ප්‍රේමාරාධනා ලැබුණට මම ඒවා භාර ගන්නේ නැහැ - ශලිනි ප්‍රනාන්දු

Friday, November 12, 2021 , 0 Comments

 


කොහොමද මේ දවස්වල ජීවිතේ?


හොඳින් සතුටින් වගේම කාර්යබහුලව ජීවිතය ගෙවනවා.


කලා කටයුතුවල විස්තර කිව්වොත්?


සුපුරුදු ලෙස දෙවැනි ඉනිමේ වැඩකටයුතු වගේම ලොකී ටෙලිනාට්‍යය රූගත කිරීම් මේ දිනවල සිදු කරනවා. ඊට අමතරව ටෙලි නාට්‍යවලින් බැහැරව යම් කලා කටයුතු කිහිපයකට ආරාධනා ලැබුණා. ඒවා තුළිනුත් ප්‍රේක්ෂකයන් අතරට ඒමට බලාපොරොත්තු වෙනවා.


මේ දවස්වල ප්‍රේක්‍ෂකයන් වැඩිපුරම කතා කරන්නේ චූටි මැණිකේ කියලඳ? නැත්නම් ලොක්කි කියලද?


මේ දවස්වල නම් ලොක්ක කියලායි බොහෝ දෙනෙක් ආමන්ත්‍රණය කරන්නේ.


බොහෝ කාලයක් චූටි මැණිකෙගෙ චරිතය සිදුකර ලොක්කන්ගේ චරිතයට අනුගත වෙන්න අසීරු වුණාද?


ඔව්. එය මට සැබැවින්ම අභියෝගයක් වුණා. නමුත් ලොක්කහි අධ්‍යක්ෂ හර්ෂ උඩකන්දගෙන් ලැබුණු සහයෝගය මත චූටි මැණිකෙගෙ චරිතයෙන් මිදී ලොක්කිට වෙනස් හැඩයක් එක් කරන්න මට හැකියාව ලැබුණා. ඒ නිසා එකී අභියෝගය සාර්ථකව ජය ගත්තා කියා මං හිතනවා.


ඔබ කලා ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොමද?


මම 2017 වසරේදී දෙරණ අවුරුදු කුමරිය කිරුළ දිනා ගැනීමට සමත් වුණා. එකී ජයග්‍රහණයෙන් අනතුරුව ලක්සිරි මහතාගේ ස්ත්‍රීන් ටෙස්ට් එකකට මුහුණදී ළිහිණිගේ චරිතයට මාව තෝරා ගත්තා. කලා ක්‍ෂේත්‍රය තුළ මා මුලකුරු කියවන්නේ ඒ ආකාරයටයි.


බොහොමයක් රූ රැජිනියන් රංගනයට පිවිසුණත් ඔවුන්ගේ ගමන එක් චරිතයකට පමණක් සීමා වෙනවා. ඔබගේ ගමන්මඟ ස්ථාවර කර ගැනීමට ඔබ ගත් ව්‍යායාමයන් විස්තර කළොත්?


මං එයට විශේෂ ව්‍යායාමයක් දැරුවේ නැහැ. එවැනි අසාර්ථක වූවන් තුළ නොදුටු මා තුළ දුටු විශේෂත්වයක් අධ්‍යක්ෂවරුන්ගේ දෘෂ්ටියට ගෝචර වන්නට ඇති. දිර්ඝකාලීන ටෙලිනාට්‍යවලට සම්බන්ධ වන බොහොමයක් ප්‍රවීණයන් එකී චරිතවලින් ඉවත් වන්නේ එහි ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු ඇති නිසයි. 


නවකයන්ට එකී ගැටලුව බලපාන්නේ නැද්ද?


නැහැ. ප්‍රවීණයන් හා නවකයන් අතර පවතින පරස්පරතාව එයයි. නවකයන්ට ක්ෂේත්‍රය තුළ ස්ථාවර වීමට එවැනි තීන්දු තීරණවලට එළැඹෙන්න අපහසුයි.



