මට කවදාවත් රංගනය හැදෑරීමේ බලාපොරොත්තුවක් නැහැ - දිනූෂ දිසානායක

Friday, November 12, 2021 , 0 Comments




 ගීත ගායනයෙන් කලා ක්ෂේත්‍රයට පිවිසි දිනූෂ දිසානායක දැන් පුංචි තිරයේ  චරිතාංග රංගන ශිල්පියකු වී හමාරයි. “පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ ටෙලි නාට්‍යයෙන් සහෘද සිත්සතන් ප්‍රකම්පනය කළ ඔහු, ලොක්කී තුළින් එකී ප්‍රේක්ෂක ආදරය දෙගුණ තෙගුණ කරගෙන ඇත. ඔහු ඔහුගේ අලුත් විස්තර ගැන මෙලෙස පුවත්පතක් පසමඟින් පවසා තිබුනා. 


කොහොමද මේ දවස්වල ජීවිත්තේ?


ලොක්කි හා ධරණී හි රූගත කිරීම් සමඟ මේ දිනවල තරමක් කාර්යබහුලව කාලය ගත කරනවා.


ඔබ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොමද?


මම පිවිසෙන්නේ ඩ්‍රීම් ස්ටර් හරහායි. එහි අවසන් දහදෙනාට මම තේරී  පත්වෙනවා. ඉන් පසුව 2018 පාවෙලා වලාකුළේ ඒවිද අම්මා ටෙලි නාට්‍යයට මට ආරාධනා ලැබෙනවා. රංගන ක්ෂේත්‍රයේ මුලකුරු කියවන්නේ එකී ටෙලිනාට්‍යයෙනුයි.


පළමු රංගනය තුළ පියකුගේ භූමිකාවට පණ පෙවීම ඔබට අභියෝගයක් වුණේ නැද්ද?


මුලින් මටත් තිගැස්මක් තිබුණත් ඒ චරිතය ඉදිරියට කරගෙන යෑමේදී පහසුවක් දැනුණා. මං ස්වභාවයෙන්ම දරුවන්ට ගොඩක් ආදරේ කෙනෙක්. ඒ නිසා එකී හැඟීම් මා තුළ අමුතුවෙන් ආරෝපණය කිරීමට අවැසි වුණේ නැහැ.


චිත්‍රපටවලට සම්බන්ධ වීමට බලාපොරොත්තුවක් නැද්ද?


චිත්‍රපටවලට සම්බන්ධ වීමට ලොකු කැමැත්තක් තිබෙනවා. නමුත් එයට තවම ආරාධනාවක් ලැබුණේ නැහැ. නමුත් තෙළිඟු චිත්‍රපටයකට සම්බන්ධවීමට මට ආරාධනාවක් ලැබුණා.


විදෙස් චිත‍්‍රපටයකට සම්බන්ධ වීමට ඔබට අවස්ථාව ලැබුණේ කොහොමද?


ඒ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා ශ්‍රී ලාංකික දමිළ ජාතිකයෙක්. ඔහු හරහායි මට ඒ අවස්ථාව ලැබුණේ.  


පළමු චිත්‍රපටයම විදෙස් චිත්‍රපටයක් වීම තුළ හිතට චකිතයක් දැනුණේ නැද්ද?


මට ගැටලුකාරී තත්වයක් පැනනැඟුණෙ භාෂාව තුළයි. ඒ නිසා පුංචි තිගැස්මක් ඇති වුණත් එය කාලයත් සමඟ යථා තත්වයට පත් වුණා.


ඔබ රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ අහඹුවකින්. එහි ස්ථාවර තත්ත්වයට  පත්වීමට ඔබ ගොඩනඟාගත් සුවිශේෂතා මොනවාද?


මං පාසල් කාලෙදීවත් නාට්‍යයක රඟපෑ කෙනෙක් නෙමෙයි. මට  හිතාගන්න අපහසු වුණා කොහොමද මං මේ අභියෝගය ජයගන්නේ කියලා. මුල් දවසෙ රඟපෑම ආධුනික වුණත් ඉන් පසුව එයට හුරු වීමට මට හැකි වුණා. එදා සිට මේ වනතෙක් කිසිම අධ්‍යක්ෂවරයකුගෙන් බැනුමක්වත් මම අහල නැහැ.  බොහොමයක් ආධුනිකයන් එක දර්ශන අවස්ථාවකට එඩධබළු කිහිපයක් ගන්නවා. දර්ශනයේ සාර්ථකත්වය රඳා පවතින්නේ දක්ෂතාවට වඩා එඩධබ ප්‍රමාණය මතයි.


ඔබ එකී කාරණයෙන් බැහැර වූ රංගන ශිල්පියෙක්ද?


රංගන කාර්යයට යම් තරමින් හැකියාවක් මා තුළ ගැබ්වී තියෙන්නට ඇතැයි මම විශ්වාස කරනවා. මේ වන තෙක් එක දර්ශනයකට ඵඩධබ දෙකකට වඩා මම අරන් නැහැ.



