මගෙ අක්කි දිනක්ෂි දැන් පුංචි දුවකගේ අම්මා කෙනෙක් - ශේෂාද්‍රි ප්‍රියසාද්

Monday, October 04, 2021 , 0 Comments

 



ඇය විටෙක රංගන ශිල්පිනියකි. විටෙක නිවේදිකාවකි. ප්‍රියසාද් පවුලෙන් බිහිවූ සුන්දර කලාකාරිනියක වූ ඇය නමින් ශේෂාද්‍රි ප්‍රියසාද් ය. පසුගියදා ඇගේ ජිවිතයේ වෙනසක් සිදුවිය.ඇය විවාහ දිවියට ඇතුළත් වීමයි. ඉතින් ඇගේ නව ජිවිතයේ සොඳුරු තැන් මෙන්ම මේ දිනවල වැඩකටයුතු පිළිබඳ අපට පැවසීමට රසඳුන පිළිසඳරට ශේෂාද්‍රි එකතු වුණේ මේ විදියටයි.


 


ශේෂාද්‍රි කොහොමද මේ දිනවල අලුත් ජීවිතය ගෙවෙන්නෙ..


මේ දිනවල ගොඩක් හොඳින් සතුටින් කාලය ගත කරනවා. තවම විවාහ වුණා විතරයි; අලුත් ජීවිතයට හුරුවෙමින් තමයි සිටින්නෙ. විවාහ වෙන්න කලින් අපි දෙන්නා ජීවත් වුණෙ පවුල් දෙකක. ඒ කියන්නෙ දෙමාපියන් ළඟ. ඉතින් ඒ නිසා අලුත් ජිවිතේට එකවර හැඩ ගැහෙන්න අමාරු නිසා ටිකෙන් ටික හුරු වෙමින් තමයි ඉන්නෙ.


 


ඔබේ ආදරණීය සැමියා ගැනත් කියමු නේද?


ඔහු ක්‍රිෂාන් පෙරේරා. පෞද්ගලික ආයතනයක ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස තමයි ඔහු රැකියාව කරන්නෙ. ඊට අමතරව මේ දවස්වල ගෙදර ඉදන් වැඩ කරන නිසා සංගීතය පැත්තටත් යොමු වෙන්න කාලයක් ඔහුට තිබෙනවා. ඉදිරියෙදි යහළුවො කිහිපදෙනෙක් එක්ක එකතු වෙලා ගීත කිහිපයක් එළි දක්වන්නත් බලාපොරොත්තුවෙන් සිටිනවා. ඔහු ඩොක්ටර් බෑන්ඩ් එකේ සමාජිකයෙක් විදියටත් වැඩ කරලා එයින් ඉවත් වුණා. නමුත් සංගීතයෙන් නම් ඉවත් වෙන එකක් නැහැ. මමත් කැමතියි ක්‍රිෂාන් සංගීතය පැත්තෙන් ඉදිරියට යනවට.


 


දෙන්නා ආදර හමුවීමට මුල පුරන්නෙ කොහොමද?


මීට අවුරුදු දෙකකට කලින් තමයි මට ක්‍රිෂාන් මුණගැගෙන්නෙ.අපි දෙන්නම කලින් විවාහ වෙලා හිටපු දෙන්නෙක්. ඒ ප්‍රශ්න ඔක්කොම ඉවර වුණාට පස්සෙ මමත් තනියම හිටියෙ.ක්‍රිෂානුත් තනියම හිටියෙ. මගෙ අක්කි දිනක්ෂියි ක්‍රිෂානුයි හොඳම යාළුවො. අක්කිගෙ හිතවත්කම මත කතා බහ කරලා යහළුවො වගේ ඉන්නකොට මට තේරුණා ජිවිතේ ඉදිරිය ක්‍රිෂාන් එක්ක යන්න ලෙහෙසියි කියලා. එහෙම තමයි අපි දෙන්නා ආදරවන්තයො වුණෙ.


 


කොහොමද සැමියගෙන් ඔබේ වැඩකටයුතු වලට ලැබෙන සහයෝගය ?


ක්‍රිෂාන් මට තහංචි දාන්නෙ නැති කෙනෙක්. ඒක තමා මට ලැබෙන මුල්ම සහයෝගය. මම මොන දේ කළත් කලින් එයා එක්ක කතා කරලා තමයි කරන්නෙ. මේ දවස්වල නම් කොවිඩ් ප්‍රශ්නය නිසා රූපගත කිරීම් නවත්වලා තියෙන්නෙ.


 


ඔබ නිවේදිකාවක් ඒ වගේම රංගන ශිල්පිනියක් එසේම දැන් ගෘහණියක්. කොහොමද කාර්යබහුලත්වය සමඟ මේ හැමදේම සමබරව කරගෙන යන්නෙ..


