තරුණයන්ට වැඩ කරන්න මට තනතුරු අවශ්‍ය නෑ - ඉරාජ් වීරරත්න

Monday, September 06, 2021 , 0 Comments




මහරගම ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ධූරයක කටයුතු කරමින් සිටි ඉරාජ් වීරරත්න හදිසියේ ම එම ධූරයෙන් ඉල්ලා අස්වීම මේ දිනවල කාගෙත් කතා බහට පාදක වී ඇත. මේ කතාවේ සුල මුල  ඉරාජ් පුවත්පතක් සමඟින් ෙමලස පවසා තිබුනා. 

 


හදිසියේ ඉල්ලා අස්වෙන්න වුණේ ඇයි...?


"එතැන ඉන්නවාට වඩා මට සමාජ මාධ්‍ය හරහා විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්."


 

ඒ කියන්නේ තරුණ සේවා සභාවේ වැඩක් කෙරෙන්නේ නැද්ද...?


"එතන විශාල වැඩ කොටසක් මේ රටේ තරුණයන් වෙනුවෙන් ඉටු කෙරෙනවා. නමුත් කොවිඩ් තත්ත්වය නිසා වසර එකහමාරක විතර කාලයක් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අඛණ්ඩව පවත්වන්න බැරි වුණා. මාත් ඇතුළු ව අධ්‍යක්ෂවරු පහළොස් දෙනෙක් එතන වැඩ කළා. එයාලා ඉන්නවා. මම ඉවත් වුණා."


 

ඉවත් වුණේ කාගෙ හරි බලපෑමක් නිසා ද..?


"නෑ. කිසි ම බලපෑමක් වුණේ නෑ."


මේක ඔබේ මාර්කටින් වැඩක් ද...?*


"නෑ... එහෙම දෙයක් නෑ."


 

ඔබේ ඉල්ලා අස්වීම ගැන මාධ්‍යවල විවිධ කතා යනවා නේද...?


"ඒ කිසි කතාවක් ඇත්ත නෙවෙයි. මං ඉවත් වුණේ කාගෙවත් බලපෑමක් නිසා නෙවෙයි. සමාජ මාධ්‍යවලින් පතුරවන කතා අමූලික බොරු."


 

සමාජ මාධ්‍ය විශ්වාස කරන්න බැරි ද....?


"විශ්වාස කළ හැකි හා නොහැකි දෙවර්ගය ම සමාජ ජාලවල තියෙනවා."


 

ඔබට ප්‍රමාණවත් වැටුපක් තරුණ සේවා සභාවෙන් ලැබුණා ද....?


"මම තරුණ සේවා සභාවෙන් කිසිම වැටුපක් ලබා ගත්තේ නෑ."


 

වැටුපක් නොගෙන වැඩ කළා ද....?


"ඔව්. මට එතනින් වැටුපක් ගන්න ඕනෙකමක් තිබුණේ නැහැ."


 

මොනවා ද ඔබ එහි කළේ...?


"ලංකාව පුරා විසිරී සිටින නව නිර්මාණකරුවෝ එකතු කරලා, ඒ හැමෝට ම ලියාපදිංචි වෙන්න වෙබ් සයිට් එකක් හැදුවා. ඒකේ ලියාපදිංචි වෙන පිරිස අතරින් මූල්‍ය පහසුකම් අවශ්‍ය අය ව තෝරගෙන පෞද්ගලික ආයතන සමඟ සම්බන්ධ වෙලා ඒ අයට මූල්‍ය පහසුකම් සැලසීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. මේ වෙද්දි දාහකට වැඩි පිරිසක් ඒ සයිට් එකේ ලියාපදිංචි වෙලා ඉන්නවා."


 

ඔබගේ ඉල්ලා අස්වීම නිසා මේ වැඩපිළිවෙළ අඩාළ වෙනවා නේද...?


