මේ කාලේ රංගනයට පොඩි ඇවිස්සිල්ලක් තියෙනවා -මහේන්ද්‍ර පෙරේරා

Friday, October 08, 2021 , 0 Comments

 




මහේන්ද්‍ර පෙරේරා' යන සන්නාමය යටතේ භූමිකා රැසකි. ප්‍රේක්ෂකයන්ට අනුව ඔහු ප්‍රවීණ රංග ශිල්පියෙකි. වරෙක ඔහු ගැඹුරු හැඟීම් දනවමින්ද තවත් වරෙක ඉල කැඩෙන තරම් සිනා ගස්වමින්ද සිය නළු භූමිකාවට අවතීර්ණ වෙයි. එයින් හොඳම නළුවා, හොඳම සහාය නළුවා සම්මානද ලබයි. සිනමාවට මෙන්ම වේදිකාවට අයත් ඔහුගේ තවත් භූමිකාවක් ඇත. ඒ කලා අධ්‍යක්ෂවරයකු ලෙසය. ඒ හැකියාවද ඔහුට සම්මාන ගෙන එයි. බොහෝ නවක ශිල්පී ශිල්පිනියන්ට ඔහු ගුරුවරයෙකි. ඒ භූමිකාව වෙනුවෙන් ඔහු සිය සිසු සිසුවියන් ලබන සම්මානවලින් නිහඬව සැනසෙයි. ඒ අතරම ඔහුගේ ගෘහ මූලික භූමිකාවද ඔහු නොපිරිහෙළා ඉටු කරයි. මේ සියල්ල සපුරමින් ගත කරන ජීවිතයේ තුනෙන් දෙකක පමණ කාලයක් පුරා කලා ලොවේ මෙතෙක් ආ දුර මෙන්ම අද සහ හෙට යා යුතු ගමන පිළිබඳ ඔහු සිතන අයුරු සරසවිය සමඟ බෙදාහදා ගත්තේ මෙසේය.


 


අපි කතාව ඔහුගේ ගෘහ මූලික භූමිකාවෙන්ම ඇරඹුවෙමු. 'කොහොමද මහේන්ද්‍ර අයියා මේ දවස්වල ජීවිතේ?'


මේ කාලෙ ඉතින් කොහොමද කියලා ඇහුවාම දෙන්න තියෙන උත්තරේ දන්නවානේ අරුණි. ලෝකෙටම එකක් වෙලා තියෙනවා. ලංකාව‌ට හිතාගන්න බැරි එකක් වෙලා තියෙනවා. (ඔහු පවසන්නේ මඳ සිනාවක් සමඟය. එය ඇඩ්‍රස් නෑ චිත්‍රපටයේ ගොළු පියාගේ මෙන් කනගාටුව මුසු වූ එකක් යැයි මට සිතේ. එහෙත් ඔහු දිගටම කියයි.) ඒ නිසා සුබවාදීව හිතාගෙන අතරින් පතර ෂූටින් ටිකකුත් තියෙන නිසා දෙවැනි එන්නත අරගෙන ටිකක් විතර වේදනාව ඉවසගෙන බොහොම පරෙස්සමින් ඉන්නේ.


(යළි ප්‍රබෝධයක් සිතට ගෙන කියයි.) මම ෂූටින් යනකොට රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක් කරගෙන තමයි රඟපාන්න යන්නෙ. මොකද මේ දවස්වල හැමකෙනාගෙම දොරකඩවල් ඉස්සරහින් මරණය හිනා වෙවී එහෙට මෙහෙට යනවා පේනවානේ. ඉතින් පුළුවන් තරම් යහපත් විදිහට ඉන්න උත්සාහ කරනවා. මම කොහොමත් යහපත් විදිහට ඉන්න උත්සාහ කරපු කෙනෙක්. පිස්සු නම් ටිකක් කෙළියා. ඒවා ජීවිතේට ලොකු අත්දැකීම් මගේ අප්පේ... මිනිසුන් අඳුනා ගැනීම ඇසුරු කිරීම සඳහා කළ දේවල්. සමහරු කියන්නේ ඒකට පාටි දානවා අරවා මේවා කියලා. ඒකට ඉතින් අපට කමක් නෑනේ.


 


පවුලේ අයගේ තොරතුරුත් කියලාම ඉමු නේද?


