ඒකෙ ස්වර්ණලතා මේකෙ චිත්‍රලතා - අනුරාධා උදයංගනී

Friday, October 08, 2021 , 0 Comments




ලොක්කී ටෙලි නාට්‍යයේ ඇය ලොක්කිගේ අම්මාය. එමෙන්ම අඳුන්ගිර ටෙලි සිතුවමේද මවකගේ චරිතය ඇය රඟන්නීය. වත්මන වන විට මවගේ චරිතයට ඇයට වැඩි වශයෙන් ඇරැයුම් ලැබෙයි. එහෙත් පෙම්වතිය වීමටද ඇගේ අකමැත්තක් නැත. මේ සොඳුරු රුවැත්තිය අනුරාධා උදයංගනීය. රංගනයට පිවිස දශක දෙකක් ඉක්මවා ගියද ඇගේ සුරූපී බව මඳක් හෝ අඩුවී නැති බව නම් සැබෑය. රංගනය අහඹුවක් වුවද ඇය ඉන් උපරිම ප්‍රයෝජන ගත්තීය. අද වන විට අනුරාධා උදයංගනී යනු ටෙලි නාට්‍යය කලාවට නැතුවම බැරි නිළියකි.


 


ආයුබෝවන් කියලා ඔබ පිළිගන්නවා.


ඔබටත් ආයුබෝවන්. 


 

ඔබ මේ දවස්වල ටෙලි නාට්‍ය තුනක රඟපානවා. ඉන් දෙකක් විකාශය වෙනවා?


අඳුන්ගිර, ලොක්කි කියන නාට්‍ය දෙක තමයි විකාශය වෙන්නේ. ඊට අමතරව රුකී කියලා නාට්‍යයක ෂූටිං. තවම ඒක විකාශය වෙන්න පටන් ගත්තේ නැහැ.


 


ලොක්කි සහ අඳුන්ගිර කියන නාට්‍යවල ඔබ මවකගේ චරිතය රඟපාන්නෙ. එහෙත් ඒ චරිත ද්විත්වයේ හැඩයන් වෙනස්?


මම ඒ චරිත රඟපාන්නත් බාර ගත්තේ ඒ වෙනස්කම නිසාම තමයි. ලොක්කි නාට්‍යයේ මම රඟපාන්නේ දරුවො තුන්දෙනෙක් ඉන්න මවකගේ චරිතයක්. ඔවුන්ගෙන් වැඩිමල් දරුවා අරන් හදාගත්තු ළමයෙක්. ඇය වැඩිපුරම ආදරය කරන්නේ තමන්ගේ දරුවන් දෙදෙනාට. අඳුන්ගිර නාට්‍යය ගැන කතා කළොත්, එකෙත් මම පුතෙකු ඉන්න මවකගේ චරිතයක් රඟපාන්නේ. ස්වාමිපුරුෂයා මිය ගිහින්. ඇත්තටම මං ඒ චරිත ස්වභාවයටත් හරිම ආසයි. ප්‍රධාන චරිතයක් නොවුණත් ඒ තුළ මට රඟපාන්න දෙයක් තිබුණා. අඳුන්ගිර නාට්‍යය අධ්‍යක්ෂණය කරන ඉන්දික ධර්මතිලක සහාය අධ්‍යක්ෂවරයෙක් විදියට කාලයක් තිස්සේ දැන හඳුනාගෙන තිබුණා. ඔහු නිර්මාණය කළ ගිරිදේවි ටෙලි නාට්‍යය මම ඉතා ආසාවෙන් නැරඹුවේ. මේ වගේ නාට්‍යයක රඟපාන්න තිබුණ නම් කියලා පොඩි ආසාවකුත් හිත තුළ ඇති වුණා. ඉන්දිකගේ දෙවැනි නාට්‍යය ඒ කියන්නේ අපි මේ කතාකරන අඳුන්ගිර නිෂ්පාදනය කළේ නුවනි වලිමුණි. නුවනි කියලා කියන්නේ මගේ පරණ යෙහෙළියක්. ඇය තමයි මේ චරිතය සඳහා මට ආරාධනා කළේ.


