මම මැරුණත් රෝහල්ගත වෙන්නේ නෑ - දමිතා අබේරත්න

Monday, October 04, 2021 , 0 Comments

 




රංගන ශිල්පිනී දමිතා අබේරත්නටත් පසුගියදා කොවිඩ් වැලඳුණා. නමුත් ඇය රෝගී තත්ත්වය රහසක්ව තබාගන්න උත්සාහ කළා. සෙමින් සෙමින් සුව වන දමිතා,  ඒ අත්දැකීම මෙලෙස පුවත්පතක් සමඟින් බෙදාගත්තා.


දමිතා කවදා කොතැනින්ද ඔබට කොරොන් වයිරසය වැලඳෙනේනෙ…

මම වැඩ කිහිපයක හිටියා. හැබැයි කොතනින් වයිරස් එක මට ආවද කියන්න බැහැ. සමස්ථයක් ලෙස කලාකරුවන්ට සහ කලා ක්ෂේත්‍රයේ අයට තමයි වැඩිම බලපෑම වුණේ. අපිට රඟපාන්න ගිහින් මේකප් එක දැම්මට පස්සේ මාක්ස් එකක් දාන්න බැහැ. ෆේස්ෂීල්ඩ් එකක් දැම්මත් කැමරාව ඉදිරියට ගියහම අපි සම්පූර්ණයෙන්ම සමාජයට නිරාවරණය වෙනවා. අනික අපි කරන වැඩක හතළිහක් පනහක් වැඩනේ. ඒ අය කොතැන ඉඳන් එනවද අපි දන්නෙ නැහැ. කවුරුවත් ඔය අවදානම එක්ක තමයි වැඩ කරන්නේ.


කොරෝනා ආසාදනය වූ බව දැනගත් විට ඔබ කටයුතු කළේ කොහොමද?

මට ‍ෙහාඳටම උණ හැණා ඊට පස්සෙ මම පීසීආර් එකක් කරලා ගෙදර ඇවිත් අම්මට කිව්වා අම්මේ මට සමහර විට කොරෝනා පොසිටිව් වෙන්න පුළුවන් කියලා. අම්ම ටිකක්වත් බය වුණේ නැහැ.


අම්ම මට කොත්තමල්ලි හදල දීලා මගේ හිස අතගාමින් මගේ ළඟ හිටියා. මගේ අම්මා මට කිව්වෙ ‘පුතේ මෛත්‍රි භාවනාව කරන්න. ඔයා බයවෙන්න එපා. ඔයාට මොකුත් වෙන්නෙ නැහැ’ කියලයි. දවස් හතකට පස්සෙ මම දැනගන්නෙ මට කොරෝනා පොසිටිව් කියලා. ඊට පස්සෙ අම්මව මේ ලෙඩෙන් බේරගන්න ඕන නිසා මමයි, මගේ සැමියයි නිවසේ උඩුමහලේ කාමරයෙන් පිටට ආවෙ නැහැ. අම්මට ඒ පැත්තටවත් එන්න දුන්නෙ නැහැ.


රෝහල්ගත වෙන්න අදහස් නොකළේ ඇයි?

ඇත්තටම මට ගොඩාක් අමාරු වුණා. ඒත් මම එක තීරණයක හිටියා මම මැරුණත් රෝහල් ගත වෙන්නෙ නැහැ කියලා. මට ගෙදර මිනිස්සුන්ගෙන් ලැබෙන ආදරය, රැකවරණය මේ වගේ වෙලාවක පුදුම තරම් වටිනවා. මම මේ අත්දැකීමෙන් කියන්නේ කිසිම වෙලාවක කොරෝනා හැදුණ කෙනෙක් තනි කරන්න හොඳ නැහැ. මේ රෝගයෙන් හුස්ම ගන්න බැරිවෙලා මිනිස්සු මැරෙන්නේ තනිකමටයි, බයටයි. හැන්දෑ වෙද්දි වතුරෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ හුස්ම ගන්න අපහසුවෙන් ගැහෙද්දි මගේ මහත්තයා මං ළඟට වෙලා හිටියා. මම ඈතට යන්න කියලා කෑ ගහද්දි එයා මොහොතකටවත් මං ළඟින් හෙල්ලුණේ නැහැ. මාව අල්ලගෙන මං ළඟ හිටියා මුළු රෑම මාව උණු වතුරෙන් තැව්වා. මගේ මහත්තයා පුදුම කැපකිරීමක් කළා.


