ආක්ෂා වගේ තවම මම ආදරයකට සූදානම් නෑ - රොෂෙල් රොජස්

Wednesday, September 08, 2021 , 0 Comments





රූපවාහිනි අවුරුදු කුමරිය තුළින් කලා ලෝකෙට පෑයූ නවක තාරකාවියක් වන ඇය සුපර්ණකා හා ආක්ෂා යන චරිත ද්විත්වය තුළින් රසික හදවත් වශී කරගන්න සමත් වූණා. පුංචි තිරයේ ආක්ෂා තරම්ම සැබෑ ජීවිතයේදීත් කටකාර, දඟකාර, සුරූපී තරුණියක් වන ඇය නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනි නෙත්මි රොෂෙල් රොජස්. ඇය අලුත් විස්තර ගැන ෙමලස පුවත්පතක් සමඟින් පවසා තිබුනා..


කොහොමද ජිවිතය?

හොඳින් ඉන්නවා. ඒත් ඉතින් රටේ පවතින තත්ත්වයත් එක්ක සෞඛ්‍යාරක්ෂිතව කරන වැඩ ටික කරගෙන යනවා.


පසුගියදා සිදුකළ අලුත් වැඩේ ගැන මුලින්ම කියලා ඉමු?


ඔව්. පසුගියදා දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ අපි අලුත් ගීතයක් රිලිස් කළා. ඇත්තට එයට මේ වන විට විශාල වශයෙන් ප්‍රතිචාර ලැබෙනවා.


රොෂෙල් අවුරුදු කුමරිය වීම පිටුපසත් හරි අපූරු දෙවෝපගත කතාවක් තිබෙනවා. ඒ ගැනත් කියමු?


ඔව්. ඇත්තටම අයැදුම්පත් දැම්මේ අපේ නංගි. ලොකුම ආසාව තිබ්බේ අපේ අම්මට. ඒත් තාත්තාගෙන් අවසර හිමි වුණේ නැහැ. ඇත්තටම 2019 අවුරුදු කුමරියට අයැදුම් කළේ අවසාන දින රාත්‍රියේදි තමයි. එතකොට මට අවුරුදු 19 ඉවරයි. ඒ වෙනකොට මමත් කැම්පසුත් යන නිසා අන්තිමට තාත්තාගෙ කැමැත්ත ලැබුණා. එවිට අපිට කල්මදි වුණු නිසා අපි මේල් එකකින් තමයි අයැදුම් කළේ. කොහොම හරි අවසාන දවසේ අවසාන මොහොතේ රාත්‍රියේදි අයැදුම් කළත් 2019 ජාතික රූපවාහිනි අවුරුදු කුමරිය වෙන්න මට හැකිවුණා. ඒ වගේත්ම ගමේ අයත් මට අවුරුදු 16 වුණු වෙලේ ඉඳන්ම කියනවා ඔයාගෙ

කොන්ඩෙ දිගයි, ඔයා ලස්සනයි අවුරුදු කුමරියට දාන්න දිනන්න පුළුවන් කියලත්.


දෙවෙනි ඉනිම ඔබගේ පළමු රංගනයද?


නැහැ. දෙවෙනි ඉනිම මගෙ තුන්වැනි ටෙලි නාට්‍යය. පළමුවැනි එක සිරස සක්කාරං ටෙලි නාට්‍යය. දෙවැන්න රාවණහි සුපර්ණකාගෙ චරිතය. තුන්වැන්න තමයි දෙවෙනි ඉනිම ආක්ෂා. ඒ චරිතයට ආරාධනා කළේ අධ්‍යක්ෂක තුමා වන සාරංග මෙන්දිස් සහ අයියගෙ වයිෆ් චාමිකා මෙන්ඩිස් අක්කා. ඔඩිෂන් ගිය දවසට පහුවදාම මම ෂුටින්වලටත් සම්බන්ධ වුණා.


දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ආක්ෂාට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?


දෙවෙනි ඉනිමට මම සම්බන්ධ වෙලා මේ නොවැම්බර්වලට අවුරුදු 2ක්. එදා වගේම තාමත් එකවගේ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. රොෂෙල්ටත් වඩා මට හැමෝම කතා කරන්නේ ආක්ෂා කියලයි. රසිකයගෙන් නරක කමෙන්ට්ස් මට කවදාවත් ලැබිලා නැහැ. ගොඩක් අයගේ ආදරය ලැබෙනවා මට. ඒ ගැන හරිම සතුටුයි.



ආක්ෂාගේ චරිතය සැබෑ ජීවිතයේදී ඔබට ඉතාම සමීපයිලු නේද?


ඔව්. ආක්ෂා වන්ම රොෂෙලුත් ලොකුවට කට ගහගෙන ගියාට හරිම ඉක්මනින් දුක හිතෙන කෙනෙක්. නමුත් රොෂෙල්ට ආක්ෂාට තරම්ම කට නැහැ. මුලදි ආක්ෂා ටිකක් හිතුවක්කාර නපුරු කෙනෙක්. දැන් නම් එයා එහෙම නැහැ. ඒ ගති රොෂෙල් තුළ නම් නැහැ. ආක්ෂා කියන්නේ රොෂෙල්ම තමයි. ආක්ෂා මට හරි සමීපයි. ආක්ෂාට මම මෙතරම් ආදරේ කරන්නත් එය එක් හේතුවක්.


තිරය තුළ පෙම්වතියගේ චරිතයට පණ පොවන ඔබ සැබෑ ජීවිතයේත් පෙම්වතියක්ද?


