ඔහු ගැන විස්තර පස්සේ කියන්නම් - හිරුෂි වසුන්දරා

Thursday, September 02, 2021 , 0 Comments




දකුණු ලක මාතර ඉපිද සියනෑ පුරවරයට ඇගේ සම්ප්‍රාප්තිය සිදුවූයේ සිය මවගේ මහ ගෙදර එහි වූ බැවිනි. ගම්පහ රත්නාවලී බාලිකා මහා විදුහලේ ඉගෙනුම ලැබූ කාලයේ ඇය නිවේදන, කථික තරගවලින් ජය ගත්තාය. පසුව ඇයට සිරස රූපවාහිනියේ පුංචි පැංචි ළමා වැඩසටහනේ නිවේදිකාවක් ලෙසද එවකට කටයුතු කිරීමට අවස්ථාව උදා විය. පිරිපුන් යෞවනයට එළැඹි රූමත් කටකාර හැඩකාර ඇය දෙරණ රූපවාහිනියේ 2018 අවුරුදු කුමරිය ලෙස දෙවැනි ස්ථානය හිමිකර ගන්නීය. මේ දිනවල නැවත විකාශයක් සිදුවන දෙරණින්ම නිෂ්පාදනය කළ "පාවෙලා වලාකුළේ ඒවිද අම්මා" ටෙලි නාට්‍යයේ ඩොක්ටර් අනුරාධි ලෙස ලබාගත් ජනප්‍රියත්වය අදටත් එලෙසම රඳවා තබා ගැනීමට තරම් ඈ සමත්ව ඇත. එමෙන්ම මේ දිනවල ස්වර්ණවාහිනියෙන් රාත්‍රී 7.30ට විකාශනය වන 'ටීචර් අම්මා' ටෙලි නාට්‍යයේ "සයොනාරා ටීචර්" ලෙසින්ද බොහෝ දෙනාගේ ප්‍රසාදයට ගෞරවයට පවා පත්වී හමාරය.නිවේදිකාවක් රංගන ශිල්පිනියක් මෙන්ම ගුරුවරියක් ලෙසද කටයුතු කරන හිරුෂි වසුන්දරා නම් ඇය මෙලෙසින් ඇයෙග් විස්තර ගැන පුවත්පතක් සමඟින් පවසා තිබුනා. 



මේ දවස්වල ඔබ හරිම ජනප්‍රියයි නේද?


ඔව් අයියා.දෙරණින් නැවත විකාශනයක් සිදුවන පාවෙලා වලාකුළේ ඒවිද අම්මා ටෙලි නාට්‍යයේ ඩොක්ටර් අනුරාධි ලෙස ලැබු ජනප්‍රියත්වය එලෙසම තිබුණා. එය තවත් වැඩි දියුණු වුණාදෝ කියලා මට හිතෙනවා එය නැවත විකාශය මේ දවස්වල සිදුවන නිසා. ඒ වගේම තමා ටීචර් අම්මා ස්වර්ණවාහිනියෙන් සතියේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යයේ සයොනාරා ටීචර්ටත් ගොඩාක් හොඳ ප්‍රතිචාර දැන් ලැබෙමින් පවතිනවා. තවම ඒකේ ලොකු කොටස් ගණනක් ගියෙත් නෑ.


 


ඩොක්ටර් අනුරාධිගේ, සයොනාරා ටීචර්ගේ පෞද්ගලික විස්තර දැනගන්න කැමතියි.


මගේ නම හිරුෂි වසුන්දරා උයන්හේවා. මං ඉපදුණේ කුඩා අවධියේ හැදුණේ වැඩුණේ මාතර තාත්තගේ ගමේ. ඊට පස්සේ අපි අම්මගේ ගමට එනවා ගම්පහට. දැන් අපි ගම්පහ තමයි පදිංචි වෙලා ඉන්නේ. පවුලේ අම්මයි, තාත්තයි, අක්කයි, මල්ලිලා දෙන්නයි. තාත්තා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කරනවා. මල්ලිලා නම් තවම ඉගෙන ගන්නවා.


 


හිරුෂි පාසල් ගියේ?


මුලින්ම ගියේ මාතර ඌරුබොක්ක ජාතික පාසලට. එහිදි මං ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා පළමු වැනියා බවට පත්වුණා. ඉතින් මං ඊට පස්සේ කොළඹ පාසලකට එන්න ඉහළම ලකුණු ලබාගත්තා. පස්සේ කොළඹ පාසලකට නොයා අම්මගේ ගම වන ගම්පහට ඇවිත් ඒ මහගෙදර හිටියා. එතැනදි මං රත්නාවලි බාලිකා මහා විදුහලට ඇතුළත් වෙලා අවසානය දක්වාම අධ්‍යාපනය ලැබුවේ ඒ විදුහලින් තමයි.


