එස්. කේ. සිරිසේන වුණාට මම උපතිස්ස බාලසූරිය

Thursday, September 02, 2021 , 0 Comments

 



වසර ගණනාවක් රංගනයේ යෙදුණද ඇතැම් නළු නිළියන්ගේ හොඳ කාලය උදාවන්නේ නොසිතූ මොහොතකය. එය එලෙස සිදුවන්නේ යම් චරිතයක් ප්‍රේක්ෂකයන් අතර ඉහළ ජනාදරයට පාත්‍ර වූවායින් අනතුරුවය. ඉන් පසුව ඔහුට හෝ ඇයට දිගින් දිගටම රංගනය සඳහා ආරාධනා ලැබෙන්නට පටන් ගනියි. ඇතැම් නළු නිළියන් එක රැයින් ජනප්‍රිය වන අතර සමහරු රඟපාන්න ඇවිත් දශක ගණනාවක් යනතුරු වැඩිය ජනතාව අතරට නොයයි. එහෙත් කාගේ වුවද බඹරය වැල්ලේ කැරකෙන සමය උදා වෙයි. මා මේ සඳහන් කරන නළුවාගේ එම කාලය උදා වී ඇත්තේ දැන්ය. ගණන් හදා බැලූ කල ඔහු රංගනයට ඇවිත් අවුරුදු 50කට කිට්ටුය. එහෙත් ඔහු මෙතරම් ජනප්‍රියත්වයට පත්ව ඇති කාලයක් නම් තිබුණේ නැත. ඔහු නමින් උපතිස්ස බාලසූරියයි. ඔහුගේ රුව දුටු සැණින් ඔබට මතක් වන්නේ ඔහු නිරූපණය කළ චරිත දෙකකි. ඉන් පළමුවැන්න පරාක්‍රමය. ඒ ඇන්ඩ් කොම්පැනි නාට්‍යයේ ඔහු කළ දේශපාලන ප්‍රහසන චරිතයයි. එය එම නාට්‍යය විකාශය වන සමයේදී ප්‍රේක්ෂකයන්ට මතක හිටින චරිතයක් විය. එහෙත් මේ කාලය තරම් ඔහු ජනප්‍රියත්වයට පත් වූයේ නැත. උපතිස්සට වඩාත් ප්‍රේක්ෂකයෝ ආදරය කරන්නට පටන් ගත්තේ දැන්‍ ය. ඒ නාඩගම් කාරයෝ නාට්‍යයේ එස්. කේ. සිරිසේන නිසාය.


 


සුපුරුදු පරිදි ඔබටත් ආයුබොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා?


ආයුබෝවන් ආයුබෝවන්.




වර්තමානය ගැන කතා කරන්නට මත්තෙන් මට හිතෙනවා පොඩ්ඩක් පොලොන්නරුවේ පුලස්ති ගමේ මතකය හාරා අවුස්සන්නට?


මම ඉතින් ගමේ හැදුණු වැඩුණු කොල්ලෙක්නේ. ඔබ කිව්ව පොලොන්නරුව පුලස්තිගම තමයි මගේ ගම. ගමේ පන්සලෙන් තමයි මම මුලින්ම රංගනයට යොමු වුණේ. මං මේ කියන්නෙ1968-69 වර්ෂවල විතර. ඔය කාලේ රූපවාහිනියත් නැහැනේ. ගමේ පන්සල්වල නාඩගම් එහෙම තමයි තිබුණේ. අපේ පන්සලේ නම ශාන්ති නිකේතනාරාමය. මම ඉගෙන ගත්තේ අභයපුර මහා විදුහලින්. පොලොන්නරුවේ ගමේ පන්සලේ වැලිමළුවේ තමයි ඉස්ඉස්සෙල්ලාම මම නළුවෙක් විදිහට කල එළියට ආවේ.


 


එතකොට ඔබ ප්‍රසිද්ධ වේදිකාවට එන්නේ?


ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා මට ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට එන්න අවස්ථාව උදාවනවා. එතකොට අපි ගම්පහට පදිංචියට ආවා. ආසාව තිබුණෙම රඟපාන්නම තමයි. කොහොම කොහොම හරි මට විශ්වවිද්‍යාලයට යන්නත් අවස්ථාව උදා වුණා. ඒ කාලේ බාහිර ක්‍රියාකාරකමක් විදියට මම වේදිකා නාට්‍ය සඳහා සම්බන්ධ වුණා. ප්‍රසිද්ධ වේදිකාවට ආවෙ 1977 'වාරුවෙන් යන මිනිස්සු' කියන නාට්‍යයත් එක්ක. ඒ නාට්‍යය රඟපෑමට මට සම්මානයකුත් ලැබුණා. පසුකාලීනව සතිශ්චන්ද්‍ර එදිරිසිංහ, ජයන්ත චන්ද්‍රසිරි වගේ ප්‍රවීණ නාට්‍යකරුවන්ගේ නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව උදා වුණා.