ඒක හොඳයි. ලොකු පුතා මේ දවස්වල රැකියාව කරන්නේ වර්ක් ෆ්‍රොම් හෝම් ක්‍රමයට. දෙවැනියා ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා රැකියාවක් කරගෙන බොහොම හොඳීන් ඉන්නවා. තුන්වැනියා ඉන්ටීරියර් ඩිසයිනිං උපාධියක් අරගෙන ඊට අදාළ ආයතනයක වැඩ කරනවා.


 


තාත්තාගේ කලා අධ්‍යක්ෂණය පැත්ත පිහිටලා ඇතිනේ. මම කතාව මතින් කියමි


ආ... ඔව් ඔව්. ඒක මටත් අමතක වෙලා තිබුණේ. පොඩි කාලේ ඉඳන් තුන්වැනියා ඒ පැත්තට කැමැත්තෙන් හිටියා. මමත් යන්න දුන්නා. (සිනාසෙයි)


ඉතින් තක්ෂිලා මේ සියලු දේ බලා කියාගෙන අපිව දරාගෙන, විශේෂයෙන් මාව දරාගෙන ඉන්නවා. කොච්චර සෞඛ්‍ය නීති පිළිපැද්දත් ෂූටින් යද්දි එහෙම ටිකක් එහා මෙහා වෙනවාට බය වුණාට සියල්ල සමබරව ගෙනියන්නේ එයා තමයි. (සැහැල්ලු සුසුමක් ලන අතර) අපි ඉතින් හම්බ කරනවා, ණය ගෙවනවා, බිල් ගෙවනවා, අනාගතයට ණය වෙවී ජීවත් වෙනවා හ්ම්...


 


ඒ සරල කතාබහෙන් පසු කොවිඩ් 19 කලාවට බලපෑ ආකාරය දෙසට අපේ කතාව ඇදී ගියේය.


මේ වෙච්ච දේ නිසා සිනමාව වැහුණා, නාට්‍ය වැහුණා, සංගීත ප්‍රසංග වැහුණා. හැබැයි ඉතින් නළු නිළියෝ නම් වැඩි දෙනෙක් කොහේ කොහේ හරි ටෙලි නාට්‍යවලට හෝ සහභාගී වෙනවා. ඒත් සංගීත ප්‍රසංග කලාවට තමයි විශාලම පහර වැදුණේ. ඒ අයට කිසිම උත්සවයක් නෑ. එය විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. හැබැයි ඉතින් අපි හැමෝටම අලුතෙන් හිතන්න සිදු කළා සොබා දහම දිගින් දිගට කළ මේ දේ නිසා. එයින් අපට මිනිසුන් ගැන අවබෝධ වුණා, ලෝකය පිළිබඳ, සැම දේ පිළිබඳවම තේරුම් ගන්න අවස්ථාවක් දුන්නා. කතා කරන්නේ මනුස්සකම ගැන හැබැයි පාරට බැස්සාම ඒවා නෑ. වාහනේ වැරදි පැත්තෙන් ඉස්සර කරලා හෝන් එකත් ගහගෙන යන්නේ හරියට අපි වැරැද්දක් කළා වගේ. මොකද ඒ තරම් වේගයෙන් සංවර්ධනය කරානේ යන්නේ ඒ අය. ඒකෙන්ම තේරෙනවා රටේ තියෙන මනුස්සකම.


 


ඔහු සිනමාව පිළිබඳ කියන්නට විය.