 


ප්‍රථමයෙන් කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?


මේ කතාව මම මුලින්ම තමා මාධ්‍යයට කියන්නේ. රත්නාවලි විදුහලේ ඉගෙන ගන්න කාලේ ඒ ආසන්නයේ තිබුණු නර්ථන ඇකඩමියකට මගේ දෙමව්පියන් මාව නර්ථන පුහුණුව සඳහා ඇතුළත් කළා. එහි නර්ථනය පුහුණුවීම් කටයුතු කරගෙන යද්දි රාධා ටැලන්ට් ෆැක්ටරි ආයතනයෙන් ඒ ඇකඩමියේ හිටපු අයට පරීක්ෂණයක් පැවැත්වුවා. ඉතින් මමත් එයට පෙනි හිටියා. ඒකෙන් තමයි මට සිරස ඊ.ඍ. එකේ පුංචි පැංචි වැඩසටහනේ ළමා නිවේදිකාවක් වෙන්න ලැබුණේ. ඊට පස්සේ මම සිරස ගුවන් විදුලියේ නිවේදිකාවක් ලෙසත් කටයුතු කළා. ඔය අතරෙ මම සාමාන්‍ය පෙළ , උසස් පෙළ කරන කාලේ ඒ විභාග වෙනුවෙන් පූර්ණ කාලිනව අධ්‍යාපනය වෙනුවෙන්ම කාලය යෙදෙව්වා. ඒ විභාග කටයුතු නිසා මට කලාවෙන් ටික කාලයක් ඈත් වෙලා ඉන්න සිද්ධ වුණා. මොකද දෙමව්පියන්ගෙන් මට උපදෙස් ලැබුණා අධ්‍යාපනයට මුල් තැන දෙන්න කියලා. ඉතින් මං ඒ විදිහට කටයුතු කලා.


 


ඊට පස්සේ? පුවත්පතක දැන්වීමක් තිබුණා රංගනය සඳහා පිරිස් ‍තෝරා ගන්නවා කියලා. ඉතින් මාත් ඒකට දැම්මා. පස්සේ මට ඒකේ පරීක්ෂණයක් සඳහා ජාතික රූපවාහිනියට එන්න කියලා තිබුණා. මම ගිහින් ඒකට ඉදිරිපත් වුණා. එයින් තේරුණු මට ජාතික රූපවාහිනියේ ගිය රාවණා අඩවිය කියන රංජිත් අනුරාධ මහතාගේ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒක තමයි මගේ ප්‍රථම රංගනය. ඔය අතරේ මම දෙරණ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙනවා 2018 වසරේදී. ඒකෙන් පස්සේ මං දෙරණේ දිලූක ප්‍රසාද් ගුණතිලක මහතාගේ පෝය නාට්‍යවලට සම්බන්ධ වෙනවා. එතැන ඉඳලා දිගටම ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වුණා.


 


හිරුෂි දැන් වෘත්තිය රංගන ශිල්පිනියක්ද?


නැහැ මං විනෝදාංශයක් ලෙස තමයි රංගන කටයුතු කරන්නේ.


 


එතකොට ඔබේ වෘත්තිය කුමක්ද?


මම දැනට විවෘත විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ඉගෙනුම ලබනවා. අනාගතයේදී මං නීතිඥවරියක් ලෙස වෘත්තිමයව කටයුතු කරාවි.


 


කවදා වගේද හිරුෂි වසුන්දරා කියන නීතිඥවරිය කරළියට එන්නේ?


තව අවුරුදු දෙක තුනකින් විතර. මේ කොරෝනා ආව නිසා ඒ අධ්‍යාපන කටයුතු ටිකක් ආ පස්සට ගියා. එහෙම දෙයක් නොවුණා නම් මීටත් වඩා අඩු කාලයකින් නීතිඥවරියක් වෙලා මට එළියට එන්න තිබුණා.


 


අනාගතයේ අපිට හිරුෂි වසුන්දරා කියන කලාකාරිනිය යටපත් වී නීතිඥවරිය ඉස්මතු වෙයිද?


වෘත්තිමයව නීතිඥවරියක් ලෙස කටයුතු කරන නිසා දිගටම නිර්මාණවලින් නම් මාව දකින්න නොලැබේවි. එක දිගටම ප්‍රේක්ෂකයන්ට මාව දකිනකොටත් එපා වෙලා අගයක් නැති වෙනවනේ. එනිසා ඉඳහිට දකින එක හොඳයි.මෙතෙක් මාව නිර්මාණ තුළින් හමුවුණෙත් එහෙමයි. පාවෙලා වලාකුළේ ටෙලි නාට්‍යයෙන් අවුරුද්දකට එක හමාරකට පස්සේ වගේ තමයි දැන් මේ ටීචර් අම්මා ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ.


