මම කාටවත් අල්ලස් දීලා නැහැ - දිනිති වල්ගමගේ

Tuesday, November 09, 2021 , 0 Comments

 





දිනිති... මේ දවස්වල මොනවද කරන්නේ?

ඊට අමතර ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ කොළඹ ඉතාලිය නාට්‍යයේත් නාලක විතානගේ මහතාගේ ශැඩෝ ටෙලිනාට්‍යයේත් සංජය නිර්මාල්ගේ ටෙලිනාට්‍යයේත් රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඔය අතරේ මම ශ්‍රීලංකන් එයාර් ලංකා සමාගමේ ගුවන් සේවිකාවක් විදිහටත් සේවය කරනවා.


එකදිගට ටෙලිනාට්‍ය තුනක රඟපාද්දී ගුවන් සේවිකාවක් විදිහට සේවය කරන්නත් කාලය තියෙනවාද?

හිත ඇත්නම් පත කුඩාද... ඒ හැමදේම මම කරන්නේ හරිම ආසාවෙන්. ඒ නිසා මට කාල කළමනාකරණය කරන්න පුළුවන්. මම පැන්ඩෙක් වගේ නිදාගන්නේ නැහැ. ඇත්තටම මම නිදාගන්නවා අඩුයි. වැඩක් තියෙද්දී මම මූලික තැන දෙන්නේ ඒකටයි. පහුගිය කාලයේදී මට ආයතනයෙන් නිවාඩුත් ලැබුණා ඒ අතරේ. මම ගොඩක් වැඩ කරගත්තා. ආසාවෙන් කරනවා නම් ඕනෑම දෙයක් කරන්න ලේසියි.


අද දිනිති ක්ෂේත්‍ර දෙකකට සම්බන්ධ වෙලා ඉන්නවා. පුංචි කාලේ හීන දැක්කෙත් ගුවන් සේවිකාවක්, නිළියක් වෙන්නද..?

නැහැ. මට පුංචිකාලේ ලෝකය දකින්නයි ඕනවුණේ. මගේ හීනය වෙලා තිබුණේ ඒකම විතරයි. ඒක මට හැබෑ කරගන්න ගුවන්සේවිකාවක් වෙන්න. ගුවන් නියමුවරියක් වෙන්න ඕනවුණේ නැහැ. කොහොම හරි ලෝකය වටේ යන්නයි ඕනවුණේ. ඉස්සර වෙන රටවල්වල ඉඳන් එන අය එයාලා ගෙනත් දෙන තෑගි, එයාලා ඒ රටවල් ගැන කියන දේවල් නිසා මට ඒ ආසාව ඇතිවුණා. අනෙක පිටරටවල්වල ඉඳන් ගේන තෑගිවලත් ඒ කාලේ හරි අපූරු සුවඳක් තිබුණනේ. ඉතින් ඒ හැමදේම නිසාම ලෝකය බලන්න මම ආස කළා. ඉතින් ලොකු වෙද්දී ඒ හීනය දකින්න නම් සල්ලිත් ඕනේ කියලා මට තේරුණා. ඒ නිසා ලෝකයත් පෙන්නලා සල්ලිත් දෙන රස්සාවකට තිබුණ මේ රස්සාව අන්තිමේදී මම තෝරාගත්තා.


දිනිතිගේ පවුලේ ඉන්නේ කවුද?

මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, ලොකු අම්මයි, අයියලා දෙන්නයි.


අයියලා දෙන්නයි, දිනිතියි ගතකරපු ඒ ළමා කාලය ආයෙත් මතක් කළොත්?

ඇත්තටම ඒ ළමා කාලයේදී මට සමහර වෙලාවට මම කෙල්ලෙක් කියලා මටම අමතක වුණා. ඒ තරමටම මම ඒ කාලේ කොල්ලා වගෙයි. මම සෙල්ලම් කළේ මගේ අයියලා එක්කයි. මගේ පොඩි අයියා මට වඩා අවුරුදු තුනක් වැඩිමල්. අයියලාගේ යාළුවන්ට වුණත් මම නංගි කෙනෙක් වගේ දැනුණේ නැහැ. එයාලටත් මාව තවත් එක කොල්ලෙක් වගෙයි මාත් එක්ක සෙල්ලම් කළේ. මගේ ගම ගාල්ලේ. හැබැයි අපේ ගෙදර තියෙන්නේ ගාල්ලේ ටවුමෙමයි. ඒ නිසා ගාල්ලේ තිබුණ ගැමි පරිසරය ලොකුවට අත්විඳින්න මට ඉඩ ලැබුණේ නැහැ. හැමවෙලේම ගාල්ලට ආපු සංචාරකයින්, වේගයෙන් යන වාහන තමයි මම දැක්කේ.


