මගේ හැකියාවන් උපරිමයෙන් පෙන්නන්න අවස්ථාවක් ලැබුණේ නැහැ - නිලන්ති ඩයස්

Friday, August 06, 2021 , 0 Comments




නර්තනය ඇයගේ ඇටමිදුලු හා කොතෙක් බද්ධ වූ දෙයක්ද කිවතොත් නර්තන වේදිකාව තුළ ඇය ගිනි සිළුවකි.  පිටි කොටපන් නෝනේ ගීතයෙන් දුටු එකී හුරුබුහුටි, අලුත් මුහුණ දැන් අමතක නොවන ලෙස ප්‍රේක්ෂක සිත් සතන් තුළ සනිටුහන් වී ඇත්තේ නර්තන ශිල්පිනියකට එහා ගිය ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක් විලසිනුයි. ඇය නිලන්ති ඩයස්.



කොහොමද මේ දවස්වල ජීවිතේ?


මේ දවස්වල ගොඩක් හොඳින් ඉන්නවා. කලා කටයුතුවලට වැඩිවශයෙන් සම්බන්ධ නොවුණත් එදිනෙදා කාර්යයන් සමඟ කාර්යබහුලයි.


කලා කටයුතු මොනවද?


ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබුණත් මේ දවස්වල පවතින සෞඛ්‍යමය අර්බුද තත්වය නිසා භාර ගත්තේ නැහැ.


වෘත්තීයමය රංගන ශිල්පිනියක් විදිහට නිර්මාණවලට තෝරා බේරා දායක වීම තුළ පැවැත්මක් ගොඩනගාගත හැකිද?



එය තමන්ගේ කැමැත්ත මත තීරණය වෙනවා. තමන්ට නොගැළපෙන නිර්මාණයක් භාරගෙන ප්‍රතිරූපයට හානි කරගන්නවට වඩා වෘත්තීමය වටිනාකම රඳවාගෙන නිර්මාණවලට දායකවීම ගොඩක් සුදුසුයි කියා මං හිතනවා. ඒ වගේම වෙහෙසකාරීව එකදිගට වැඩකටයුතු කරන්නත් මං අකැමැතියි. කාන්තාවක් ලෙස අපට පැවැරුණු පවුලේ වැඩකටයුතු සමඟ සමබර කරගෙන නිර්මාණවලට දායකවන්න මං සැමවිටම උත්සාහ කරනවා.


විදේශීය රටවල රංගන ශිල්පීන් රිදී තිරය හා පුංචි තිරය යන ක්‍ෂේත්‍රයන්ගෙන් එකක්

තෝරා ගන්නවා. පුංචි තිරයේ ඔබව සාපේක්ෂව අඩුවෙන් දික්වෙන්නේ එකී ප්‍රතිපත්තිය අනුගමනය කරන නිසාද?


ඇත්තටම ඒකට හේතුවක් නැහැ. ගොඩක් මට ලැබුණේ රිදී තිරයේ නිර්මාණ. මං

ක්‍ෂේත්‍රයට පිවිසෙන්නෙත් පුළුල් තිරය ඔස්සේ නිසා දිගින් දිගටම චිත්‍රපටවලට ආරාධනා ලැබීමයි ඊට ප්‍රධානම හේතුව. බොහෝ දෙනෙක් රිදී තිරයේ අවස්ථාවක් බලාපොරොත්තුවෙන් සිටින නිසා එය මා ලද භාග්‍යයක් විදිහටයි මං දකින්නේ.



ජනතාව අතරට යෑමට පහසුම මඟ පුංචි තිරය නිසා එය ඔබගේ ජනප්‍රියත්වයට බාධාවක්  වූයේ නැද්ද?


ඔව්.. ඒක ඇත්ත. තුන්වැනි ලෝකයේ රටක සිනමා නිර්මාණයක් නැරඹීමට මුදල් වෙන්කළ හැකි අතළොස්සක් පමණයි සිටින්නේ. ඒ නිසා එය ජනතාව අතරට යෑමට බාධාවක්. නමුත් බොහොමයක් දෙනාට රූපවාහිනියක් පවතින නිසා ටෙලිනාට්‍යවල රංගනයෙන් දායක වන රංගන ශිල්පීන් බොහොමයක් ජනප්‍රියයි.



