මම සුදු වුණේ ඉන්ජෙක්ෂන් ගහලා කියනවා නම් ඒක ඔප්පු කරලා පෙන්වන්න - පියුමි බොතේජු

Friday, August 06, 2021 , 0 Comments





පියුමි බොතේජු ජනප්‍රිය වගේම දක්‍ෂ රංගන ශිල්පිනියක්. ලැබෙන ඕනෑම චරිතයකට අපූරුවට පණ පොවන ඇය සිය තොරතුරු ගැන මෙලස පුවත්පතක් සමඟින් පවසා තිබුනා. 


පියුමිගේ රංගන ජීවිතයේ අලුත් වැඩ මොනවද?


ඉරේෂ් ලොකුබණ්ඩාර සහ සඳරුවන් ජයවික්‍රමගේ අලුත් නිර්මාණවල වැඩ කරගෙන යනවා.


ප්‍රහසන චරිතවලට වැඩිපුර කොටුවීම ඔයා ඔබටම කරගන්න හානියක් නෙවෙයිද?


අපේ ක්‍ෂේත්‍රය තුළ තියෙන වරදක් තමයි ප්‍රහසන චරිතයක් කළොත් දිගටම ගන්නේ ඒ වගේ චරිතවලට. මටත් එහෙමයි. දිගින් දිගටම ප්‍රහසන චරිත ලැබෙන කොට හොඳ චරිත ලැබෙන්න තියෙන අවස්ථාව නැතිවීම හානියක් තමයි. ඒත් සඳරුවන් ජයවික්‍රමගේ ටෙලි නාට්‍යයේ මම රඟපානෙ හාස්‍යයෙන් මිදුණු චරිතයක්. එක පැත්තකින් මම හිතනවා මට කොමඩි වගේම සිරියස් චරිතත් හැකියාව ලැබීම වාසනාවක් කියලා. මොකද මට කවදාවත් වැඩ නැතිවෙලා නැහැ. දෙයියනේ කියලා වැඩ තියෙනවා.



කලාකරුවෙක්ට මාධ්‍ය මොනතරම් වැදගත් දෙයක්ද?


අපි ගැන දැනගන්න කැමැති අපේ ආදරණීය රසිකයන්ට අපේ තොරතුරු දැනගන්න පුළුවන් වෙන්නේ මාධ්‍ය නිසා. ඉතින් ඇත්තටම කලාකාරයෙක්ට මාධ්‍ය කියන්නෙ ඉතාම වැදගත් දෙයක්.


වර්තමානයේ සමාජ මාධ්‍ය ජාලා තුළ බොහෝ විට අසත්‍ය තොරතුරු පළවෙනවා. එවැනි  දේට මුහුණදීලා තිබෙන ශිල්පිනියක් විදියට ඒ ගැන අදහස?


සමහරු වෙබ්සයිට්, යූටියුබ් චැනල් කරන කරන්නන් වාලේ කිසිම ප්‍රමිතියක් නැතිව. කවුරු හරි කියන පළියට ජනප්‍රිය අයගෙ කුණු හොය හොය ප්‍රචාරය කරනවා කීයක් හරි හොයා ගන්න. මාධ්‍යය කියන්නේ හරි උතුම් රස්සාවක්. නමුත් අද වෙනකොට සමහර පහත් වෙබ්සයිට්, යූ ටියුබ් චැනල් නිසා ඒ උතුම් බව නැතිවෙලා ආටිස්ලා ඉන්ටර්විව් එකක් දෙන්න දෙවරක් හිතන තැනට පත්වෙලා.


පියුමි හැම අවුරුද්දකම උපන් දිනය විශේෂ විධියට සමරන කෙනෙක්. මෙවර අගෝස්තුවෙ උපන් දිනයට මොනවද කරන්න හිතාගෙන ඉන්නේ?



 මං හැම අවුරුද්දෙම මගේ උපන් දිනයට පින් අතේ දෙයක් කරපු කෙනෙක්. මේ සැරෙත් ෙකරනවා. වෙනදාට නම් මම උපන් දිනය සැමරුවේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවොත් එක්ක. නමුත් මේ අවුරුද්දේ කොරෝනා තත්වය එක්ක මට එයාල එක්ක උපන් දිනය සමරන්න පුළුවන්කමක් නැහැ. මගේ තාත්තිත් අසනීපයෙන් ඉන්නෙ . ඉතින් ඒ වෙනුවෙන් වත්ම මගේ රටට, රටේ සියලු දෙනාට සහ මුළු ලෝකවාසීන්ටම සෙත් පතලා පත්තිනි මෑණියන්ට කිරිදානයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.