අපට අලුතින් හිතලා අලුත් ප්ලැට්ෆෝර්ම්වලට ගැළපෙන විදිහට තමයි වැඩ කරන්න වෙන්නේ. අපි ගාමිණි ෆොන්සේකා සර්ලාගේ කාලේ ටිකක් ඉවත් කරලා අපේ යුගය ගැන කතා කළොත් අපි අපේ යුගයේ කරගෙන ආ සිනමාවක් තිබුණානේ. දැන් කොහොමද ඒකවත් අඩුගානේ ඉස්සරහට කරගෙන යන්නේ? දැන් ආයේ චිත්‍රපට හැදුවත් මෙහෙන් ශාලා වැහෙනවා හෝ ගාලා. අන්තිමට මම හිතන්නේ මේ රටේ ශාලා දෙකක් විතර ඉතුරු කරලා තියන්න වෙයි ඉස්සර අපි චිත්‍රපට බැලුවේ මෙහෙමයි කියලා පෙන්වන්න. ප්‍රොජෙක්ටර් එකක් නැත්නම් ඩිජිටල් විදිහට හරි පෙන්වන්න කෞතුක වස්තු විදිහට තියන්න වෙයි දෝ කියලත් හිතෙනවා. අනෙක් පැත්තට හිතෙනවා මිනිස්සු හරියට හිතන්න පටන් ගත්තොත් ඊට වඩා හොඳ විකල්පයක් එක්ක ඉදිරියට එන්නත් පුළුවන් නේද? දැන් බලන්නකෝ යූටියුබ් වැහි වැහැලානේ. (සිනාසී) ඉපදිච්ච නැති අයට විතරයිද කොහෙද නැත්තේ අනෙක් හැමෝටම තියෙනවා. (යළි ගැඹුරු හඬින්) එක්කෝ මේ යූටියුබ්වලට චිත්‍රපට හැදෙන්න පුළුවන්. අපි නෙට්ෆ්ලික්ස් වගේ එකක් ගැන හිතුවේ නෑනේ කලින්. දැන් ඕස්ට්‍රේලියාවෙත් එකක් පටන්ගෙන. ඒ වැනි ආරම්භයක් ආවොත් ඉදිරියට අපටත් වැඩ කරන්න වෙන්නේ ඒ දේවල් එක්ක තමයි. පැරැණි සිනමාව තවදුරටත් කොහොම වෙයිද දන්නේ නෑ. ඉස්සරත් අපි කොපි තිහක් තිස්පහක් ගහගෙනනෙ කීයක් හරි හම්බ කළේ. ඉස්සරහට කොපි කීයක් ගහන්නද චිත්‍රපටයක? සංගීත ක්ෂේත්‍රයටත් ඒ වගේ වෙයි. ඒ නිසා අපට අලුතින්ම හිතමින් තමයි මේ ගමන යන්න වෙන්නෙ. සමහර විට අපට අපි හිටපු ප්‍රතිපත්තිවල ඉන්නත් බැරි වෙයි. බොහෝ දේවල් වෙනස් වෙයි.


 


කොහොමත් පරිසරයට අනුව සත්ත්වයා හැඩගැසිය යුතුයි කියලා කියනවානේ... මම උල්පන්දන් උනිමි.


අපට කොහොමත් වැඩේ වැරදුණේ පරිසරය කියන දේ ගණන් ගත්තේම නැති නිසානේ. කොයි තරම් කවුරු මොනවා කීවත් අපි විනාශය කරගෙනම ගියා. ලෝකෙත් එහෙම තමයි. ඒත් අපේ මේ ලස්සන කොළ පාටට ගස් කොළන් පිහිටා තිබුණු රට විනාශ කරගත්තා. ඒ වගේම අපි දණගාන කාලේ අහන්න තිබුණේ වෑල්ව් රේඩියෝ එකක් විතරයි. ඒ හරහා තමයි ලෝකය අහන්නේ දකින්නේ. ඊට පස්සේ චිත්‍රපට කලාවයි වේදිකාවයි විතරයි. ඒත් අද වන විට ලෝකෙ නොදකින්න පුළුවන් මොනවාද කියලා හිතන්නකෝ. ඉතින් ළමයින් ඒ දේවලට හුරු වෙනවා අනිවාර්යයෙන්. ඒකේ ඛේදවාචකය තමයි බොහෝ වෙලාවට ළමයින් ස්වභාව ධර්මයෙන් ඈත් වෙලා ඒ සමඟ ගනුදෙනුවක් නැතිම තැනකට යෑම. ඒකට මොකද කරන්නේ කියලා හිතාගන්නත් බැහැ. හැම දේකම වෙනසක් ඇතිවෙනවා තමයි. ඒත් අපි දැක්කානේ පහුගිය දවස්වල ෆෝන් එක අම්මා ගත්තා කියලා සියදිවි නහගත්තා ළමයෙක්. ලෝකේ වෙනරටවලත් ළමයින් ඕවාට ඇබ්බැහි වුණාට ඔහොමත් වෙනවාද කියලා පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා. අනෙක ඔන්ලයින් උගන්වන්න ගිහින් ලොකු ගාලගෝට්ටියක් තියෙනවා. හැම පැත්තෙන්ම ඇහෙන මේ ගාලගෝට්ටිය ඇතුළේ අපි හරි 'ට්‍රැක් එකක' යන්නේ කොහොමද කියන එක තමයි හැමෝටම හිතන්න තියෙන්නේ මේ වෙලාවේ.


 


ඒ වගේ කලබගෑණියක් තුළ එළැඹි සිහියෙන් ඉන්න නේද කලාව ඉගෙන ගන්න ඕනෙ කියලා කීවේ?