දීර්ඝකාලීන ටෙලිනාට්‍යවලට සම්බන්ධ වීම තුළ චරිතවල ගුණාත්මක භාවය අහිමි වෙනවා යැයි බොහෝ දෙනා පවසනවා. ඒ පිළිබඳව ඔබගේ මතය?


දීර්ඝකාලීන ටෙලිනාට්‍යවල ගුණාත්මක බව පිළිබඳව මට කතා කරන්න අපහසුයි. යම් නිර්මාණයක් ප්‍රේක්ෂකයාගේ රසාස්වාදය සඳහා නිර්මාණය වුණත් ඒ නිෂ්පාදකවරයාගේ අංශයෙන් බැලුවහොත් ව්‍යාපාරයක්. ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩි වීම තුළ ටෙලි නාට්‍යවල දීර්ඝ වීම දැකගන්න පුළුවන්. එහි වාසි සහගත තත්වයක් වගේම අවාසි සහගත පැතිකඩකුත් තිබෙනවා.


ප්‍රවීණයන්ගෙන් ඔබට ලැබුණු දායකත්වය කෙබදුද?


ඔවුන්ගෙන් ලැබෙන ආදරය හා මඟ පෙන්වීම ඉතා ඉහළයි. සුසිලා කෝට්ටගේ, ආනන්ද අතුකෝරල වැනි දැවැන්තයන්ගේ ආශීර්වාදය මට නිරන්තරයෙන් හිමිවුණා. රංගනයට අත්පොත් තැබූ දිනයේ පටන්  ප්‍රවීණයන් සමඟ වැඩ කිරීමට මට අවස්ථාව ලැබුණා. ඒ වගේම ඔවුන්ගෙන් මගේ කලා දිවියට ලැබුණු සහයෝගයත් අති විශාලයි. මා සමඟ වැඩ කළ  සෑම ප්‍රවීණයෙක්ටම මම හදවතින් ගරු කරනවා.


රංගනය හැදෑරීමට බලාපොරොත්තු වෙනවාද?


මං කවදාවත් රංගනය හදාරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද 

මං කැමැතියි මමම වෙන්න. මා තුළින්ම ඉගෙනගෙන මගේ අනන්‍යතාව තුළ ගමනක් යන්න මම කැමැතියි. තවත් කෙනකු යටතේ අධ්‍යාපනය ලැබුවහොත් දැනුවත්ව හෝ නොදැනුවත්ව එකී රංගන ආභාෂයන් මගේ රංගන කාර්යයට එක්විය හැකියි. එවිට මගේ අනන්‍යතාව මට ගිලිහෙනවා.


පෙම්වතාගේ චරිත රාමුවෙන් පිට පනින්න අදහසක් නැද්ද?


මං ගොඩක් කැමැතියි දුෂ්ටයාගේ චරිතයට පණ පොවන්න. ඊට අවස්ථාවක් ලැබුණොත් උපරිමයෙන් එකී චරිතය නිරූපණය කිරීමට බලාපොරොත්තු වෙනවා.


රංගනය නිසා ගායනය ඔබට අත්හැරුණද?


ඇත්තටම ගායනය මට අතහැරුණා. අපේ ජීවිතයේ මං කැමැතිම ගීත ගායනයට. නමුත් කාර්යබහුලත්වය මත එය මගෙන් මඟහැරුණා.


රංගනයට පිවිසෙන බොහොමයක් තරුණ කලාකරුවන්ගේ පවුල් ජීවිතය අසාර්ථක වෙනවා. ඒ ප්‍රවණතාව ඔබ දකින්නේ කොහොමද?


මං රඟපාන්නෙ ඇක්ෂන්, කට් අතරේ පමණයි. ඒ අතරේ රඟපාන විට ගැටලු මතුවෙන්නේ නැහැ. සෙට් එකෙන් පිටතදීත් රඟපාන්න ගියොත් පවුල් ජීවිත අවුල් වෙනවා. ඇයත් ක්‍ෂේත්‍රයට සම්බන්ධ නිසා මට එකී ගැටලුව පැනනඟින්නේ නැහැ.


පවුලේ විස්තර කොහොමද?


මගේ පවුලේ අම්මයි, තාත්තයි, නංගි, මල්ලියි ඉන්නවා. මං කලා ක්ෂේත්‍රයේ රැඳී සිටින්නේ ඔවුන් නිසායි. ඉන් පසුව මගේ ජීවිතයට බිරිය එකතු වෙනවා. ඇයගෙන් මගේ කලා දිවියට ලැබෙන සහායත් අති විශාලයි.


අනාගත බලාපොරොත්තු මොනවාද?


රංගන ශිල්පියෙක් ලෙස මගේ නම මතක හිටින වැඩක් කරන්න මං කැමැතියි. මගේ ලොකුම ආසාව මැරෙනකම් සින්දු කියන්නයි.



-විශ්මි ජයනිකා-