ඔයාට ජීවිතයේ ලැබුණු අමතක නොවන ආදරය කාගෙන්ද ලැබුණේ?


රංගන ජීවිතයෙන් එහා බැලුවම මමත් සාමාන්‍ය ගැහැනියක්. අම්මා, තාත්තාගේ ආදරය මගේම කියන අයගෙ ආදරය මට ලැබිලා තියෙනවා. එතැනින් මිදුණාම මට අමතක නොවන ආදරයක් ලැබුණෙ, අදටත් ලැබෙන මගේ රසිකයගෙන්. ඒ තරම් වටින දෙයක් මට වෙන නැහැ.


විවාහය කියන්නේ කාන්තාවකට අවශ්‍ය දෙයක්ද? එහෙමත් නැත්නම් අත්‍යවශ්‍ය දෙයක්ද?


විවාහය කියන්නේ කාන්තාවකට අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. කසාද බැඳලා ඇත්තටම සතුටින් සැනසීමෙන් ඉන්න අයට වඩා කසාදය පිඩනයක් වුණ කාන්තාවන් වැඩියි කියලයි මං දැකලා තියෙන්නේ. දරුවෝ නිසා එහෙමත් නැත්නම් පවුලෙ අයට ලැජ්ජ වෙයි කියලා විවාහය එල්ලගෙන යන කාන්තාවෝ අපේ සමාජයේ ඕන තරම්.


සමහර මවුපියෝ ඉන්නවා දරුවෝ කසාද බන්දලා දීලා ප්‍රශ්න දැක්කම කියන්නෙත් කසාද බැන්දනම් මොන දේ වුණත් වෙන් වෙන්න එපා කියලා. මං හිතන්නෙ නැහැ කිසිම කෙනෙක් විවාහ වෙන වෙන් වෙන්න බලාගෙන කියලා. ඒත් ඒ ජීවිතය තුළ සැනසීමක් නැත්නම් තියෙන්නෙම පීඩනයම විතරක් නම් වෙවෙන එක හොඳයි. එහෙම බලදී මං හිතන විවාහය කියන අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි.



ජනප්‍රිය ශිල්පිනියන්ගෙ රුව එඩිට් කරලා නිරුවත් වීඩියෝ දර්ශන සහ ඡායාරූප විධියට සංසරණය වීම අද වැඩි වශයෙන් දකින්න ලැබෙනවා. ඔබත් අඩුවැඩි වශයෙන් මුහුණ දුන් කෙනෙක් විධියට ඒ ක්‍රියාවන්ට විරුද්ධව පියවර ගැනීමට කටයුතු කරලා තියෙනවාද?


මෙහෙමයි ඔය වගේ දේකට විරුද්ධව දේවල් කරන්න කවුරුත් එකතු වෙන්නෙ නැහැ. මටත් ඔහොම දේවල් හැදුණා. නමුත් මගේ ගෙදර අය, මට ආදරය කරන අය ඒ මම නොවෙයි කියන එක දැනගෙන හිටියා. මම කවදාවත් ඒ වගේ තුට්ටු දෙකේ වැඩ කරන තැනකට පත්වෙන්නෙ නැහැ කියලා දන්නවා.


ඒ හින්දා ඒ කිසි කෙනෙක් මගෙන් ඒ ගැන ඇහුවෙවත් නැහැ. මං ඒ ගැන හිතන්නෙ

ෆොටෝස් එඩිට් කරලා දානවා. ඒවා බලන්න ආස අය ඒවා බලලා සතුටු වෙනවා. ඒවා හරිම පහත් වැඩ.


කෙනෙක් ජානවලින් අරන් එන ඒ වගේ කමකට නැති ගතිගුණ අපිට වෙනස් කරන්න බැහැ. හැබැයි මම නම් ඒවට නිකන් ඉන්නේ නැහැ. මම නීති මාර්ගයට යොමුවුණා. මට කරපු දේ කරලා ඉවර වුණාට මගෙන් පස්සේ කෙනෙක්ට එහෙම දෙයක් නොවෙන්න ඕ කියන චේනාව එක්ක මම ඒකට විරුද්ධව පියවර ගත්තා. 