රූපවාහිනියේ ආගමනයත් සමගම ටෙලි නාට්‍යවලටත් එකතු වුණා. 1983 විතර තරුණයෙක්ගේ කතාවක් කියලා ඒකාංගික නාට්‍යයක තමයි මම මුලින්ම රඟපෑවේ. එතකොට අපි කැම්පස් යනවා. දිගු නාට්‍යයක් විදියට මම මුලින්ම රඟපාන්නේ වෙදහාමිනේ නාට්‍යයේ. ජයන්ත මහත්මයාගේ නාට්‍යවල ගොඩක් චරිතවලට මාව ගත්තා. ඊට පස්සේ දඬුබස්නාමානය, දාමිණි ඇතුළු නාට්‍ය ගණනාවක එකිනෙකට වෙනස් චරිත මට රඟපාන්න හම්බුවුණා. කොමඩි නම් කොමඩි සීරියස් නම් සීරියස්, ඔය හැම චරිතයක්ම රඟපෑවා.


 


එතකොට ඔබව වඩාත් මිනිස්සු හඳුනගන්නෙ?


ඇන්ඩ් කොම්පැනි නාට්‍යයේ පරාක්‍රම කියන චරිතයෙන් තමයි මම වඩාත් මිනිස්සු අතරට ගියේ. ඒක ඉතින් වාර්තාමය වගේ නාට්‍යක්නේ.


 




දේශපාලන ප්‍රහසන නිර්මාණයක චරිතයක් වෙනුවෙන් කොහොමද ඒ කාලේ දේශපාලනඥයින්ගෙන් එහෙම ලැබුණු ප්‍රතිචාර?


ඇත්තටම එහෙම කියන්න තරම් ලොකු ප්‍රතිචාරයක් නම් ලැබිලා නැහැ. ඇතැම් විට ඔවුන් ඒක නරැඹුවේ නැතුව ඇති. කවුරුවත් තර්ජන ගර්ජන කරන්න ආවෙත් නැහැ.


එස්. කේ. සිරිසේන චරිතය ඔබේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්?


මේ වෙලාවේ මම තිදෙනෙක්ගෙ නම් මතක් කරනවා. එක්කෙනෙක් නාඩගම්කාරයෝ අධ්‍යක්ෂණය කරන ජයප්‍රකාශ් සිවගුරුනාදන්. අනෙක් කෙනා ඒක රූපවාහිනියට රචනා කරන සද්ධාමංගල සූරියබණ්ඩාර. ඒ නාට්‍යය කරන ප්‍රධාන අර්ථපති චාමර සමරවික්‍රම තමයි තෙවැනියා. මේ තුන්දෙනා මාර අභියෝගයක් බාර ගත්ත තුන්දෙනෙක්. මොකද මම එහෙම කියන්නේ, මේ කාලේ මෙගා නාට්‍යයක් කරනවා කියන එක ලෙහෙසි නැහැ. විශේෂයෙන්ම මේ ලොකේෂන් එක හොයාගෙන වගේ නිර්මාණයක් කරන්න තවත් අපහසුයි. මෙගාවලට මෙගා අභියෝගයක් මේ විදිහට මොවුන් මේ කරන්නෙ. ඇත්තටම නළුනිළියෝ විදිහට මේ නිර්මාණය අපි අගය කරන්න ඕනේ. මේ නාට්‍යය මඟින් සැඟවිච්ච නළු නිළියෝ රැසක් ප්‍රේක්ෂකයෝ අතරට ගියා. ඒ අතරේ මම ඉන්නවා. අවුරුදු පනහකට ආසන්න කාලයක් රංගනයේ යෙදුණත් මේ වගේ ජනප්‍රියත්වයක් මම කිසි කාලෙක ලබලා නෑ. මිනිස්සු අඳුරගත්තා. නමුත් ජනයාගේ ප්‍රිය තාවයට පත් වුණේ එස්. කේ. සිරිසේන නිසා. ඒ නම ගහල ඔබ වුණත් බලන්න ගූගල් සර්ච් කරලා, කොතරම් පින්තූර එනවද කියලා. ඉතින් පුදුමාකාර විදිහට ජනප්‍රියත්වයක් ලැබුවා. විශේෂයෙන් මම කියන දෙබස් අල්ලලා ෆේස්බුක් එකේ පෝස්ට් හැදුණා. ඒවා අපි දන්නෙත් නැති මිනිස්සු හදලා තිබුණේ. සමහරු අපිට ඇවිල්ල කියනවා අනේ මේ නාට්‍යය නම් තව කොටස් ගණනාවක් ගියත් කමක් නෑ අපි බලනවා කියලා. සාමාන්‍යයෙන් මෙගා නාට්‍යයක් කොටස් සීය පැන්නට පස්සේ ප්‍රේක්ෂකයන්ට එපා වෙනවා. ඒත් මේක එහෙම වුණේ නෑ. මේ නිර්මාණකරුවන් තුන්දෙනාම තමයි කෝටිපතියෝ, හාර කෝටිය වගේ ටෙලි නාට්‍ය නිර්මාණය කළේ. ඒවායෙත් මම රගපෑවා ඒ චරිතත් හොඳ ජනප්‍රියත්වයක් ලැබුවා. එස්. කේ. සිරිසේන තමයි වඩාත්ම මිනිස්සු අතරට ගිය චරිතය මම මෙච්චර කල් රඟපාපු චරිත අතරින්.