එහෙම මතවාදයක් තිබුණා. හැබැයි ඒක ටිකක් පැරැණියි. මොකද එයින් කළ හැකි බොහෝ දේ තිබුණත් එය භාවිත කරන්නෙ කොහොමද මේ වෙලාවෙ කියන ප්‍රශ්නය තිබෙනවා. මේ සමාජ මාධ්‍යවල එහෙම හිටි හැටියේ දාන දේවල් දිහා බැලුවාම එක වෙලාවකට හරි පිස්සු වගේ හිතෙනවානෙ. ඉතින් ඒ තුළ අපි කොහොමද පිරිසුදු කලාවක් මේ තිබෙන සමාජයටත් ගැළපෙන විදිහට කරන්නේ කියලා හිතන්න වෙනවා. මොකද දැන් මුළු ලෝකෙම තියෙන චිත්‍රපට බලන්න පුළුවන් නිසා 'අයියෝ මේ මොනවාද මේ' කියලා යමක් ගැන අහන අයත් නැතුවා නෙවෙයි. හැබැයි ඉතින් කලාවෙන් අඩුගානේ බුද්ධිය ඇවිස්සීම ක්‍රියාවක්වත් කරන්න පුළුවන්.


 


එතකොට මේ මොහොතේ කලාකරුවාගේ වගකීම?


කලාකරුවාට මේ මොහොතේ තියෙන වගකීම තමයි කොහොම හරි නොමැරී ජීවත් වෙන්න උත්සාහ කරන එක. මොකද වෙන කිසිම සෙල්ලමක් දාන්න ලේසි වෙන්නේ නෑ මේ යන විදිහත් එක්ක. ඒ නිසා කොහොම හරි රැකිලා ඉදහන් කියන්න තමයි වෙන්නේ චුට්ටක් හරි මේ තත්ත්වය එහෙට මෙහෙට වෙනකල්. හැමදේම හැමදාම ලෝකේ එකම විදිහට පවතින්නෙත් නෑනෙ. කවුරු හරි මේ දේ හිතලා කළා හෝ ස්වභාව ධර්මය හිතන්න හරි ඉඩ දුන්නා හෝ මෙය විශාල පාඩමක් අපි හැමෝටම. ඒ නිසා සොබාදහමම මේ පාඩම හිමින් අකුළාගන්න වෙලාවක් එයි. ඒ වෙලාව එනකල් රැකිලා ඉන්න වෙනවා. හැබැයි අපි සරල වුණොත් රැකෙන්න පහසු වෙනවා. මොකද සල්ලි බාගේ කොච්චර තිබුණත් අපි දැක්කානේ ගිය විදිහ. විශේෂයෙන් තරුණ කලාකරුවන් අතේ ලොකු වැඩක් කරන්නත් තිබෙනවා. මම ඒ නිර්මාණත් දකිනවා. ඒවා ඉස්මතු කරලා ගන්නත් මේ කැලතීම සමහන් වනතුරු ඉන්නම වෙනවා. මේ දවස්වල ස්පීල්බර්ග් වගේ හිතලා වැඩකරන්න ටිකක් අමාරුයි. ඕනෑවට වඩා භෞතිකවාදී නොවී ඉඳීම ඇඟටත් හරි පහසුයි.


 


එහෙම ඉන්න කියලා දීලා තිබෙන ප්‍රධානම රටේනේ මේ ඔක්කොම? මම ඔහුගේ කතාවට අලගු තබමි.


ඕවා ගැන කතා කරන්න ගිහින් එක එක්කෙනා තරහා වෙනවාට වඩා හොඳයි නිහඬව ඉන්න එක. ඔහු සිනාසෙමින්ම එයට තිත තබයි.


 


රංගන පන්ති එහෙමත් නතර කරන්න වුණා නේද?


