නිවේදිකාවක් විදිහට හිටපු නිෂාට, එකපාරටම ‘හිරිපොද වැස්සේ’ තෙමෙන්න හිතුණේ ඇයි?
නිවේදිකාවක් විදිහට මට ලැබුණු ආදරය සහ පිළිගැනීම ගැන මට සෑහෙන ගෞරවයක් තියෙනවා. නමුත් කලා ක්ෂේත්‍රයේ කෙනෙක් විදිහට මට හැම වෙලාවෙම මගේ හැකියාවන්, අලුත් අත්දැකීම් හරහා පරීක්ෂා කරලා බලන්න කැමැත්තක් තිබුණා. ඒ නිසා තමයි ‘හිරිපොද වැස්ස’ ටෙලිනාට්‍යය හරහා රංගනයටත් පාතැබීමට මට හිතුණේ. ඒක මට අලුත් අභියෝගයක් වගේම, කලාව වෙනත් පැත්තකින් අත්විඳින්න ලැබුණු සුන්දර අවස්ථාවක්. ඉතින් ඒ නිසා හිරිපොදවැස්සේ තෙමෙන්නම හිතුණා.
‘හිරිපොද වැස්ස’ දකිද්දී නිෂාටත් ඒ වගේ අත්දැකීම් තියෙනවද?
ඇත්තටම ජීවිතේ කියන්නේ හැමෝටම වගේම මටත් විවිධ අත්දැකීම්වලින් පිරුණු ගමනක්. ඒ අත්දැකීම් අතර සතුට, දුක, හීන, බලාපොරොත්තු මේ හැමදේම තියෙනවා. ඒ නිසා හිරිපොද වැස්ස වගේ කතාවක් දකිද්දී සමහර හැඟීම් මටත් හරි ළඟින් දැනෙන වෙලාවල් තියෙනවා. ඒක තමයි රංගනය කරනකොටත් චරිතය තවත් හොඳට දැනෙන්න, ඒක තුළ ජීවත්වෙන්න මට උදව් වෙන්නේ කියලා මම හිතනවා.
නිවේදනය කරපු කාලේ තිබුණු ඉමේජ් එක, නිළියක් වුණාම නැති වෙයි කියලා බයක් නැද්ද?
ඇත්තටම මම ඒක බයක් විදිහට බලන්නේ නැහැ. නිවේදිකාවක් විදිහට මට තිබුණු ඉමේජ් එකත් මගේ කලා ගමනේ වැදගත් කොටසක්. ඒත් කලාකරුවෙක් විදිහට වෙනස් පැතිවලින් මාව පරීක්ෂා කරලා බලන්න, මගේ හැකියාවන් විහිදවන්නත් මට කැමැත්තක් තියෙනවා. ඒ නිසා රංගනයට පැමිණීම කියන්නේ මට තිබුණු දේ නැති කරගැනීමක් නෙමෙයි, ඒකට තවත් අලුත් පැත්තක් එකතු කරගැනීමක් කියලා මම විශ්වාස කරනවා. මට ආදරය කරන ප්‍රේක්ෂකයෝත් මේ වෙනස ඒ වගේම ආදරයෙන් පිළිගනීවි කියලා මට විශ්වාසයි.
ස්වර්ණවාහිනියෙන් ලැබුණු මේ චාන්ස් එක අහම්බයක්ද?
මම හිතන්නේ ජීවිතේ ලැබෙන අවස්ථා හැම එකක්ම හරියටම අහම්බයක් කියලා කියන්න බැහැ. සමහර වෙලාවට අපි කරපු වැඩ, අපිට ලැබුණු විශ්වාසය, ඒ වගේම වෙලාවත් එක්ක එකතුවෙලා එවැනි අවස්ථා අපි වෙතට එනවා. ස්වර්ණවාහිනී හරහා විකාශනය වන ‘හිරිපොද වැස්ස’ නාට්‍යයේ දුලංජිගේ චරිතයට මාව තෝරාගෙන මට ඒ අවස්ථාව දුන්නේ නිමන්ති පෝරගේ අක්කා, ප්‍රභාත් රෝෂන් අයියා සහ අකිල ගරුසිංහ අයියා. එයාලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මාව විශ්වාස කළාට. ඒ වගේම මම මේ අවස්ථාව ලොකු වගකීමක් සහ හොඳ අභියෝගයක් විදිහට භාරගත්තා. ඒ අවස්ථාව මට ලැබුණු එක ගැන මට ලොකු සතුටක් වගේම කෘතඥතාවක් තියෙනවා.
