේ අම්මව මට හැම මොහොතකම මතක් වෙනවා.


පසුතැවීම

මම වසර හතරක් බැංකු ක්ෂේත්‍රයේ සේවය කළා. බැංකු ක්ෂේත්‍රය අතහැරලා තමයි මම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. කලා ක්ෂේත්‍රයේදී ගැහැනු ළමයින්ට තනියම කොන්ද කෙළින් තියාගෙන ඉස්සරහට යන්න ටිකක් අමාරුයි. විවිධ බලපෑම් එල්ල වෙනවා. සමහර අවස්ථාවලදී මටත් ඒ වගේ කටුක අත්දැකීම්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි ඒ හැමදෙයක්ම මම ප්‍රතික්ෂේප කළා. ඒ ලබපු බලපෑම් එක්ක &බැංකු ක්ෂේත්‍රය අතහැරලා අපරාදේ මේ ක්ෂේත්‍රයට ආවේ* කියල පසුතැවීමක් ඇතිවුණ වෙලාවලුත් තිබුණා. හැබැයි ඒවගේ කටුක දේවල් ප්‍රතික්ෂේප කරලා අමාරුවෙන් මේ ඇවිත් ඉන්න තැන ගැන අද මම ගොඩක් සතුටු වෙනවා.



ප්‍රථම ප්‍රේමය

ඒක පාසැල් ප්‍රේමයක්. මම පාසැල් ගියත් ඒ කියන කෙනා ඒ වෙද්දී පාසැල් අධ්‍යාපනය ලබලා අවසානයි. ඒ ප්‍රේමය සුන්දරයි. මගේ අධ්‍යාපනයට, මට බොහෝ උදව් කරපු කෙනෙක්. මම ගැන මගේ අයියා කෙනෙක් වගේම හිතුවා. නමුත් බැංකු ක්ෂේත්‍රයට එනවට එයා අකමැති වුණා. විවිධ පොඩි පොඩි මත ගැටුම් ඇතිවුණ නිසා අපි දෙන්නම කතාබහ කරලා ඒ ආදරයට නැවතීමේ තිත තිබ්බා.


ප්‍රේමය

අද විඳින ප්‍රේමය ගැන වචනවලින් කියන්න බැරි තරම්. ඒ ආදරය මට ගොඩක් දැනෙනවා. මාව ගොඩක් පරිස්සම් කරනවා. එයා මට වඩා ටිකක් වයසින් වැඩි නිසා ඒ ආදරය නිසා මම හරි සුරක්ෂිතයි.


අභියෝග

චූටි කාලේ ඉඳන් මම අභියෝගවලට කැමැති කෙනෙක්. මම &බැහැ* කියලා කිසිම දෙයක් හිතන්නේ නැහැ. පාසැල් කාලයේදී තරින්දිව හැමෝම දන්නෙත් මම එහෙම අභියෝග භාරගත්තු නිසයි. මම ක්‍රීඩාවට යොමුවෙන්නෙත් මට දුවන්න පුළුවන් කියලා හිතලා නෙමෙයි. මම ඒක &කොහොම හරි කරනවා* කියලා හිතලා තමයි කළේ. මම ඒකත් හොඳට කළා. බැංකු ක්ෂේත්‍රය තෝරාගැනීමම මට අභියෝගයක්. උසස් පෙළ කරල ඉවරවුණ ගමන් මම බැංකු ක්ෂේත්‍රයට යොමුවුණා. බැංකුවේ සේවය කරන ගමන්ම මම ඒ සම්බන්ධ අධ්‍යාපනය ලැබුවා. ඒ හැම දෙයක්ම අභියෝග. බැංකු ක්ෂේත්‍රය වැනි හොඳ ක්ෂේත්‍රයක් අතහැරලා මේ කලා ක්ෂේත්‍රය තෝරාගැනීමම තවත් අභියෝගයක් වුණා... බැංකුවේ සේවය කරද්දී වැටුපක් මාසය අවසානයේදී ලැබුණා... නමුත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණොත් වැඩ කරන්න තිබුණොත් පමණයි මුදල් ලැබෙන්නේ.ඒක මම අවබෝධ කරගෙනමයි මේ අභියෝගයට මුහුණ දුන්නේ.


ජයග්‍රහණ

අභියෝග වගේම ජයග්‍රහණත් මගේ ජීවිතයට සමීපයි. පරාජය කියන දේට අකමැති කෙනෙක් නෙවෙයි. ජීවිතේ මම පරාජය වුණ අවස්ථාත් තියෙනවා. හැබැයි අභියෝගවලට සාර්ථකව මුහුණ දුන්නු නිසා මම පරාජය වුණ අවස්ථා අඩුයි. පාසැලේදීත් මම බොහෝ ජයග්‍රහණ ලබලා තියෙනවා. කලා ජීවිතෙත් ජයග්‍රහණ වෙත ළඟාවෙමින් ඉන්න බව මට තේරෙනවා.


 ඔබ කවුද?

තරින්දු ප්‍රනාන්දුව සමහරු මම කරපු චරිතවලින් මනින්න හදනවා. මම හිතන විදිහට මම කරපු කිසිම චරිතයකට තරින්දි සමාන කරන්න බැහැ. තරින්දි ගොඩක් අහිංසක කෙනෙක්. අනික් මිනිස්සු ගැන ඕනෑවටත් වඩා හිතන කෙනෙක්. ඒ නිසාම දුක්වුණු අවස්ථාත් තිබෙනවා. හැබැයි තරින්දි හරිම සරල, මේ පොළොවේ පය ගහල ජීවත්වෙන සාමාන්‍ය කෙනෙක්.


දිශානි ජයමාලි කරුණාරත්න