දෙවියන්ගේ පිහිටෙන් එයාට මේ වයිරස් එක වැලඳුණේ නැහැ. මේ වෙලාවේ මට ඩොක්ටර් ශාන්ති පරණවිතාන තමයි බෙහෙත් කළේ. මට උණ බහින්න බෙහෙත් දුන්නා. තුසිත ජයසුමන කියන වෙද මහත්තයා කොරෝනාවලට හදපු බෙහෙතක් හත්වෙනි දවසෙන් පස්සෙ බිව්වා. දුම් ඇල්ලුවා, වෛද්‍ය උපදෙස් මත මම ඉන්හේලර් එකක් පාවිච්චි කළා. බටහිර සහ දේශීය බෙහෙත් මට පිහිට වුණා මේ ලෙඩෙන් ආරක්ෂා වෙන්න.


මේ හැම දේකටම මුහුණ දෙන එක පහසු වුණාද?

ඇත්තටම වයිරස් එක වැලඳෙන්න පෙර මගේ හිත මේ ලෙඩේට බය වුණේම නැහැ. කලාකාරයෝ එක්ක වැඩ කළා, බඩු බෙදන්න ගියා. චුට්ටක්වත් බය වුණේ නැහැ. මම කියන්නේ පොසිටිව් කියලා දැනගත්තත් මේ ලෙඩේට බය වෙන්නෙ නැතිව හිත හදාගෙන මේකට මුහුණ දෙන්න කියලයි. එතකොට අපිට ලෙඩේට ඔරොත්තු දෙන්න පහසුයි.


දමිතා ඇයි මේ රෝගී බව රහසක් කරගෙන හිටියේ?

ෙමම කාටවත්ම කියන්න ගියේ නැහැ. මගේ හිතවත් අයට පොසිටිව් කියලා දැනගත්ත වෙලාවේ ඉඳන් මම කෝල් කරනවා, මොනවද වෙන්න ඕන කියලා අහනවා. ඒ අයට ඒක කරදරයක් වෙන්නත් ඇති. ඇත්තටම කෙනෙක් කොරෝනා පොසිටිව් වුණාම තමන් ජීවත්වෙන වටපිටාවෙන් ලැබෙන්න ඕන උදව් ටික ලැබෙනවා. අපේ රටේ මිනිස්සු ඒ වගේ හොඳ හිත් තියෙන පිරිසක්. තමන්ගෙ අසල්වාසියා මේ අවස්ථාවේ තනිකරන්නෙ නැහැ.


නැවත වැඩ පටන් ගන්නෙ කවදද?

මේ මාසෙ 18 වැනිදයින් මම වැඩ පටන් ගත්තම ඊළඟ මාසෙ දෙවෙනි සතිය වෙනතුරු මම දිගටම ෂූටිං. මේ දවස්වල විකාශය වෙන වලවෙට්ටුවා, අඳුන්ගිර, පෝක් වීදිය යන ටෙලි නාට්‍ය තුනක් විකාශය වෙන නිසා ඒවයෙ රූගත කිරීම තියෙනවා.


ගායනයටත් රංගනයටත් කාලය වෙන්කර ගන්නේ කොහොමද?

රංගනය කියන්නෙ මගේ ජීවිතයනේ. පොඩි කාලෙ මම ආසාවෙන් හිටියා. මට මග හැරුණ දේ තමයි සංගීතය. නමුත් පස්සේ ගායිකාවක ලෙස මම ඉදිරියට ආවා. ඒ වගේම විශාරදවරියක් වීමේ සිහිනයත් පහුගිය කොරෝනා සමයේ මම සැබෑ කරගත්තා. පහුගිය අවුරුද්දේ මම විශාරද පාර්ට් 1, පාර්ට් 2 විභාග දෙකම අවසන් කරලා පළමු පන්තියේ සාමාර්ථයක් ලබාගෙන විශාරදවරියක් බවට පත්වුණා.


ධම්මිකා සුරංජි පතිරණ