මෙහෙමයි. අපි මේ දේවල් වැඩිය හිතන්නෙ නැති වුණාම අපිට හැමදේම සමබරව කරගෙන යන්න පුළුවන්. අපේ කාලය කළමනාකරණය කර ගන්න විදිය සහ වැඩකටයුතු කළමනාකරණය කරගන්න විදිය තමයි අපි හිතන්නට අවශ්‍යය. මම දැන් මුල්තැන දෙන්නෙ නිවසෙ වැඩ කටයුතුවලට. උදෑසනම නිවසේ වැඩ කටයුතු සිදු කරලා පසුව තමයි මම මගෙ වැඩකටයුතු සඳහා යොමු වෙන්නෙ.


 


දැන් ශේෂාද්‍රි  පුංචි අම්මා කෙනෙක්. කොහොමද දැන් දිනක්ෂිට උදව් කරන්නෙ?


ඔව්, මගෙ අක්කි දිනක්ෂි දැන් පුංචි දුවකගේ අම්මා කෙනෙක්. ඇත්තටම මේ වෙලාවෙ තිබෙන කොරෝනා ප්‍රශ්නය එක්ක කිසිම දෙයක් සැලසුම් කරන්නට බැහැ. අපි බබාව බලන්න යන එකත් හරිම අවධානම්. බබාට තෑගිත් අරන් ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නෙ එයා වෙනුවෙන්. මේක හරිම අලුත් අත්දැකීමක්. අපේ පවුලට අලුත් අමුත්තෙක් ආවා කියන එක වෙලාවකට හිතා ගන්නත් අමාරුයි. ඒ තරම් සතුටුයි. කොහොමත් ටිකක් කල් අරගෙන තමයි පැටියව බලන්න යන්න වෙන්නෙ.



මේ දිනවල බොහෝ ජනප්‍රිය චරිතයක් තමයි ඔබේ නැඟණිය ශනුද්‍රි ප්‍රියසාද්. නංගිගෙ සාර්ථකත්වය ගැන අක්කා විදියට ඔබට දැනෙන්නෙ කොහොමද?


ශනුද්‍රි බොහොම අඩු වයසින් බොහොමයක් හැකියාවන් පෙන්නපු කෙනෙක්. නර්තනය, ගායනය, රංගනය හැම පැත්තෙන්ම උපරිම දක්ෂතාවක් නංගිට තියනවා. අලුත් පරම්පරාවේ නංගි ජනප්‍රියම චරිතයක් කියලා කියන්න පුළුවන්. ගොඩක් සතුටුයි එයා අද ඉන්න තැන ගැන. අක්කා විදියට මම එයාට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා. අනික නංගි හිතලා බලලා වැඩකරන කෙනෙක්. ඒ නිසා එයා ගොඩක් දුරට සාර්ථකයි. ශනුගේ ඩාන්සින් වලට ගොඩක්ම අක්කියි අයියයි තමා උපදෙස් දෙන්නෙ.


 


නිවේදිකාවක් විදියට ලැබෙන ප්‍රතිචාර ගැන හිතෙන්නෙ කොහොමද?


හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම රියැලිටි වැඩසටහනක් කරන පළවෙනි වතාව. ලොකු අත්දැකීමක් වගේම මට මෙය ලොකු වෙනසක්. මම සජීවි වැඩසටහන් කළාට සජීවි නිවේදනයක් කරන පළමු වතාව. හිරු ටීවි එකෙන් මට ලැබුණ අවස්ථාව මට කවදාකවත් ජිවිතේ අමතක වෙන්නෙ නැති වෙයි.


 


ඔබේ ඉදිරි බලාපොරොත්තු ගැනත් කියමු නේද?


මම මාළිගාවත්ත කියලා ටෙලි නාට්‍යයක් කළා. එය ඔක්තෝබර් මාසයේ අග වගේ ස්වර්ණවාහිනි නාළිකාවෙන් විකාශනය වෙන්න සැලසුම් කරලා තියෙනවා. මම එහි මුස්ලිම් චරිතයක් නිරූපණය කරන්නෙ. ජිවිතේ ගැන ලොකුවට සැලසුමක් නැහැ. ක්‍රිෂාන්ගෙ වැඩකටයුතු වලට උදව් කරගෙන මගෙ වැඩත් අපහසුවකින් තොරව සමබරව කරන්න තමා බලාපොරොත්තුව. මම කොහොමත් කැමතියි වැඩිපුර කාර්යබහුල නොවී එක වෙලාවක එක වැඩක් කරන්න.