නිවේදිකාවක් වුණාම රඟපාන්න ලේසියි කියන එක ඇත්තක්ද? බොරුවක්ද?
නිවේදිකාවක් වුණාම කැමරාව ඉස්සරහ ඉන්න, ප්‍රේක්ෂකයෝ එක්ක සම්බන්ධ වෙන්න ටිකක් පුරුදු වෙලා ඉන්නවා. ඒ නිසා ඒ අත්දැකීම රංගනයට යම් තරමකට උදව් වෙනවා කියලා මම හිතනවා. නමුත් රංගනය කියන්නේ ඒකට වඩා වෙනස් සහ ගැඹුරු කලාවක්. චරිතයක් ඇතුළට ගිහින් ඒක ජීවත් කරවන්න ඕනේ. ඒ නිසා නිවේදිකාවක් වුණාම රඟපාන්න ලේසියි කියන එක සම්පූර්ණ ඇත්තකුත් නෙමෙයි. සම්පූර්ණ බොරුවකුත් නෙමෙයි කියලා මම හිතනවා. ඒක දෙකම අතර තියෙන දෙයක්.
නිෂාට රඟපාන්න බැහැ කියලා කවුරු හරි කිව්වොත්?
කවුරුහරි නිෂාට රඟපාන්න බැහැ කියලා කිව්වත්, ඒක මගේ ආශාව, උත්සාහය සහ කැපවීම කිසි වෙලාවක අඩු කරන්නේ නැහැ. ඒ වෙනුවට මට ඒ අදහස තව ශක්තියක් දෙනවා වැඩ කරන්න, තවත් උත්සාහ කරන්න, සහ මගේ හැකියාව තහවුරු කරන්න. මම විශ්වාස කරනවා, ලැබෙන අවස්ථා සහ කරන කැපවීම එක්ක ඕනෑම සිහිනයක් ජීවත් කරවන්න පුළුවන් කියලා.
රංගනයට ආවට පස්සේ ජීවිතේ වෙච්ච ලොකුම පෙරළිය මොකක්ද?
රංගනයට ආවට පස්සේ ජීවිතේ වෙච්ච ලොකුම පෙරළිය කියන්නේ, මගේ අදහස්, කැමැති දේවල් සහ කාලය අලුත් ආකාරයට ගිහින් බලන්න ලැබීම. මේ ක්ෂේත්‍රයට ආවම මට තේරුණේ ජීවිතේ හැම දෙයක්ම පසුබැසීමක් නෙමෙයි, නව අවස්ථාවක්, අලුත් අත්දැකීමක් කියලා. හැමදේම හිතාගන්න විදිහ, හමුවෙන අය, සහ අලුත් අභියෝග සමග මගේ ජීවිතේ අවුට් ලුක් එකම වෙනස් වුණා. ඒක තමයි මට රංගනයට ආවට පස්සේ ලැබුණු ලොකුම පෙරළිය.
මේ දවස්වල නිෂාගේ ෆෝන් එකට ප්‍රතිචාර සෑහෙන්න එනවා ඇති නේද?
ඔව්, මේ දවස්වල මගේ ෆෝන් එකේ මැසේජස් සහ කෝල්ස්වලින්ම ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර සෑහෙන්නම තියෙනවා. ගොඩාක්ම සෝෂල් මීඩියා හරහා. ඒක බලද්දී මට හැම වෙලාවෙම සතුටක්, නිහඬ ආඩම්බරයක් සහ ආදරයක් දැනෙනවා. මේ හැම ප්‍රතිචාරයක්ම මට වැඩ කරන්න, මගේ චරිතය තවත් හොඳට කරන්න ශක්තියක් දෙන්නේ කියලා මම විශ්වාස කරනවා.
මොනවද ඉදිරි බලාපොරොත්තු තියන්නෙ?
මගේ ඉදිරි බලාපොරොත්තුව තමයි තව හොඳ නිර්මාණවලින් ප්‍රේක්ෂකයන්ට ළඟාවෙලා, ඔවුන්ට මතක හිටින චරිත කරලා රංගනයෙන් තව ඉදිරියට යන්න. ප්‍රේක්ෂකයන් මට දෙන ආදරය සහ විශ්වාසය තව තවත් රකිමින්, මගේ හැකියාව තව වර්ධනය කරගෙන රංගන ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න මම උත්සාහ කරනවා.
චතු වීරසිංහ