ඇත්තටම පිරිමි පාර්ශ්වයෙන් හිමිවන ආකර්ෂණය නම් නොවැඩුවම ලැබෙනවා. මං නම් හිතන්නේ මං තාම එහෙම ආදරේකට සූදානම් නැහැ. මට තාම අවුරුදු 22යි. ඉතින් තාම ඒ පිළිබඳව තේරුමක් නැහැ. මට ඒ සඳහා තම අත්දැකීම් අවශ්‍යයි. දැනට අම්මා තාත්තාගේ ආදරය මට නොවැඩුව ලැබෙනවා. එනිසා හරිම කෙනා හරි වෙලාවට මා ළගට එයි කියලා හිතනවා.



අධ්‍යපන කටයුතු සහ රංගන කටයුතු සමබරව කරගෙන යන්නේ කෙසේද?


පාසල් කාලයේදීත් සියලුම බාහිර වැඩ කළා. ඒ වගේන්ම ඉගෙනීමේ කටයුතු අත්නොහැර හරියාකාරව කරපු කෙනෙක්. ඒ පුරුද්ද තාම මට තිබෙනවා. රංගනය සහ අධ්‍යාපන කටයුතු සමබරව කරගැනීමේ පුරුද්ද කුඩා කාලයේ ඉඳන් ආව දෙයක්.


ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොයි වගේද?


මෙතෙක් මට වැඩ කරපු හැම තැනදිම හමුවූ සෑම කෙනාගෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා. ඒ හැමකෙනාගෙන්ම යම් දෙයක් මා ඉගෙන ගත්තා. මම රංගනය ගැන ඉගෙන ගතේ ප්‍රවීණයන් දිහා බලලා.


කලාව තුළ ඉදිරියට යන ගමන්නේ රංගනය පිළිබඳ හැදෑරීම කියන දේ ඔබට කොතෙක්දුරට අදාළද?

මම අලුත් දේ ඉගෙන ගන්න ගොඩක් ආස කෙනෙක්. හැදෑරීම කියන දේ ප්‍රවීණයන් යටතේ පොතපතින් හදාරන්න ලැබෙනවා නම් වටිනවා. ඒ හැර සතත අභ්‍යාසය තුළින් මම යම් යම් දේ අත්හදා බලමින් අධ්‍යයනයේ යෙදීම දැනට මා සිදු කරනවා. ඉදිරියේදී රංගනය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනයට යොමුවීමට බලාපොරොත්තු වෙනවා.


අද වන විට ටෙලි නාට්‍යය කලාව තුළ දිර්ඝ ටෙලි නාට්‍යය කලාව සුවිශේෂී තැනක් අත්පත් කොටගෙන තිබෙනවා. ඒ ගැන ඔබගේ අදහස කුමක්ද?


මෙහෙමයි. දීර්ඝ කතා, කෙටි කතා කියලා කොටස් දෙකක් තිබෙනවානේ.  සක්කාරං කොටස් 120ක් පමණ විකාශනය වූවක්. ඉතින් මම ඒ දෙවර්ගයේම වරදක් දකින්නේ නැහැ. දෙවැනි ඉනිම දීර්ඝ නාට්‍යයක්නේ . ඉතාම ඉහළ රසික ප්‍රතිචාරයක් ලැබෙන නාට්‍යයක්. ගොඩක් වෙලාවට අපි දැන් රසිකයන්ගේ පවුලේ අය වගේ වෙලා. ගොඩක් වෙලාවට අපේ මේ නාට්‍යයේ තිබෙන සිදුවීම් එක්ක සැබෑ ජීවිත කතා සමඟ හරිම ළඟයි සහ සමීපයි. ඒකත් එක්ක රසිකයන් අපිව හරි ඉක්මනින් වැලඳ ගන්නවා.


නුදුරේදීම රොෂෙල් රිදී තිරයෙනුත් අපිට දකින්න ලැබෙනවාලු නේද?


ඔව්. මගේ පළමු චිත්‍රපටය ‘ආදරණීය ප්‍රාර්ථනා මේ අවුරුද්ද අගදි පෙන්වීමට නියමිතයි. එය වාසව බදුගේ අයියගේ අධ්‍යක්ෂණයක්. මගෙන් නොදැක්ක ගති ලක්ෂණයන් මෙහි පාරමී කියන මගේ චරිතය තුළින් දැක ගන්න ලැබේවි. ඇත්තටම පාරමි කියන්නේ ආක්ෂාගේ චරිතයට හාත්පසින්ම වෙනස් චරිතයක්. එනිසා මෙතෙක් මගෙන් නොදැක්ක  වෙනස්ම පැත්තක් ඒ තුළ තිබෙනවා. මේ චිත්‍රපටය මගේ ජීවිතයේ එක්තරා හැරවුම් ලක්ෂ්‍යයක් වේවි. ඇත්තටම එය ලස්සන වැඩක්. නුදුරේදීම එය රසිකයන්ට දැකබලා ගන්න ලැබේවි. ඉන් පෙර ෆිල්ම් දෙකකට ආරාධනා ලැබුණා. මම ටිකක් තෝරා බේරාගෙන තමයි වැඩ කරන්නේ. එනිසා ඒවාට සහභාගි වුණේ නැහැ. තව එක් චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා. කොරෝනා නිසා ඉදිරියේදි එහි වැඩ කොහොම සිදු වෙයිද දන්නේ නැහැ.



පවුලේ විස්තර මතක් කළොත්?


මගෙ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා, නංගි, මල්ලි සහ මගේ අවෑන් ආච්චි සහ බාප්පා. ඒ අයගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඊට අමතරව මට බවො පහයි, පූසා හයකුයි ඉන්නවා. මගේ පාසල බෝමිරිය ජාතික පාසල. දැනට මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යපනය හදාරනවා.