 


හිරුෂිගේ උපන් දිනය වයස කියන්න කැමතිද?


වයස අවුරුදු විසි හයයි. උපන් දිනය කිව්වොත් 1995.06.29 වෙනිදා.


 


තාමත් ඔයා අම්මට කියලා බත් කවාගන්නවා කියන්නේ ඇත්තද?


නෑ. අම්මට කියලා මම බත් කවා ගන්නවා නෙවෙයි ඇත්තටම අම්මා මට කවනවා. අම්මා තාත්තා තාමත් ගොඩක් ආදරෙයි මට.


 


හිරුෂිට බාල මල්ලිලා දෙන්නෙක්නේ ඉන්නේ. ඉතින් ඒ අයට ලැබෙන්න ඕනේ ආදරය ඔයා දෙමව්පියන්ගෙන් උදුරගෙන නේද ඔය බත් කවා ගන්නේ?


එහෙම නෑ. මටත් මල්ලිලා දෙන්නටත් පවුලේ ඔක්කොටම මගේ අම්මයි තාත්තයි ගොඩාක් ආදරෙයි. අපි හැමෝමත් එහෙමයි. අපේ දෙමව්පියන්ටත් ඒ වගේ අපි හැමෝමත් ගොඩක් ආදරෙයි. සමගියෙන් සමාදානයෙන් තමයි අපි හැමෝම පවුලක් විදිහට එකට ජීවත් වෙන්නේ.


 


දැන් ඔයා බත් කවා ගන්න අම්මට වද දුන්නා ඇතිනේ. ඒකටත් එක්ක හිරුෂිට කෙනෙක් හොයාගත්තොත් නරකද?


එහෙම කෙනෙක් ඉන්නවා.


 


එහෙනම් අපිට ඔහු ගැන විස්තර කියමු බලන්න?


මං ඒ ගැන විස්තර  පස්සෙ කියන්නම්.


 


ඔයාලා දෙන්නාගේ විවාහය සිදු වෙන්නේ කවද්ද?


මම හිතනවා ඒවා දැන්ම මාධ්‍යයට කියන්න ඕනේ නෑ කියලා නේද .


 


හිරුෂි ගුරුවරියක් ලෙසත් වැඩ කරනවා නේද?


මම පරිගණක පිළිබඳව අධ්‍යාපනය ලැබූ ආයතනයේම ගුරුවරියක් ලෙස දැන් වසර ගණනාවකම සිට ළමයින්ට උගන්වනවා. මම සල්ලි බලාගෙනම නොවෙයි මේ වැඩේ කරන්නේ, ස්වේච්ඡා සේවයක් ලෙස සලකලා. ඒ වගේම අධ්‍යාපනය ලැබිමට අසීරුතා ඇති දුෂ්කර පළාත්වල ළමයින්ට පොත්පත් අධ්‍යාපන උපකරණ පරිත්‍යාග ලෙස ලබාදීමේ ප්‍රජා සත්කාරක වැඩසටහන් වසර කිහිපයක සිටම අපේ පරිගණක ආයතනය මඟින් සිදු කළා. මේ සැරේ රටේ කොරෝනා දැඩි බලපෑමක් ඇතිකළ නිසාත්, දිවයින පුරා ශීඝ්‍රයෙන් එය මතුවුණු නිසාත් ඒ වැඩසටහන කරන්නත් අපිට බැරිව ගියා.


 


මෙලෙස ඔබ ගුරුවරියක් ලෙස කටයුතු කරන නිසාත් මේ දවස්වල යන ටීචර් අම්මා ටෙලි නාට්‍යයේ ඔබේ චරිතයටත් මනා පි‍ටුවහලක් වෙන්නැති.


අනිවාර්යනේම එහෙම දෙයකුත් තිබුණා.




ටීචර් අම්මා ටෙලි නාටඩ්යේ ඔබේ චරිතය ගැන කිව්වොත් ?