 


ඔබ වෘත්තීය නළුවෙක් නෙමෙයි?


ඔව්. මම දැව සංස්ථාවේ රැකියාවක් කළා. මම ක්ෂේත්‍රයට ආපු මුල් කාලේම තමයි මට ඒ පත්වීමත් ලැබුණේ. ඉතින් ලංකාවේ පවතින ආර්ථිකයත් එක්ක මට ජොබ් එක අතහරින්න හිතුණේ නැහැ. ඒත් රැකියාව කරන ගමන් හැකි පරිදි මම චරිත රංගනයේ යෙදුණා.


 


ඔබට බොහෝ චරිතය මඟ හැරුණා කියලා මට හිතෙනවා රැකියාවත් එක්ක?


ඒ කතාව සාධාරණයි. මොකද මටත් ඒක හිතිලා තියෙනවා. බොහෝ චරිත මගෙන් ගිලිහුණා කියලා මේ රැකියාවත් එක්ක. ඒත් රංගනය කියන එක ජීවිතේ ඕනෑම කාලෙක කරන්න පුළුවන් දෙයක්නෙ. ඒක නිසා මට හිතුණා ජොබ් එක දිගටම කරගෙන යන්න. ජොබ් එකෙන් ආර්ථිකය සවිමත් වෙනවා. දැන් මං විශ්‍රාමිකයි. ඉතින් දැන් පූර්ණකාලීනව නළුවෙක් විදිහට මම වැඩ කරනවා.


 


පෙම්වතාගේ චරිතය ඔබ රඟපාලා නැහැ නේද?


චරිතාංග නළුවකු විදිහට මම සෑහෙන්න වෙනස් චරිත කළා. නමුත් පෙම්වතාගේ චරිතය මට කරන්න කවදාවත් ලැබිලා නැහැ. ඒක ඉතින් මඟහැරුණා වෙන්නත් පුළුවන්.


 


සිනමාවට ඔබ වැඩි දායකත්වයක් ලබාදුන්නේ නැහැ කියලත් හිතෙනවා?


මම දන්නෑ ඒක කොහොමද වුණේ කියලා. සිනමාවට ලොකු ආරාධනා ප්‍රමාණයක් මට ලැබුණේ නැහැ. සිකුරු හතේ චිත්‍රපටයේ චරිතය තමයි ගොඩක්ම මිනිස්සුන්ට මතක සිනමාව පැත්තෙන් ගත්තොත්. ඊට අමතරව මම පොඩි පොඩි චරිත සමහර චිත්‍රපටවල කළා. එහෙම ඒ පොඩි චරිතය වුණත් ඒක මිනිස්සුන්ට මතකයි. මං හිතනවා ඒකත් එක අතකින් වාසනාවක් කියලා.


 


ඔබේ පවුලේ විස්තරත් කතා කළොත්?


මම විවාහකයි. මගේ නෝනා ශ්‍යාමා මට පුතාලා දෙන්නෙක් ඉන්නවා.මගේ වර්තමාන පදිංචිය යක්කල.


 


ප්‍රමුදිත දිසානායක