මෙගා නාට්‍යවල තිරපිටපත් එවෙලෙහි ලැබීම තුළ චරිතයට සාධාරණයක් ඉටු කිරීමට අවකාශ අහිමි වෙනවද?


නැහැ. දීර්ඝකාලීන ටෙලිනාට්‍යවල ස්වභාවය එයයි. එය රංගන ශිල්පියකුට  හෝ රංගන ශිල්පිනියකට ලැබෙන අභියෝගයක්. එය සාර්ථකව ජය ගැනීමට රංගන ශිල්පියා ද විය යුතුයි.


ඔබ ෆැෂන් කරන්නේ තෝරා බේරාගෙන යැයි කිව්වොත් මං නිවැරැදිද?


ඔව්. එය සියයට සියයක් නිවැරදියි. මං fashion trends පසුපස එළවන්නේ නැහැ. යම් විලාසිතාවක් මම අනුගමනය කරන්නේ මට ගැළපෙනවා නම් විතරයි. සමහරක් ට්‍රෙන්ඩ්ස් කල් පැන ගියාම එය මගේ ෆැෂන් එකක්  වෙනවා. එය මං තීරණය කරන්නේ එක් එක් අවස්ථාවන්ට අදාළ විධියට වගේම ගැළපෙන විදිහටයි.



ගැමි පෙම්වතියගේ චරිතයට ශලිනි කොටුවෙලා කිව්වොත්?


මගේ බාහිර ස්වරූපය අනුව ලැබෙන චරිත එයට බෙහෙවින් සමීපයි. නමුත් මං එකී කාණ්ඩය තුළ කොටු වෙලා නැහැ. music videos තුළින් මගේ වෙනම ස්වරූපයෙන් දැකගන්න පුළුවන් වුණා. ග්‍රාමීය චරිත නිරූපණය කිරීමට මට අවස්ථාව ලැබුණත් එකී චරිත එකිනෙකට හාත්පසින් වෙනස්.


රංගනය හදාරා තිබෙනවද?


නැහැ. ඉදිරියේදී හැදෑරීමට බලාපොරොත්තු වෙනවා.


ඔබට මෙතෙක් රගපෑමට නොලැබුණු නමුත් රඟපෑමට කැමැති චරිතයක් තිබෙනවාද?


මං අභියෝග භාර ගන්න ගොඩක් කැමැති කෙනෙක්. ඒ නිසා අභියෝගාත්මක චරිතයකට මුහුණදෙන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා.


චරිතයක් තෝරාගැනීමේදී ස්වයං වාරණයකට යටත් වෙනවද?


ඔව්. අනිවාර්යයෙන්ම. චරිතයක් භාර ගැනීමට පෙර එකී චරිත ස්වභාවය පිළිබඳ මං අධ්‍යයනය කරනවා. එකී චරිතය සඳහා භාවිත කරන ආ4දුම් පිළිබඳවත් මං බෙහෙවින් සැලකිලිමත් වෙනවා. ඒ අනුව මට ගැළපෙන චරිතයක් නම් මම භාර ගන්නවා.


මේ දවස්වල චූටි මැණිකෙට ප්‍රේම ආරාධනා වැහි වැහැලා කියන්නේ ඇත්තද?



ඔව්. ප්‍රේම ආරාධනා නම් ගොඩක් ලැබෙනවා. නමුත් ඒවා පිළිගන්නේ නැති නිසා ගැටලුවක් නැහැ.


ප්‍රේම ආරාධනා පිළිගන්නේ නැත්තේ දැනටමත් හිත කෙනකුට දීපු නිසාද?


එහෙමමත් නැහැ. (හිනාවෙමින්)


ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද?


මම වැඩිදුර අධ්‍යාපනය ලබන්නේ මෝස්තර නිරූපණ අංශයෙන්. එහි වැඩ කටයුතු වගේම හොඳ නිර්මාණ තුළින් කලාවේ දිගු කාලයක් රැඳී සිටින්නට බලපොරොත්තු වෙනවා.


-විශ්මි ජයනිකා-