දිනිති ඉගෙන ගත්තේ?

මම ඉගෙන ගත්තේ ගාල්ල සංඝමිත්තා බාලිකා පාසැලෙයි. පාසැලේදීත් මම හරිම දඟයි. හැම බාහිර ක්‍රියාකාරකමකටම සහභාගි වුණා. මම පාසැලේ ශිෂ්‍ය නායිකාවක්. සංගීත කණ්ඩායමේ නායිකාව. නැටුම් කළා. නාට්‍ය කළා. විද්‍යා සංගමයේ උප සභාපති. හැම දෙයකටම සම්බන්ධ වුණා. කලාව වගේම විද්‍යාවටත් මගේ හැකියාවන් තිබුණා. මගේ අම්මා ගණිත ගුරුවරියක්. තාත්තා ගුරු උපදේශකවරයෙක්. ඒ නිසා බාහිර ක්‍රියාකාරකම්වලට වගේම මම අධ්‍යාපන කටයුතුත් හොඳින් කරගෙන ගියා. මම ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත්වුණා... සාමාන්‍ය පෙළ විභාගයට A අටක් ලබාගත්තා. උසස් පෙළත් හොඳින්ම සමත්වුණා. මට ශිෂ්‍යත්වයක් ලැබිලා ඉන්දියාවට ගියා. ඉගෙන ගන්න කියලා ගෙදරින් මට ලොකුවට බලපෑම් කළෙත් නැහැ. ගෙදර හැමෝම ගුරුවරු ගෙදර ඉගෙනගන්න ඒවා ඇහුණා. ගෙදරදි වැඩිපුරම පොත්පත් දැක්කේ. ඒ නිසාම මම ඉගෙන ගත්තා. මට තාම මතකයි මට සාමාන්‍ය පෙළට ඉගැන්නුවෙත් මගේම නෑදෑයෝ. මගේ Subject එකට A එකක් තිබුණොත් ඇති* කියලා ඒ අය කිව්වට මට අටදෙනාම කිව්වේ එකම දේ නිසා A අටක්ම ගත්තත් මට පුළුවන් වුණා. මගේ මුළු පරම්පරාවම ගුරු පරම්පරාවන්.


ඉන්දියාවේ ගතකරපු ජීවිතේ ගැන මතක් කළොත්?

ඉන්දියාවේ ඉගෙන ගන්න ලංකාවේ දොළොස් දෙනෙකුට රජයෙන් ශිෂ්‍යත්වයක් ලැබුණා. මට ලංකාවේ විශ්වවිද්‍යාලයට යන්න පොඩි ලකුණු සංඛ්‍යාවක් මදි වුණා. ඒ වෙනකොට මම Online කරපු විභාගවලින් සහතික අටක් තිබුණා. ඒකෙන් තමයි මට ඉන්දියාවට යන්න ශිෂ්‍යත්වය ලැබුණේ. මම ඉන්දියාවේ බැංගලෝර් විශ්වවිද්‍යාලයේ අවුරුදු තුනක් ඉගෙන ගත්තා. අවුරුදු තුනකට පස්සේ 1st Class උපාධියත් අරගෙන මම ලංකාවට ආවා. පුංචි කාලයක් මම සහකාර කථිකාචාර්යවරියක් විදියට ලංකාවේ සේවය කළා. හැබැයි ඒක මට ගැලපෙන්නෙම නැහැ කියලා මටම තේරුණා. ඒ නිසා මම ඒකෙන් අයින් වුණා.


උපාධියක් ගත්තු දිනිති ගුවන් සේවිකාවක් වෙනවට අම්මලා කැමැතිවුණාද..?