නිලන්ති ඩයස් ඒකාකාරී රංගන රාමුවක කොටුවෙලා නිසා කිව්වොත් එය පිළිගන්නවද?


එය සියයට සියක් නොවුණත් යම් තරමක් නිවැරැදියි. ඇත්ත වශයෙන්ම මගෙ හැකියාවන් උපරිමයෙන් පෙන්නුම් කිරීමට මට අවස්ථාවක් හිමිවුණේ නැහැ. මට බොහොමයක් චරිත නිරූපණය කිරීමට හැකියාව, ශක්ති ප්‍රමාණය හා ආසාව තිබුණත් මට හම්බවුණ අවස්ථාවන් ඒ සඳහා ප්‍රමාණවත් වුණේ නැහැ.


 ඒ කියන්නේ ඔබ රංගන ජීවිතය තුළ තෘප්තිමත් නැද්ද?


නැහැ මට ලැබුණු අවස්ථාවන් ගැන ගොඩක් සතුටුයි. නමුත් එකී විවිධ වූ චරිතයන්ට පණ  පෙවීමේ ලොකු පිපාසයක් මට තියෙනවා. එකී අවස්ථාවන් නොලැබීමයි මට තියෙන ගැටලුව. බොහොමයක් චිත්‍රපටවල මං නිරූපණය කළේ පෙම්වතියකගේ චරිතය. එකී චරිතය වුණත් විවිධාකාර නිරූපණයන් ඔස්සේ ඉස්මතු කිරීමට අවස්ථාව ලැබුණා නම්  ගොඩක් සතුටුයි.


ඔබ මෑතකදී ශරීරයේ බර අඩු කරගෙන නැවතත් කලින් දුටු නිලන්ති ඩයස් බවට පත්වුණා. ඇයි හදිසියෙම කෙට්ටු වෙන්න හිතුවේ?


රංගන ශිල්පිනියකට ශරීර ස්වභාවය පවත්වා ගැනීම වඩාත් වැදගත්. දරුවා ලැබීමෙන් පස්සේ මං ගොඩක් මහත් වුණා. ඒ නිසා අවුරුදු දෙකක් පමණ කලා ක්ෂේත්‍රයෙන් අ වෙලා හිටියා. කලා ක්‍ෂේත්‍රයේ තුළ පමණක් නෙවෙයි කාන්තාවකගේ ආකර්ෂණය පවත්වාගන්න ශරීර ස්වභාවය ගැන උනන්දු විය යුතුමයි. ඇත්තම කිව්වොත් පුංචි තිරයේ, පුළුල් තිරයේ දකිනවාටත් වඩා මං ගොඩක් ශරීරයෙන් කුඩායි.


ඔබගේ නර්තන හැකියාවෙන් උපරිම දක්ෂතාවක් පෙන්නුම් කිරීමට හැකියාව ලැබුණද?


ලංකාවේ කලා ක්‍ෂේත්‍රයේ නර්තන ශිල්පීන් කියා වෙන් කළොත් එහි මුල් දසදෙනා අතර නියත වශයෙන්ම මගේ නම කියැවෙන තරමට නර්තනයෙන් මං දයි කියා මට හිතෙනවා. බොහෝ දෙනෙක් මාව හඳුනන්නේ නර්තන හැකියාවෙන්. ඒ නිසා එහි උපරිමයක් කිරීමට මට හැකිවුණා.



මවගේ භූමිකාව හා රංගන ශිල්පිනිය යන ද්විත්වය ඔබ සමබර කරගන්නේ කොහොමද?


කාන්තාවක විදිහට මවගේ භූමිකාව හරිම සුවිශේෂියි. දරුවන්ගේ ළමා කාලය ඔහු හෝ ඇය සමඟ ගෙවීම හරිම සුවිශේෂීයි. ඒ කාලය ආයෙත් ළඟාවෙන්නේ නැහැ. ඒ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. ඒ කාර්යය මං අකුරටම ඉෂ්ට කරනවා කියා මං හිතනවා.


පවුලේ විස්තර කොහොමද?


මට ඉන්නේ පුංචි පවුලක්. මගේ සැමියා මංජු ෆොන්සේකා. මගෙ දුව ශෙනායා ෆොන්සේකා.