මොකද මේ වගේ දේවල් නිසා හොඳට ඉන්න පවුල් පවා කැඩෙන තැනට පත්වෙනවා.

කලා ජීවිතයේ සමීපතමයන් කවුද?


නිරෝෂා විරාජිනී, ජයනි සේනානායක වගේම දර්ශන පෙරේරා (රූපලාවණ්‍ය ශිල්පී)

පියුමි මෙච්චර සුදු,  ඉත්තෙන් විදගෙන නිසා කියලා සමහරු කියනවා?


කිසිම දවසක මම ඉන්ජෙක්ෂන් එක පාවිච්චි කරලා නැහැ. එහෙම කියන අයට මං කියනවා ඒක ඔප්පු කරලා පෙන්නන්න කියලා. අනික මගේ අම්මව දකින කෙනෙක් මට ඔය දේ කියන්නෙ නැහැ. මං පුංචි කාලෙත් ගොඩක් සුදු කෙනෙක්. ඒක ලොකු වෙන කොට පාසලේ ක්‍රීඩා කටයුතුවලට ගොඩක් සහභාගි වුණ නිසා ටිකක් කළු වුණා. මම


විතරක් නෙවෙයි ඉස්කෝලෙ යන කාලෙට ඕන කෙනෙක් එහෙමයි. ඊට පස්සේ ආයෙ ඉතින් මගේ තිබුණ පාට ආයෙ ඉස්මතු වෙලා තියෙනවා. මම ක්ලීන් අප් එකක් එහෙම කරලා මගේ පෙනුම රැකගන්නවා. අනික ඉරෙන් එකට සුදු වුණාම හොයන්න පුළුවන්. මට තියෙන්නෙ එහෙම කෘත්‍රිම පැහැයක් නෙවෙයි.


ජීවිතයේ අමතක නොවනම අත්දැකීම් ලැබුණේ කාගෙන්ද? ඒ මොකක්ද?


මගේ ජීවිතයේ අමතක නොවනම අත්දැකීම තමයි මේ ඉන්න ගේ හදාගත්ත එක. පොඩි කාලෙ ඉඳලා අම්මා, තාත්තා, අයියලා තුන්දෙනා එක්ක ගෙවල් කීපෙකම කුලියට හිටියා. ඒ කාලෙ ඉඳලම මගේ තිබුණු හීනයක් තමයි ගෙයක් හදාගන්න එක. හම්බ කරන දේවල් කොහොම හරි ඉතුරු කරගෙන කැපවීමෙන් හරිම මහන්සියෙන් මං ලස්සන ගෙයක් හදාගත්තා. ඒක තමයි මං ලබපු අමතක නොවෙනම අත්දැකීම.


මේ වෙනකොට ආදරවන්තියක්ද?


නැතෝ.


ආදරය ගැන හැඟීම?


හිඳීවි කොතැනක හෝ හිමිකාරයා කියලා හිතාගෙන ඉන්නවා. මං ආදරය නිසා බැටකාපු කෙනෙක්. ඒ හින්දා මං කණාමැදිරි එළියටත් බයයි. මං කැමැති ආදරයට මං හෙව්වෙත් ආදරය. ඒත් මට නොලැබුණත් ඒකමයි.


ගැහැනියක් විධියට තවත් ගැහැනියකට දෙන්න කැමැති පණිවුඩය මොකක්ද?


ගැහැනිය කියන පුදුම හයියක් තියෙන කෙනෙක්. මහ පොළොවට සියල්ල දරාගන්න පුළුවන් වගේන්ම තමයි ගැහැනියටත් දරාගන්න බැරි දෙයක් නැහැ. හැම ගැහැනියක්ම එකට එකතු වුණොත් කරන්න බැරි දෙයක් නැහැ. ඒත් ගොඩක් වෙලාවට ගැහැනියට කෙනෙහිලිකම් කරන්නෙත් ගැහැනියමයි. එතැනදී මං හිතන්නේ ප්‍රතිරූපයක් නැති අය තමයි තවත් කෙනෙක්ගෙ ප්‍රතිරූපය විනාශ කරන්න හදන්නෙ. කිසිම කෙනෙක්ගෙ හව්හරණක් නැති වුණත් තමන් වෙනුවෙන් නැඟීසිටින්න ශක්තිය ගැහැනියකට තියෙනවා. මං ගැහැනියක් විදියට අනෙක් කාන්තාවන්ට කියන්නෙ තමන්ගෙ ශක්තිය හඳුනාගන්න කියලයි.