ඒවා ඔක්කොම නතර කරලා දාලා තියෙන්නෙ. ඉදිරියට කරන්න හිතුවත් මේ තත්ත්වය සමනය වනතුරු බලා ඉන්න වෙනවා. මොකද තරුණ ළමයින්ගේ කාලය වැය කරලා යන්න තැනක් නැති වුණොත්? ඒ තෝතැන්න සශ්‍රීක නැහැනේ තාම. මේ පතුරොම් රහිත ඇඳුම් කැපීමේ කලාව උගන්වනවා නෙවෙයිනේ. මට කොහොමත් ඔන්ලයින් උගන්වන්න නම් බැහැ. එය බොහොම ප්‍රායෝගිකව, ළඟ ඉඳන් බලාගෙන, වැරැදි අඩුපාඩු හදාගෙන යා යුතු ගමනක්. ජීවිතේ අවසාන මොහොතේ හෝ දන්න දෙයක් කියලා දීලා උඹලා මෙහෙම කරහල්ලා කියලා තරුණයන්ව පොඩ්ඩක් අවුස්සලා උගන්නන්නයි මම කැමැත්තෙන් ඉන්නේ. එකතු වෙලා යමක් කරන්න පුළුවන් වාතාවරණයක් නෙවෙයිනේ තියෙන්නේ. මම හිතනවා අනාගතයේ එහෙම අවස්ථා, අලුත් වේදිකා බිහිවෙයි කියලා. ඇත්තටම වැඩමුළු කරනවා නම් මේ කාලේ තමයි කරන්නත් ඕනෙ. මොකද අපි හැමෝගෙම පොඩි මොකක්දෝ ඇවිස්සිල්ලක් තිබෙනවා. මට දවසකට දුරකථන ඇමතුම් කීපයක් එනවා පන්ති ගැන අහලා. මිනිස්සුන්ගේ උනන්දුවක් තිබෙනවා යමක් කළ යුතුයි, ඉදිරියට සොයාගෙන යා යුතුයි කියලා.


 


රජයෙන් රංග පාසලක් දැමිය යුතුයි කියා හිතනවාද?


සියලු දෙනාට එකතු විය හැකි තැනක් නම් තිබිය යුතුයි. ටවර්හෝල් එකෙන්, තරුණ සේවා සභාවෙන් යම් යම් දේ කෙරෙනවා. හැබැයි මගේ පෞද්ගලික මතය නම් රංගපාසලක් බිහි කරනවා නම් එය රජයේ නොවන ස්වාධීන එකක් විය යුතුයි. නැත්නම් මොන විදිහෙන් හෝ දේශපාලනීකරණය වෙලා අපේ අර වැඩේට වීදි නාට්‍යයක් කරලා දෙන්නකෝ අනෙක් වැඩේට කෙටි නාට්‍යයක් කරන්නකෝ කියන තැනට ආවොත් ඒක වැඩක් නැතිව යනවා.


 


බොහෝ අධ්‍යක්ෂවරුන්ගේ මැසිවිල්ලක් තිබෙනවා රංගනයට දක්ෂ තරුණ නළු නිළියන් බොහොම අඩුයි කියලා?


රඟපාන්න පුළුවන් පිරිසක්, ක්ෂේත්‍රය තුළ අලුත් යමක් සොයාගෙන යා හැකි පිරිසක් ඉන්නවා. ඒ්ත් රැකෙන්න වෙලා තිබෙන්නේ කොයි ආකාරයෙන්ද කියන ප්‍රශ්නය ඔවුන්ටත් තිබෙනවා. ඒ සඳහා හොඳ නිර්මාණ බිහිවෙනවාද යන්නත් ගැටලුවක්. ඒකයි මම කීවේ මේ වගේ කාලෙක වැඩමුළු කළා නම් අයාලේ යන තරුණ නළු නිළියන් පිරිස හරි මාර්ගයකට ගන්න පුළුවන් කියලා. ඉතාම හොඳට රඟපාන්න පුළුවන් අය කියලා තෝරන්න අමාරුයි මොකද අහුවෙන කොයි එකේ හරි රඟපාගෙන යනකොට ඇක්ටිං ටිකක් කුරුවල් වෙන්න බලනවා. ඒ නිසා ඒවායින් තරමක් පරෙස්සම් වෙන්නත් ඕනෙ. ඕනෑම විෂයයක සතතාභ්‍යාසයයි ව්‍යායාමයි නොකළොත් ඒ නුහුරත් එනවා. මේ කාලේ ඉතින් ඒවා හරියට කරන්නත් බැහැ.



හැබැයි ඉතින් මේ තත්ත්වය උද්ගත වුණේ අවුරුදු දෙකකට අඩු කාලයක් ඇතුළත. ඊට කලින් ඉඳන්ම ඔය ඌනතාව දැනුණානේ?