 


චරිත දෙකේ නම් දෙකක් යම් සමානකමක් තියෙනවා නේද?


ඔව් ලොක්කි නාට්‍යයේ අම්මගෙ නම ස්වර්ණලතා. අඳුන්ගිරි මව චිත්‍රලතා


 

දැන් දැන් ඔබට වැඩිපුර ලැබෙන්නේ මවගේ චරිතය?


ඒක ඉතින් මෙහෙමයි. මගේ වයසත් එක්ක මට ලැබෙන චරිත ගැන මට සෑහීමකට පත් වෙන්න වෙනවා. ඒ නිසා මට ලොකු ගැටලුවක් නැහැ. මොකද මට ලැබෙන චරිතවලට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්නටයි මම ලෑස්ති වෙලා ඉන්නේ. ඇත්තම කිව්වොත් දැන් අපිට පොඩි කෙල්ලගේ චරිතය රඟපාන්න බැහැනෙ. ඒක අපි තේරුම් ගන්න ඕනේ.


 


ඒ වුණත් තවම පෙම්වතියගේ චරිතයට නම් ඔබව ගැළපෙනවා?


විවිධාකාර පෙම්වතියන් ඉන්නවා. පෙම්වතියක් වෙන්න වයස බලපාන්නේ නැහැනේ. අන්න ඒ වගේ විවිධ හැඩතලයන් තියෙන පෙම්වතිය චරිතය ලැබුණොත් මම ඒක රඟපානවා.


 


රඟපෑම අහම්බයක් නේද?


ඇත්තටම මම රඟපාන්න බලාපොරොත්තුවෙන් හිටපු කෙනෙක් නෙමෙයි. මම පොඩි කාලේ ඉඳල හරි දක්ෂයි නර්තනයට. ඒ නිසා නර්තන ගුරුවරියක් වෙන්න තමයි මගෙ අනාගත බලාපොරොත්තුව වුණේ. රෙක්සි වසන්ත කියලා මගේ මාමා කෙනෙක් ඉන්නවා. එයා පුවත්පත් කලාවට සම්බන්ධයි. ඔහුගේ ඉල්ලීම මත මම රිද්ම පුවත්පතෙහි කවරෙකට හිටියා. ඒ ඡායාරූපය ගත්තේ නිල් කරුණාරත්න මහත්මයා. ඒ මඟින් තමයි මට මගේ පළමුවෙනි ටෙලි නාට්‍යය සඳහා ආරාධනා ලැබෙන්නේ. ඊට පසුව දිගින් දිගටම මට නිර්මාණ සඳහා ඇරැයුම් ලැබෙනවා.


 


ඔබව වඩාත් ජනප්‍රිය කළ ටෙලි නිර්මාණය මොකක්ද කියලා මම ඇහුවොත්?


මගේ දෙවැනි ටෙලි නාට්‍යයෙන්ම මම මිනිස්සු අතරට ගියා. ඒ නාට්‍යය නේත්‍රා මංගල්‍යය. සුමිත් කුමාර මහත්මයා තමයි එය අධ්‍යක්ෂණය කළේ.


පසුකාලීනව ටිකක් නපුරු චරිතත් රඟපෑවා නේද?


වසුදා ටෙලි නාට්‍යයේ මට ලැබුණු නපුරු චරිතයත් එක්ක මට දිගින් දිගටම ඒ චරිත සඳහා ආරාධනා ලැබුණා. මම හිතන්නේ නපුරු වුණත් මම ඒ චරිතයට හොඳ සාධාරණයක් ඉටු කළා කියලා. එතකොට බොහෝ වෙලාවන්වලදී නපුරු චරිතයක් සඳහා නිළියක් ඕනේ වුණොත් අධ්‍යක්ෂවරුන්ට වගේම සහාය අධ්‍යක්ෂවරුන්ට මාව මතක් වෙන කාලයක් තිබුණා. ඉතින් ඒ නිසා කාලයක් මට නපුරු චරිතම ලැබුණා.


