අද ගොඩක් අයට රඟපෑමට එන්න තිබෙන එකම සුදුසුකම ටික් ටොක් කරන එක - ශිරෝෂි රොමෙශිකා

Tuesday, September 07, 2021 , 0 Comments

 




තමන් රඟපෑ පළමු චිත්‍රපටයෙන්ම රසික සිත් ආකර්ෂණය කර ගන්නට ලැබීම රංගන ශිල්පියෙක් හෝ රංගන ශිල්පිනියකට ලැබෙන මහඟු වාසනාවක්. ඩාන්සින් ස්ටාර් චිත්‍රපටියෙන් ඒ වාසනාව ශිරෝෂි රොමෙශිකාට ලැබෙනවා විතරක් නෙමෙයි ප්‍රවීණ සිනමාවේදින්ගේ පැසසුමට ලක් වෙනවා. නමුත් ඉන්පසු ඇයව අපට දකින්න ලැබෙන්නේ රූපවාහිනි තිරයෙන්. ඉන්පසු වසර කීපයක් ඇ දකින්නට ලැබෙන්නේ නැතිව ඉඳලා ආයෙමත් අරූ දකින්නට ලැබෙනවා. ශිරෝෂි රොමේෂිකා ආයෙමත් ඇවිදින්.


ඩාන්සින් ස්ටර් තිරගත වීමත් සමගම එක් රැයකින් ජනප්‍රිය වුණු තරුවක් විදියට කාලයක්  ක්ෂේත්‍රයෙන් අයින් වෙලා නැවත රඟපාන්න ආවට පස්සේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණේ මොන වගේ පිළිගැනීමක්ද?


මම හිතුවේ රසිකයන්ට මාව අමතක වෙලා ඇති කියලා. අරලිය ටෙලි නාට්‍යය තුළින් ඩාන්සින් ස්ටාර් චිත්‍රපටය තරමට මම රසික ආදරය පිළිගැනීම විඳපු කෙනෙක්. ඉතින් ඒ පිළිගැනීම ආයෙමත් ලැබුණා මට  බස් එකේ ඉස්කෝලේ ටෙලි නාට්‍යයෙන්. මාව ගොඩක් අයට මතක තිබුණා වගේම අමතක වෙලා හිටිය අයත් හිටියා. මගේ දුව නිසයි මං කාලයක් ක්ෂේත්‍රයෙන් අත් වෙලා හිටියේ. කොහොමහරි ආයේ රඟපාන්න එනකොට නම් චකිතයක් දැනුණා. මට රඟපාන්න බැරිවෙයිද? දෙබස් කියන්න පුළුවන් වෙයිද කියලා. ඒත් එහෙම අපහසුවක් දැනුනේ නැහැ කැමරාව ඉදිරියට ගියාම.


මේ වෙනකොට අලුත් නිර්මාණවලට ආරාධනා ලැබිල තියෙනවද?


ඔව්. නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. මේ කොවිඩ් තත්වය සමනය වුණාම ඒවායේ රූගත කිරීම් පටන් ගනියි. 


අවුරුදු කිහිපයකින් පස්සෙ නැවත රඟපාන්න එදිත් ශිරෝෂිව ප්‍රේක්ෂකයන් බොහොමයකට මතක තිබුණා කිව්වනේ. එදාට සාපේක්ෂව අද නිර්මාණ බිහිවීමේ ප්‍රතිශතය වැඩියි. විශේෂයෙන් ටෙලි නාට්‍යය. ඒ බිහිවෙන ටෙලිනාට්‍ය වගේ දෙතුන් ගුණයකින් නළු නිළියෝ ඉන්නවා. නමුත් සතියේ දින පහම දැක්කත් ඔවුන්ට බොහෝ  දෙනාට මතකයේ රැඳෙන්නේ නැති තරම්. එහෙම වෙන්න හේතුව ඔබ දකින්නේ කොහොමද?


මෙහෙමයි එක එක චැනල්වලින් තමයි කට්ටිය උලුප්පලා ගන්නේ. මමත් එහෙමයි. මමත් ආවෙ සිරස ටීවී එකෙන්. නමුත් මට යමක් කරන්න වාසනාව තිබුණා. ටෙලි නාට්‍ය දෙකකට පස්සෙ මට ඩාන්සින් ස්ටර් ලැබුණත් ඒ කාලේ මගේ උසට, මගේ රූපය තිබුණු වෙන කවුරුත් හිටියේ නැහැ. ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. කාලය එක්කම ප්‍රමාණයෙන් අඩු වුණත් ප්‍රේක්ෂක මතකයේ රැඳෙන නිර්මාණ මට ලැබුණා. අදත් අලුත්  අය එනවා. හැම චැනල් එකකින්ම දක්ෂතා ඇති අය ඉන්නවා. ඒ අය අතරේ ඒ වගේම සමහර නිර්මාණවලට අලුත් අයව ගන දතාවලට වඩා ගෙවන ගාණ අඩු කරගන්න සහ එයාලට ඕන ඕන විදියට හසුරවන්න පුළුවන් කියන චේතනාවෙන්. රඟපානවා කියන්නේ නිකන් දෙබස් කියන එක නෙමෙයි. පේළියෙන් පේළිය කියන එක නෙමෙයි රඟපෑම කියන්නේ . අපි ජීවත් වෙන සමාජය පිළිබඳව වගේම ඒ සමාජය තුළ ජීවත් වන මිනිසුන් පිළිබඳ හොඳ කියවීමක් තියෙන්න ඕනේ. ඒ කියවීම තුළින් ලැබෙන අත්දැකීම තමයි චරිතයක් හොඳින් කරන්න හේතු වෙන්නේ. ඒ අත්දැකීම නැතිව රඟපාන අයවයි මතකයේ රැඳෙන්නේ නැත.