අවුරුද්දකින් දෙකකින් වුණත් නළු නිළියන් බිහි කරන්න පුළුවන්, ඒ හා සමානව නිර්මාණ බිහිවෙනවා නම්. ඉස්සර නම් එක එක අධ්‍යක්ෂවරුන් එක එක විදිහේ නිර්මාණ කළානේ. දැනුත් කිසිම වැදගැම්මකට නැති නළුවෝ ක්ෂේත්‍රයේ නමක් හදාගෙන ඉන්නවා අපට පේනවා. ඒත් විෂය තුළ ඔවුන්ගෙන් ඇති වැඩක් නෑ. සමහර දේවල් ගැන කතා නොකරම ඉන්න එක හොඳයි. හැබැයි ස්වාධීන රූපවාහිනියේ සභාපති සුදත් රෝහණ, රස වින්දන මට්ටම ඉහළට ගන්න හිතාගෙන සීමාසහිත කොටස් ගණනක ටෙලි නාට්‍ය කරන්න අලුත් අධ්‍යක්ෂවරුන්ට අවස්ථාව දුන්නා. ඒක හොඳ දෙයක්. ඒ වගේම ස්වර්ණවාහිනිය විදේශ ටෙලි නාට්‍ය පෙන්වීම තහනම් කළා. එය වටින වැඩක්. හැම නාළිකාවක්ම කළ යුතු දෙයක්. ඉඳලා හිටලා විශ්ව සාහිත්‍යයෙන් නිර්මාණය වුණු හෝ ලෝක සම්මානයට පාත්‍ර වුණු විදේශ නිර්මාණයක් පෙන්නුවාට කමක් නෑ. අපේ රටේ ලියන්න, අධ්‍යක්ෂණය කරන්න වගේම කොච්චර කීවත් රඟපාන්න පුළුවන් අය, සංගීතයට, තාක්ෂණයට දක්ෂ අය ඉන්නවා. ඒ නිසා ලාබෙට පිටරටින් කසිකබල් ඒවා ගෙන්වනවාට වඩා අප කළ යුත්තේ කුමක්ද කියන දේ තීරණය කළ යුතුයි. අකිරා කුරසෝවාගේ, ඩේවිඩ් ලීන්ගේ චිත්‍රපටයක් පෙන්වනවා වගේ නෙවෙයිනේ මේ කුණු කන්දල් පෙන්වන එක. ඇත්තටම අප මේ රස වින්දනය ආරක්ෂා කරගත යුත්තේ පොඩි දරුවන්ගේ. වැඩිහිටියන්ගෙන් ගෙවල්වල ඉන්න අම්මලාගේ. ඉන්දියාවේ ටෙලි නාට්‍යවල ගෑනු අය මඟුල් ගෙදරක යන්න ලෑස්තිවෙලා යන්න බැරි වුණා වගේ ඉන්නෙ. ඇඳුම් ගලවන්නත් දැන් කම්මැළියි ඔහොමම නිදාගමු වගේ හිස් මනෝලෝකවලට පොඩි ළමයින් ඇද දාන්න හොඳ නෑ. ඒ නිසයි අපේ ටෙලි නාට්‍ය කරන්න පටන්ගත යුත්තේ. සමහර විට පොඩි ආධුනික මට්ටමක් තියෙයි මුලදි. ඒවා පසුව හැදිලා එයි. ඒවාට අවස්ථාව දිය යුතුයි. එහෙම නොදී ලංකාවේ ක්‍රිකට් ටීම් එකට පිටරටින් මොකෙක් හරි දම්මලා ගැස්සුවා වගේ කරලා හරියන්නෙ නෑ.


 


මෙච්චර කල් ඔය පිටරට නිර්මාණවලට ඉඩ ලැබුණේ අපේ නිර්මාණවල මොකක් හෝ අඩුවක් තිබුණු නිසාද?


නෑ. නෑ. ඒවා එක එක රජයන් විසින් ගත් තීරණ. එක වචනෙන් ඒවා නවත්වන්න අවස්ථාව තිබුණා. ඔය එකපාරට ගෙන්වන අනම් මනම් නැවැත්තුවේ. ඒ වගේ. නාළිකාවලින් තමන්ගේම නිර්මාණ පටන්ගන්න කියලා කිසිම රජයකින් තීරණයක් ගත්තේ නෑ. අපට කොච්චර ලස්සන ටෙලි නාට්‍ය කලාවක් තිබුණාද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකො. අපට ලස්සන සිනමාවකුත් තිබුණා. අපි කොච්චර අන්තර්ජාතික සම්මානම ගෙනාවාද? ඉඳලා හිටලා කිසිම වටිනාකමක් නැති ඒවාත් එන්න ඇති. ඒත් අපේ නිර්මාණ කොච්චර හොඳද? ඒවා බංකොළොත් වෙලා ගියා. මොකද එක නාළිකාවක් මෙගා නාට්‍ය ගෙනාවාම අපේ අයත් මෙගා හදන්න පටන්ගත්තා. එතකොට සමහරු මෙගා වගා කළා. සමහරුන්ට දිගාවෙලා ඉන්න වුණා. නාළිකා අල්ලගෙන තනි මිනිහෙක් කොටස් දෙසීය තුන්සියය කරන්න ගත්තාම පවතින්න බෑ. මම දන්න එක කැමරා ශිල්පියෙක් ලක්ෂ දෙකට කරන්නම් කියූ එක වෙන කෙනෙක් අනූ දාහට අරගෙන විකාරම කරලා දැම්මා හරියට ඇඹරැල්ලා ගෙඩිය පොළොවෙ ගැහුවා වගේ. කොටස් දොළහ පහළොව විස්ස වගේ නාට්‍ය කළාම විවිධත්වයෙන් යුතු රසවින්දනයක් රටේ ගොඩනැඟෙනවා. එහෙම නැති වුණාම රටේ ගල් අරක්කු විතරක් හැදෙනවා නම් අපට ඒක විතරක් බොන්න වෙනවා වගේ එක්කෙනාගෙම මෙගා නාට්‍ය දිහා තමයි බලාගෙන ඉන්න වෙන්නෙ. වෙන රහක් දැනෙන්නෙ නැහැ. පාලනයේ තමයි මේ ඔක්කොම තියෙන්නේ අරුණි.


