මෙරට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ තමන්ටම අනන්‍ය වූ ගමනක් යන ඇය, මෑතකදී පැවැති රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී ඇගයීමට ලක්විය. ස්වර්ණවාහිනී පුවත් අංශයේ පුවත් නිවේදිකාවක මෙන්ම නිෂ්පාදකවරියක ලෙස කටයුතු කරන රවිනා වික්‍රමතිලක සමග ඇයගේ ජයග්‍රහණය සහ වෘත්තීය ජීවිතය පිළිබඳ කළ කතාබහකි මේ.
මුලින්ම අපිට කියන්න කවුද මේ රවිනා කියන්නේ?
මම රවිනා වික්‍රමතිලක. මම මේ වනවිට ස්වර්ණවාහිනී ආයතනයේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රවෘත්ති නිවේදිකාවක් වගේම නිෂ්පාදිකාවක් විදියට සේවය කරනවා.
මෙවර රයිගම් ටෙලීස් සම්මානයක් දිනාගැනීම ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම හරිම සතුටුයි. මම සම්මාන උළෙලක් සඳහා අයැදුම් කරපු දෙවැනි අවස්ථාව මෙයයි. ඒ වගේම සම්මානයක් සඳහා නිර්දේශ වුණු පළමු අවස්ථාව. ඉතින් නිර්දේශ වුණු පළමුවැනි පාරම සම්මානයක් දිනාගන්න ලැබීම ගැන නිහතමානී සතුටක් තිබෙනවා.
ඔබ සම්මානයට පාත්‍ර වූ ඒ සුවිශේෂ පුවත් විශේෂාංගය කරන්න විශේෂ හේතුවක් තිබුණාද?
ඔව්, මම මේ විශේෂාංගය කරන දිනවල එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් ලංකාවේ උපත් අනුපාතය පහළ ගොස් ඇති බවට වාර්තාවක් නිකුත් කරලා තිබුණා. ඉතින් මට හිතුණා මේ වාර්තාව ගැන ගැඹුරින් අධ්‍යයනය කරන්න. රටේ පවතින ආර්ථික අපහසුතා නිසා තරුණ පිරිස් විවාහ වීම ප්‍රමාද කිරීම හෝ විවාහ නොවී සිටීම වගේම දරුවන් ඇති දැඩි කිරීමට යන අධික වියදම නිසා බොහෝ දෙනෙක් දරුවන් බිහි නොකරන බව මට වැටහුණා. අන්න ඒ සමාජීය කාරණාව පදනම් කරගෙන තමයි මම මේ පුවත් විශේෂාංගය කළේ.
ඉදිරියට කිරීමට බලාපොරොත්තු වන අලුත් වැඩකටයුතු මොනවාද?
රටේ පවතින සමාජ ප්‍රශ්න ගැන ඉදිරියටත් මේ වගේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජනතාවගේ ප්‍රශ්න අදාළ බලධාරීන් වෙත යොමුකරන ‘ශ්‍රී ලංකා ආස්ක්’ නමින් අලුත් වැඩසටහනක් මම ආරම්භ කළා. ඒ වගේම පුවත් නිවේදිකාවක් ලෙස තවත් ඉදිරියට යෑම මගේ බලාපොරොත්තුවයි.
මේ සම්මානය ඔබේ ඉදිරි ගමනට කෙබඳු බලපෑමක් කරයිද?
සම්මානයක් කියන්නේ අපට ලැබෙන ලොකු දිරිගැන්වීමක්. තව තවත් අලුත් දේ නිර්මාණය කරන්න මේ ඇගයීම මට විශාල හයියක් වේවි.
වැඩසටහන විකාශය වීමෙන් පසුව ලැබුණු ප්‍රතිචාර කොහොමද?
මෙය වෙනස්ම කෝණයකින් හිතලා කරපු වැඩක් කියලා බොහෝ දෙනා මාව ඇගයීමට ලක් කළා.
පවනි උමේෂා