 


සයොනාරා ටීචර් තමයි චරිතයේ නම. ඇත්තටම මං නිර්මාණ ‍තෝරා බේරාගෙන හොඳ මට්ටමේ මට ගැළපෙන එකක් නම් විතරයි මං ඒ චරිතය කරන්න භාර ගන්නේ. මේ ටෙලි නාට්‍යයේ ඒ චරිතයට අදාළ සම්පූර්ණ පිටපත මගේ අතට ලැබුණා. මං ඒක හොඳීන් කියවා බලා අධ්‍යයනය කරලා මට සුදුසු ගැළපෙන බව හොඳීන් අවබෝධයක් ඇති වුණ නිසා තමයි ඊට දායක වුණේ. ඉතින් ඒ චරිතය ගැන කිව්වොත් සයොනාරා ටීචර් කියන්නේ කොළඹ ඉඳලා හොඳට සැපට හැදුණු කෙනෙක්. එයාගේ මුල්ම ගුරු පත්වීම දුෂ්කර පළාතක පාසලකට ලැබෙනවා. ඉතින් ඒ පත්වීම භාරගෙන ඒ ග්‍රාමීය දුෂ්කර පරිසරයේ අවම පහසුකම් සහිත දුෂ්කරතා ‍රැසක් මැද ආර්ථික අග හිඟතා පිරි ඒ ගමේ දුප්පත් ළමයින් වෙනුවෙන් ඉගැන්වීමම පමණක් සිදු නොකර එතැනින් එහාටත් ගිහින් හැම පැත්තෙන්ම ළමයින් වෙනුවෙන් කළ හැකි හැම දෙයක්ම තමන්ට හැකි උපරිමයෙන් සිදු කිරීම එතැනදි සිදු වෙනවා. සමාජයෙන් එයට බොහෝ බාධක එනවා. ඒත් හොඳ දේවල් පමණක් කරන නිසා සයොනාරා ටීචර්ට ආදරය ගෞරවය දක්වන අයත් යම් පිරිසක් ඒ ගමේ ඉන්නවා.


ටීච(ර්) අම්මා ටෙලි නාට්‍යයේ චරිතයේ එක අවස්ථාවක් තියෙනවා සයොනාරා ටීච(ර්) තමන්ගේ කනේ සහ කරේ දාගෙන ඉන්න කරාබු දෙකයි මාලෙයි ගලවලා දෙනවා. දුප්පත් ළමයෙක්ගේ පවුලක සින්න වෙන්න යන නිවසක් වෙනුවෙන් අදාළ පොලී මුදලාලිට ඒ මුදල ඒ අයට ගෙවා ගන්න බැරිව ඒ නිවස සින්න වෙන්න යන එකට හිලවු වෙන්න.


 


සැබෑ ජීවිතයේදීත් හිරුෂි එහෙම දේවල් කරලා තියෙනවාද ?


සැබෑ ජීවිතයේදී නම් එහෙම දේවල් කරලා නෑ.


 


අපි හිතමු හිරුෂිට සැබෑ ජීවිතයේදී එහෙම දෙයක් කරන්න සිද්ධ වුණා කියලා?


බලමු එහෙම දෙයක් වුණොත් කරන්න බැරි කමකුත් නෑ.


 


පාවෙලා වලාකුලේ ටෙලි නාට්‍යයෙන් පස්සේ දෙරණ නාළිකාවේ ටෙලි නාට්‍යයකට ඔබට ඇරයුම් ලැබුණේ නැද්ද?


දෙරණේම ටෙලි නාට්‍යක ගුරුතුමියකගේ චරිතයට මට කලින්ම ආරාධනා ලැබිලා තිබුණා. ඒත් කතා ගර්භය හෝ පිටපත ගැන පැහැදිළි කිරීමක් නොලැබීමත් , විශේෂත්වයක් නොදැනීමත් නිසා මං ඒ චරිතය ප්‍රතික්ෂේප කළා.


 


අවසාන වශයෙන් හිරුෂිට කියන්න යමක් ඇති නේද?


ඉදිරියේදිත් වඩාත් හොඳ නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයින් අතරට එන්න බලාපොරොත්තු වෙනවා. මගේ මේ කලා වැඩවලදි මගේ පවුලේ අම්මා, තාත්තා ඇතුළු පවුලේ අය සහ අනෙකුත් සියලු දෙනාමත් ලොකු සහයෝගය ලබා දෙනවා.මේ අයුරින් මා හට කතා කල සරසවිය පුවත්පතටත්, ඔබටත්, ප්‍රේක්ෂක ජනතාවටත් ගොඩාක් ස්තූතියි. දැන් පවතින මේ කොරෝනා වසංගත තත්ත්වය අපේ රටිනුත් මේ ලෝකයෙනුත් තුරන් වෙලා ගිහින් සියලු දෙනාම එයින් ආරක්ෂා කරදෙමින් සතුට සැනසුම පිරි කාලයක් සැමට උදාවෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.


 


හේමන්ත බංඩාර