 


එතකොට සිනමාවටත් ඒකද වුණේ? බහුතරය කියනවා සිනමාව පිරිහිලා කියලා?


නෑ. සිනමාව පිරිහිලා කියලා මම නම් කියන්නේ නෑ. අපට වැඩ ටික හරියට කරගන්න පුළුවන් විදිහට තෝතැන්න සකස් කරගන්න බැරි වුණා. සහරාන්ගේ ප්‍රශ්නෙන් පස්සේ තමයි මේ ශාපය වැදුණේ අපට. ඊට කලින් කොහොම හරි යම් මට්ටමකට 'රන් එකක්' දුන්නා අපි. ඕකෙ ජාති දෙකයිනේ තිබෙන්නෙ, එක්කො කලාත්මක නැත්නම් වාණිජ සිනමාව. එය යම් යම් මට්ටමින් කෙරීගෙන ආවා. ඊට පස්සේ තවත් පිරිසක් ලෑස්ති වෙලාත් හිටියා ඒක ඉදිරියට ගෙනියන්න. පසුගිය කාලේ හොඳ වාණිජ සිනමාවක් තිබුණා. හේමාල් වගේ අය බිහි වී තිබුණා. ඉසුරුලා වගේ අය එද්දිම ප්‍රශ්න හැදිලා සිනමාව වැටුණා. චිත්‍රපටවල පිටපත් කීයක් ගහන්න ඕනෙද කියලත් ප්‍රශ්න ඇති කරගත්තානේ. ස්වර්ණමය යුගය වුණ හැත්තෑව දශකයේ ඉඳන් අසූව අනූව දෙදාහා කියමින් එද්දි ප්‍රේක්ෂකයන්ගේ සිතුම් පැතුම්වල පවා වෙනස්කම් ඇති වුණානේ නොයෙක් හේතු නිසා. ධර්මසේන පතිරාජලා, වසන්ත ඔබේසේකරලා, ධර්මසිරි බණ්ඩාරනායකලා, ෂෙල්ටන් පයාගලලා ක්‍රමක්‍රමයෙන් සිනමාව වගේම වේදිකා නාට්‍ය කරගෙන එද්දි ඒවා වැලඳගෙන ඒ හා සමානව වැඩ කළ හැකි පිරිසක් ඒ පසුපස හිටියා. එයින් භාගයකටත් වඩා පිරිස ටයර් උඩ ගියා. පස්සේ යුද්ධය ආවා. අර ගමන දියුණු කරගන්න හිටිය පිරිස නැති වුණා. හිතන්න කොයි තරම් කතා රචකයන්, අධ්‍යක්ෂවරුන් එහෙම බිහිවෙයිද ඒ දිගටම ආවා නම්. ඊළඟට බලද්දි මේ ඔක්කොම ඩිජිටල් වීගෙන එනවා. එතැනින් කැඩුණු කැඩිල්ල බ්‍රේක් වුණාම තමයි. සාමාන්‍ය ජන ජීවිතයට යළි එද්දි ලෝකයේ සියලු දේ වෙනස් වෙලා. ෆිල්ම් රීල් පවා සමහර රටවල නැති වෙලා. එනිසා මේ තරුණ පිරිසට සිදුවෙනවා මුල ඉඳන් අලුතෙන් හිතමින් පතිරාජලා වගේ අයගේ නිර්මාණ පරිශීලනය කරමින් අධ්‍යයනය කරමින් යන්න. එය අලුත් ආරම්භයක් නිසා අමුතු විදිහේ චිත්‍රපට හදාගෙන එන්න උත්සාහයක් ගත්තා. සහරාන්ගෙන් පස්සේ සියල්ල නැතිව ගියා. කොරේ පිටට මරේ වගේ කොරෝනාත් ආවා.