"කොහොමටත් ම නෑ. මම මේ වැඩේ පටන් ගත්තේ නවත්වන්න නෙවෙයි. මගේ තියෙන සමාජ ජාල සබඳතා මඟින් ඒ තරුණ පිරිස වෙනුවෙන් ලොකු සේවාවක් ඉටු කරන්න මට පුළුවන් වේවි."


 

තරුණ සේවා සභාවේ වැඩක් ඔබ පෞද්ගලික ව කරගෙන යෑම රාජ්‍ය විරෝධී නේද...?


"මේ ගැන මම ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමතිවරයා සමඟ හොඳින් කතා බහ කළා. එතුමා මේ වැඩේට සම්පූර්ණ සහාය ලබා දෙනවා. රටට, තරුණයන්ට වැඩ කරන්න මට තනතුරු අවශ්‍ය නැහැ. ඇමතිවරයාගේ පූර්ණ අනුමැතියත්, තරුණ සේවා සභාවේ සහායත් මට මේ සඳහා ලැබෙනවා."


"මූල්‍ය පිරිවැය රජයෙන් ගෙවනවා ද....."


"මූල්‍ය පිරිවැයක් මට අවශ්‍ය නෑ. මගේ එහෙම බලාපොරොත්තුවක් නෑ. අන්තර්ජාලය හරහා ලියාපදිංචි වන තරුණයන්ට මූල්‍ය පහසුකම් ලබා දීම සඳහා තෝරා ගැනීමක් සිදු කරනවා. ඒකට තරුණ සේවා සභාවේ කමිටුවක් ඉන්නවා. මුදල් ප්‍රතිපාදන ලබා දෙන ආයතන වෙන ම සම්බන්ධ වෙනවා. ඇත්තට ම තාක්ෂණය හරහා මේ සියල්ල එකිනෙකට සම්බන්ධ කිරීම මගේ ප්‍රධාන කාර්යය යි."


 

ඔබ මේවා කරන්නේ ඇයි...?


"මම ගොඩාක් තාක්ෂණයත් එක්ක ඉන්න කෙනෙක්. මගේ ඒ දැනුම, සම්බන්ධතා මේ වෙලාවේ මගේ රටට අවශ්‍යයි. තරුණ කටයුතු ඇමතිවරයා මේ ගැන හොඳ අවබෝධයකින් ඉන්නේ. නවීණ තාක්ෂණය යොදාගෙන විශාල වැඩ කොටසක් කරන්න එතුමාගේ ඉදිරි වැඩපිළිවෙළක් තියෙනවා. හැම අංශයක ම සැලකිය යුතු වෙනස්කම් රැසක් ඉදිරියේදී සිදු වේවි. හැම තැනක ම කාර්යක්ෂමතාව වැඩි දියුණු වේවි. වැඩ කරන පිරිසගේ කම්මැළිකම්, කාලය නාස්ති කිරීම් අඩු වෙලා යාවි. හැම ක්ෂේත්‍රයකට ම නවීණ තාක්ෂණය සම්බන්ධ වේවි. වසංගතය පාලනය වෙච්ච ගමන් ම ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේවි. මං ඒ වෙනුවෙන් එතුමාට සහාය දෙනවා."


 


එතකොට ඔබේ සංගීත වැඩ කටයුතුවලට මොකද වෙන්නේ...?


"ඒවා හොඳින් වෙනවා. දැන් මම නිදහස් කෙනෙක්. මට නිදහසේ ඒ වැඩ කරන්න පුළුවන්. මගේ අලුත් නිර්මාණ කිහිපයකට ම මම මේ දවස්වල සූදානම් වෙනවා. ඉදිරියේදිත් ඒ කටයුතුවලට බාධාවක් නෑ. මම හැමදෙයක් ගැන ම හිතන්නේ ධනාත්මක ව යි. අනිත් හැමෝමත් එහෙම හිතනවා නම් මේ රට ගොඩාක් දියුණු කරන්න පුළුවන්."


 

ඔබ පක්ෂ දේශපාලනයට සම්බන්ධ වෙනවා ද....?

"කොහොමටත් ම නෑ."