අම්මලාට උපාධියක් ඕන වුණේ. පවුලේ හැමෝම ඉගෙනගත්තු උපාධිධාරීන් නිසා අමිමට උපාධියක් මගෙනුත් ඕනවුණා. මට තාම මතකයි මම ගුවන් සේවිකාවක් වෙනවා කියල අම්මට කියද්දී අම්මා පුදුම වුණා. &අම්මා මගේ ජීවිතේ මෙච්චර කල් ඉගෙන ගත්තා. දැන් මට මම කැමැති දේ කරන්න දෙන්න.* කියල මම ඉල්ලීමක් කළා. ඒ වෙලාවේ හරි... ඔයා යන්න... අවුරුද්දක් Fly කරලා බලන්නකෝ... හැබැයි උපාධි සහතිකේ බිත්තියේ ගහන්න කියලයි කිව්වේ. ඉතින් මම ඒ දේ කළා. ඇත්තටම අම්මලා එහෙම අපිට ඉගැන්නුවේ නැත්නම් අද මම මෙතැන නැහැ. ඒ පසුබිම හදල දීපු නිසා කෙනෙක් ඉස්සරහට ගිහින් බයක් නැතිව කතා කරන්න පුළුවන් හයියක් ලැබිලා තියෙනවා. මම 2014 වසරේදී ශ්‍රීලංකන් එයාර්ලංකා සමාගමේ සේවයට බැඳුණා.


දිනිති... කලාවට සම්බන්ධ වෙන්නෙත් පාසල් යන කාලේදීම නේද?

ඔව්. මම මුලින්ම අශෝක හඳගම මහතා එක්කයි වැඩ කළේ. එතකොට මගේ වයස අවුරුදු දොළහයි. මම මුලින්ම කම්කරු දිනය වෙනුවෙන් කළ ටෙලිනාට්‍යයකට තමයි සම්බන්ධ වුණේ. ඊටපස්සේ අශෝක හඳගම අංකල්ගේ &අක්ෂර* ෆිල්ම් එකේ රඟපෑවා. ඉගෙනීමේ කටයුතුත් එක්ක මේ දේවල් කරගන්න අමාරු නිසා ඊට පස්සේ මම රඟපෑවේ නැහැ. අපේ ගෙදර කට්ටියට මාව නිළියක් කරන්න ඕන වුණේ නැහැ. ඒ අයට මාව මේ ක්ෂේත්‍රයට යොමුකරවන්න කැමැත්තක් තිබුණේ නැහැ. අදටත් නැහැ. ඒ අයට ස්ථීර රස්සාවක් තිබීම වැදගත් වුණා. ඒ නිසා ගුවන් සේවිකාවක් වීමෙන් මට ස්ථීර රස්සාවක් ලැබුණා. අදටත් මට ජනප්‍රිය වෙන්න ආසාවක් නැහැ. ඒක හරි වැදගත්. කරදරයක් එහෙම වුණොත් මේක්අප් දාන්නේ නැතිව එළියට යන්න බැහැ. ෂෝට් එකක් ඇඳගෙන කඩේට යන්න බැහැ. මම කැමැති කෙනෙක් එක්ක එළියට යන්න බැහැ. මිනිස්සුන්ට බයේ හැංගි හැංගි ඉන්න මම ආස නැහැ. ඒ නිසා ජනප්‍රියත්වයට මං වැඩිය කැමති නැහැ.


ගුවන් යානයේදී ඔයාව හඳුනගෙන කතාකරන අය ඉන්නව නේද?

මාස්ක් එකත් දාලා, Face Shield එකත් දාලත් මිනිස්සු මාව අඳුරගන්නවා. ඒ අය &මේ ගුවන් යානයේ දිනිති ඇති* කියලා හිතාගෙනයිලු ඉන්නේ. ඒ නිසා දැක්ක ගමන් මාව හඳුනගෙන කතාකරන අය ඕනතරම් ඉන්නවා. ඒ ආදරය හරි සුවිශේෂියි. එයාලා හිතේ තියාගෙන එන රෑපය දැක්ක ගමන් හඳුනා ගන්නවා.


ඒ වගේ ආදරණීය මිනිසුන්ගෙන් ලැබුණ අමතක නොවුණ මතකයක් මතක් කළොත්?

එකවතාවක් මෙල්බන් එයාර්පෝට් එකේදී එක පිරිමි ළමයෙක් මාව බදාගෙන එයාට මාව එයාලගේ ගෙදර එක්කගෙන යන්න ඕන කිව්වා. ඒක මට අමතක වෙන්නේ නැහැ. කෝටිපතියෝ ටෙලිනාට්‍යයේ මම රඟපෑ චරිතයට කැන්සර් එකක් හැදෙනවානේ. ඒක විකාශනය වෙන කාලේ දඹදිව ගියපු ආච්චිලා ගුවන් යානයේදී මගේ අත අල්ලලා &අනේ පුතේ අපි ඔයාට පඬුරක් ගැටගැහුවා. බයවෙන්න එපා. ඉක්මනට හොඳවෙයි.* කියල කිව්වා. ඒ වගේ ආදරය ලබන්නත් මම පින්කරලා තියෙනවා.