ඒක තරුණ නළු නිළියන්ට බලපෑවේ හරියට මා ළඟ ලස්සනට මහපු ඇඳුම් කිට් විසිපන්දාහක් විතර තියෙනවා යන්න පාටි නෑ වගේ. සිනමාවට විතරක් නෙවෙයි වේදිකාවටත් මේ දේ මයි වුණේ. සමහර නිර්මාණ හොඳ නොවෙන්න පුළුවන්. සමහර ඒවා හොඳයි. ඒ නිසා කොටසක් අල්ලගෙන ගියා ඒකත්.


 


හැබැයි ටෙලි නාට්‍යවලට ඒ දේ සිදු වුණේ නැහැ?


ඒක ඉතින් පටිපණු රෝගෙ වගේ පුරුක් ගලවන්න ගලවන්න වැවෙන එකක්නේ. (සිනාසෙයි. මටද සිනහ යන්නේ නිතැතිනි) මමත් ඉතින් ප්‍රතිපත්ති පැත්තක තියලා එකකට ගියා මොකද රැකෙන්නත් එපැයි මේ වෙලාවේ. මෙච්චර අහේනියක් වෙච්ච වෙලාවේ වුණත් බිල් ටික ගෙවපං කියලා බලපෑමකුත් තියෙනවානේ.


 


රංගනය පිළිබඳ ගුරුවරයකු වන මහේන්ද්‍ර පෙරේරා කියන ශිල්පියා රංගනය අර්ථදක්වන්නේ කොහොමද?


ඇත්තටම ආචාර්ය සාලමන් ෆොන්සේකා ගාවට ගියාට පස්සේ තමයි මගේ ඇස්දෙක ඇරුණේ මේ තරම් මංමාවත් රැසක් රංගනය කියන ශිල්පයේ තිබෙනවා ඒවා පොඩ්ඩ පොඩ්ඩ හෝ හදාරලා තිබිය යුතුයි කියන කරුණ ගැන. ඊට පස්සේ තමයි ජර්මනිය, ෆින්ලන්තය, බෙල්ජියම සහ එංගලන්තය වැනි රටවලින් පැමිණි විදේශ ගුරුවරුන් යටතේ වැඩමුළුවලට සහභාගි වුණේ. ඒ එක්කම හෙලේනා ලෙහ්තිමතී සමඟ අපට අවුරුදු තුනක් කටයුතු කරමින් පුන්තිලා, ගිම්හානේ රැයක සිහිනයක් වගේ නිර්මාණවලට දායක වෙන්න ලැබුණා. ඒ හැදෑරීම තමයි මෙය විෂයයක් ලෙස සොයා යා යුත්තේ කෙසේද යන්නට මාව යොමු කළේ. එහෙම දිගු කාලයක් රංගනය කියන්නේ මොකක්ද කියලා හොයද්දි මම රඟපෑම පිළිබඳව කියැවූ ටෝනි බාර් නැමැත්තෙකුගේ ඇක්ටිං ‌ෆො ද කැමරා (ඒජබඪදඨ ටධප බඩඥ ඛ්චථඥපච - ඊධදර ඕචපප) කියන පොත තමයි හරියටම එය පැහැදිලි කළේ. මේ තමයි රඟපෑම කියන දේ පිළිබඳ මට ලැබුණු හොඳම විද්‍යාත්මක පදනම. නළුවෙකුගේ ඉරියවු ලස්සනයි, අවේගයන්වලින් පොහොසත්, ඉංගිතයන් හොඳීන් එනවා කියුවත් කොයිතරම් විධානයන් රැසක් යටතේ ද ඒ දේ ඒ නළුවා කරන්නෙ. අධ්‍යක්ෂවරයාගේ විධානයන් තිබෙනවා, කැමරා පොසිෂන් තිබෙනවා, ලයිට් කැපෙන්නෙ නැතිවෙන්න ඕනේ ඒ සියල්ල ඔළුවේ තියාගෙන කරද්දි එහි තාක්ෂණයක් තිබෙනවා. එය තමයි මෙහි හොඳීන් පැහැදිලි කර තිබෙන්නේ.