 


සිනමාව පැත්තෙන් ඔබට වැඩි දායකත්වයක් ලබා දෙන්න අවස්ථාව උදා වුණේ නැහැ කියලා මම කිව්වොත්?


ඒ කතාව හරි. මම චිත්‍රපට කිහිපයක පමණයි රඟපෑවේ. චන්ද්‍රරත්න මාපිටිගම මහත්මයාගේ චිත්‍රපට තුනක මම රගපෑවා. ඉර ළඟ වැඩියි, හෙළ ළඟ, සහ උයනට මල් ගේන්න තමයි ඒ නිර්මාණ ත්‍රිත්වය. ඒ වගේම රෝස පැටික්කි, සොමි බෝයිස් වගේ චිත්‍රපටවලත් රඟපෑවා. ඒත් මට දිගින් දිගටම චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව හිමි වුණේ නැහැ.


 

හැබැයි ඔබ මුල් කාලේ එක්තරා අවස්ථාවක් මඟ නොහැර ගත්තා නම් ඔබ සිනමාවේ රැඳී සිටින්නට ඉඩ තිබුණා?


ඒ ගැන මට ලොකු දුකකුත් හිතේ තියෙනවා. ඒ අවස්ථාව ගැන සඳහන් කළොත්, මම ටෙලිනාට්‍යවලින් ජනප්‍රිය වෙමින් එනකොටම මට වසන්ත ඔබේසේකර කියන ප්‍රවීණ අධ්‍යක්ෂවරයාගෙන් ස්ක්‍රීන් ටෙස්ට් එකකට ආරාධනාවක් ලැබුණා. ඒ චිත්‍රපටය තමයි දොරකඩ මාරාව. මාව ඇත්තට දැකලවත් නැතුව මගේ කටහඬවත් අහන්නැතුව තමයි ඒ මහත්මයා මට ස්ක්‍රීන් ටෙස්ට් එකකට එන්න කියලා කිව්වේ. මමත් ඒ දිනයේ ගියා. ඔහු මගේ මුහුණේ ප්‍රොෆයිල් එහෙම බලලා සහාය අධ්‍යක්ෂවරයාට එවලෙම කිව්වා, මෙයාව තෝරාගත්තා, මෙයාට දින ටික දෙන්නටයි කියලා. ඒත් ඒ කාලේ මාව තනිවම නිර්මාණ සඳහා යවන තත්ත්වයක් තිබුණේ නැහැ. අම්මා නිතරම මගෙත් එක්ක ගියා. මේ චිත්‍රපටයේ රූපගත කිරීම් තිබුණේ කොළඹින් පිට. ඒ නිසා මවත් සමඟ මට යා නොහැකි තත්ත්වයක් උදා වුණා. ඒ නිසා මම ඒ අවස්ථාව අකමැත්තෙන් හෝ අතහැර ගත්තා. සංගීතා වීරරත්න රංගන ශිල්පිනියගේ යෙහෙළියකගේ චරිතයක් මට තිබුණේ. ඒත් මම අදටත් දුක් වෙනවා ඒ අවස්ථාවට මට යන්නට නොහැකිවීම ගැන. මම ඒ චිත්‍රපටයේ රඟපෑවා නම් සිනමාවේ මීට වැඩිය දෙයක් මට ලැබෙන්න තිබුණා කියල මං අදටත් විශ්වාස කරනවා.


 


ඔබගේ පෞද්ගලික ජීවිතයේ විස්තර සඳහන් කළොත්?


මම පවුලේ එකම දරුවා. මම විවාහකයි මගේ හස්බන්ඩ් හසිත වික්‍රමආරච්චි. ඔහු මාධ්‍ය අධ්‍යක්ෂවරයෙක් විදිහට සේවය කරනවා.