ජීවිතයේ ආපස්සට ගිහින් මේ ආපු ගමනක් එක්ක අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

මට මම ගැන ගොඩක් සතුටුයි. මම මේ ගමන ආවේ තනියමයි. මම රිදී හැන්දක් අතින් අරගෙන ඉපදුණු කෙනෙක් නෙවෙයි. මේ හැමදේම මම ලබාගත්තේ ඒ රිදි හැන්ද හදාගන්න මගේ අම්මයි, තාත්තයි, අත්තිවාරම දාලා දුන්නා. ඒ දෙන්නා මගේ පස්සෙන් ඉඳලා මට ආශීර්වාද කළා. මේ දේවල් ලබාගන්න මම කාටවත් හොරවැඩක් කරල නැහැ. කාවවත් රවට්ටලාවත් නැහැ. මම කාටවත් කිසිම දෙයක් ලබාගන්න අල්ලසක් දීලා නැහැ. සමහරු සල්ලි හොයන්න විවිධ දේවල් කරනවා. හැබැයි අනුන්ගේ සල්ලිවලින් ජීවිතේ, මුහුණු, පාට කරගන්න ගිහින් කවදාහරි ජීවිතේම විනාශවෙන බව තේරෙද්දී සමහරවිට ඒ අයට හැරෙන්නවත් බැරිවේවි. ඒ නිසා අද මම හම්බකරපු හැම සල්ලියකම මගේ මහන්සිය, කැපවීම තියෙනවා. අනුන්ගේ සල්ලිවලින් ජීවිතේ විඳින්න ගිහින් අන්තිමට ජීවිතේම විඳවන අය ඕනෑතරම් මේ රටේ ඉන්නවා. ඒ නිසා මට මගේ ජීවිතේ ගැන තියෙන්නේ ලොකු සතුටක්. අද මට මගේ ජීවිතේ ගැන හිතද්දී ෂා මම මරුනේ කියලයි හිතෙන්නේ. ඒක මට සතුටක්. දවසක් මගේ අයියගේ බබාගෙන් පුතා, ඔයා ලොකුවෙලා කවුරු වෙන්නද කැමැති* කියලා මම ඇහුවා. මට නැන්දි වගේ වෙන්න ඕනේ* කියලයි බබා කිව්වේ. එදා මට මම ගැන මාරම සතුටක් දැනුණා. ඇත්තටම අද මම මගේ ජීවිතේ දිනලා ඉවරයි.


දිනිතිගේ ප්‍රථම ප්‍රේමය පාසැල් ප්‍රේමයක්ද?

මම ඉස්සර Tom Boy කෙනෙක් වගේනේ. ඒ නිසා මට එහෙම කොල්ලෝ ගැන අදාලම නැහැ. මට අයියල දෙන්නෙක් හිටියනේ. ඒ නිසා මගෙන් අහන්න සමහරු බයවුණා. කොල්ලෙක් මගේ දිහා බලන්නත් බයයි. ගුටිකන්න වෙන නිසා. එහෙම ගුටිකාලත් තියෙනවා. මගෙනුත් අනවශ්‍ය දේවල්වලට ආපු කොල්ලේ කිහිප දෙනෙකුත් ගුටිකාලා තියෙනවා. මගේ හිතට දැනුණු ප්‍රේමයක් තිබුණා. නමුත් අද ඒක නැහැ. දැන්නම් මම පෙම්වතියක් නෙමෙයි. ඒක මේ කාලයේදී ගන්න හරි අමාරුයි. මේ කාලයේදී ගෙවන්නේ හරි කාර්යබහුල කාලයක්. ඒ කාලයේදී එවැනි ආදරයක් පටන් ගත්තොත් ඒ කෙනා පව්. මට එයාට කාලය දෙන්න බැරිවුණාම ඒක එයාට දුකක් වේවි. ඒ නිසා මේ වෙද්දී මම නම් පෙම්වතියක් නෙමේ.


ඊළඟට තිබෙන බලාපොරොත්තු?

මම කිසිම දාක ටාගට්වලට ගිය කෙනෙක් නෙවේ. අද දවස ජීවිතේ විඳින්නයි මට ඕනේ. මම ඊයේ වෙච්චි දේ ගැන දුක් වෙන්නේවත්, දැකලා නැති හෙට ගැන හිතන්නේවත් නැහැ. අද දවස ලැබුණ තෑග්ගක්. ඒ අද දවසට මම ආසයි. ඒ දවස සතුටින් ඉන්නයි මට ඕනේ.


-දිශානි ජයමාලි කරුණාරත්න-