ඩාන්සින් ස්ටර් චිත්‍රපටයේ ඔබේ රඟපෑම් දකින සිංහල සිනමාවේ නිළි රැජන මාලිනී ෆොන්සේකා ප්‍රසිද්ධියේම කියලා තිබුණා මගෙන් පස්සෙ කෙනෙක් සිනමාවට ඇවිල්ලා කියල ඒ ගැන මතක් කළොත්?


ඔව්. ප්‍රවීණ මාධ්‍යවේදිනියක් වන මනෝහාරී හේවාවසම් අක්කා එක්ක ප්‍රසිද්ධියේ එහෙම කියලා තිබුණා. මාලනී ෆොන්සේකා මහත්මිය කියන දැවැන්ත රංගවේදිනියගෙන් අහන්න ලැබුණු ඒ වචන ටිකම මට නම් මගේ ජීවිතයේ ලැබුණු සම්මානයක්. ඒ අතින් මම වාසනාවන්තයි. නමුත් මට සිනමාව මඟ හැරුණා.



ඒ මඟහැරුණු තැනින් නැවත පටන් ගන්න කැමතිද?



ඔව්. මට ගැළපෙන චරිතයක් ලැබුණොත් බොහොම කැමැත්තෙන් ආයෙමත් සිනමාවට යනවා.



ශිරෝෂිට අන්වර්ථ නාමයක් හැදුණා. සිංහල සිනමාවේ බිපාෂා බාසු යනුවෙන්. 90 දශකයේ ශෂී විජේන්ද්‍ර, දිල්ශානි ඒකනායක ඇතුළු ජනප්‍රිය තරු කීප දෙනෙක්ටම ඔය වගේ අන්වර්ථ නාම හැදුණා. ඉන්දියාවේ චිත්‍රපටි හා අපේ චිත්‍රපට සංසන්දනය කළ ප්‍රේක්ෂකයා එක කාලෙක සිංහල චිත්‍රපටිවලින් අරූත් වෙනවා. සිනමාවේ තරුවක් වුණ ඔබ අපේ සිනමාව ගැන දකින්නේ කොහොමද?


ඔව්. මාව එහෙම හඳුන්වපු කාලයක් තිබුණා. නමුත් මං විශ්වාස කරන දේ දිල්හානි  අක්කලාගෙ කාලේ තරම් තරු සංකල්පය අපේ කාලේ තිබුණේ නැහැ. ඊට පස්සේ ඒක නැත්තටම නැති වුණා. මං දැකපු සමහර චිත්‍රපට තිබ්බා වෙන ඉන්දියානු චිත්‍රපටි කොටස් අරගෙන එඩිට් කරලා ඔබ්බවපු. ඒ බොරුව ප්‍රේක්ෂකයා ප්‍රතික්ෂේප කළා. අඩු මුදලට බාල  චිත්‍රපටි නිර්මාණය වුණා. ඒකයි එහෙම වෙන්න ඇත්තෙ. නමුත් දැන් ආයෙමත් හොඳ නිර්මාණ බිහිවෙනවා. රූපමය තත්වය උසස් මට්ටමකින් තියෙන ලස්සන වාණිජ චිත්‍රපට පසුගිය කාලේ ආවා. බොලිවුඩ්, කොලිවුඩ් තරමටම ලස්සන නිර්මාණ බිහිවුණා. පත්තිනි  කියන්නෙත් ඒ වගේ චිත්‍රපටයක්.


ඔයාට පසු පරම්පරාවේ සිනමාවට පැමිණි අයගේ ශිරෝෂි වැඩියෙන්ම ආකර්ෂණය වුණු නිළිය කවුද?

රශ් චිත්‍රපටියේ රඟපෑව අසංකිට.


ලැබෙන ඕනෑම චරිතයක් රඟපානවද?


මම ගැළපෙන, මට කරන්න පුළුවන් සහ යමක් කරන්න තියෙන චරිත රඟපානවා.


වර්තමානයේ රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ දක්ෂතාවට ද හැදුනුම්කමටද?


අද නම් ගොඩාක් ලැබෙන්නේ හැඳුනුම්කමට. දක්ෂකමක් නැතත් ෂුට් එකේදී දෙබස් පේළියෙන් පේළියට කැටි කර කර හරි දායි. අද ගොඩක් අයට රඟපාන්න එන්න තියෙන සුදුසුකම ටික් ටොක්වලට පෙනී සිටීම. ඒක මං අනුමත කරන දෙයක් නෙමෙයි. සිංදුවකට, දෙබසකට කට හොල්ලලා ටික් ටොක් කරන්න, මගේ දුවත් පොඩිකමට එහෙම සිංදුවකට දෙබස්වලට කට හොල්ලනවා. ඒත් රඟපෑම කියන්නේ ඊට වඩා උසස් තැනක තියෙන දෙයක්. ඒකට ඉගෙන ගන්න ඕන්නේ රංගන පාසලකට ගිහින් නෙමේ. සමාජයේ ජීවත් වෙන විවිධ වූ මිනිසුන් ගෙන අධ්‍යනය කරන්න ඕන්නේ. ටිරොක් කියවීම නෙමෙයි සමාජය කියවීමයි තියෙන්න ඕනේ.


දුව කවදහරි තාත්තා වගේ සින්දු කියයිද අම්මා වගේ රඟපායිද?


අපේ දුව මරීසා අමාෂි පෙරේරා. දැන් අවුරුදු හතරයි වයස. එයා දවසක ඔය දෙකම කරයි කියලා හිතෙනවා. ඒත් වැඩියෙන් කැමැති නර්තනයට. සිංදුවක් ඇහුනොත් නටයි ඕන වෙලාවක.




බුද්ධිනි ජයවර්ධන