අසරණ කාන්තාවන් වෙනුවෙන් මම පෙනී ඉන්නවා - මනීෂා නාමල්ගම

Friday, July 16, 2021 , 0 Comments





කලා ක්‍ෂේත්‍රයටම අහිංසකාවියක් වෙමින් සරල දිවියකට හැඩහුරුකම්පාන කලා ශිල්පීන් අතර සුවිශේෂී ශිල්පිනියක් ලෙසට ආදරය දිනාගත්තත් ඒ සොඳුරු රුවැත්තිය මනීෂා නාමල්ගම. ඉතින් දිගු කාලයකට පසු අපට ඇය සමග කතාබහ කිරීමට නොහැකි වුණා. ඇය මේ දවස්වල විවේකීව ගෙවන ජීවිතය ගැන සහ  ඇයගේ කලා දිවියේ අලුත් තොරතුරු ගැනත් මෙලස පුවත්පතකට පවසා තිබුනා.


මේ දවස්වල මනිෂා ගෙදරට වෙලා කාලය ගතකරන බව ආරංචියි?

පසුගිය දවස්වල රටේ තිබුණු වාතාවරණයත් එක්ක මම වැඩිපුරම කාලය ගතකළේ ගෙදරට වෙලා තමයි. හැබැයි මම නිර්මාණවලට සම්බන්ධ නොවී සිටයේ නැහැ. අඩුවෙන් වැඩ බාරගෙන වැඩ කළා. අසංවර වැස්ස, දාම්, දෙවැනි ඉණිම, සකූගේ ලෝකය ටෙලිනාට්‍යවල පසුගිය දවස්වල වැඩ කළා. එයට අමතරව ‘හිරු’ ටෙලි චිත්‍රපටවලට සම්බන්ධ වුණා.


‘සකුගේ ලෝකය’ ටෙලිනාට්‍යයේ ඔබ නිරූපණය කරන චරිතය ගැන පැවැසුවොත්?

කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින චරිතයක් තමයි මම නිරූපණය කරන්නේ. අසරණ තත්ත්වයට පත්වුණු කාන්තාවන්ට උදවු කරන්න මම පෙනී සිටිනවා.


සාමාන්‍ය ජීවිතයේදීත් එබ එවැනි සමාජ සත්කාර වෙනුවෙන් කටයුතු කරනවා නේද?

ඔව්… සාමාන්‍ය ජීවිතයේදී මම වැඩිපුර කළේ අසරණ ජනතාව වෙනුවෙන් පිහිටවෙන එක තමයි. මොකද ඔවුන් විඳින දුක, වේදනාව ඒ අවස්ථාවේදී එතැන මම උන්නා නම් කියන සිතුවිලි ආකල්පය මට දැනෙනවා. ඉතින් මම නිරන්තරයෙන්ම ඒ වෙනුවෙන් උදව්පදව් කරනවා. පසුගිය කාලේ පැවැතුණු කොරෝනා වසංගතයත් එක්ක අසරණයට පත් ජනතාවට මමත් තව කලා ක්‍ෂේත්‍රයේ කිහිප දෙනෙකුත් එකතුවෙලා උදව් කළා.


ඔබ තීරණයක් කරලා තිබුණා නේද මෙගා ටෙලිනාට්‍ය සඳහා යොමුවීමට අදහසක් නැහැ කියලා?

ඔව්… එහෙම හිතපු කාලයක් තිබුණා. නමුත් අපේ ක්‍ෂේත්‍රයේ අපි සමග වැඩ කරපු ප්‍රවීණ ශිල්පීන් පවා දැන් මෙගා නිර්මාණවලට සම්බන්ධ වෙලා වැඩ කරනවා. අනෙක අපේ මේ පුංචි රටේ එහෙම මහා පරිමාණයෙන් ලොකුවට නිර්මාණ කරන රටක් නෙවේ. ඉතින් අපි මේ ක්‍ෂේත්‍රයේ වැඩ කරන නිසා අපිට නිර්මාණ සඳහා තෝරා බේරා ගැනීමක් නැතුව වැඩ කරන්න සිදුවෙනවා. හැබැයි ඉතින් මට ගැළපෙන චරිතයක් ලැබුණොත් තමයි කරන්නේ.


එහෙම එකදිගට මෙගාවල වැඩ කරන්න ගියාම ප්‍රශ්න මතුවෙන්නේ නැද්ද?

එහෙම ලොකු ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. දින වෙන්කර ගැනීමේ ගැටලු මතුවෙනවා. ඒවා ඉතින් කාලය කළමනාකරණය කරගෙන වැඩ කරනවා.


එදා දැකපු ඒ අහිංසක පෙනුම තවමත් එලෙසම චරිත තුළ රැඳී පවතිනවා නේද?

සාමාන්‍ය ජීවිතයේදීත් මම කාටවත් කරදරයක් නොවී සරලව ජීවත් වෙන කෙනෙක්. අපි වෙනස් වෙන්නේ නැහැ. නමුත් මම කරන චරිත තුළින් රඟපෑමේදී වෙනසක් සිදුවෙනවා.


මෑත කාලයේදී ඔබේ හිතට දැනුණු සුවිශේෂී චරිතයක් ගැන කතා කළොත්?

එහෙම කියලා මම වර්ගීකරණයක් කරන්න කැමැති නැහැ. මම නිරූපණය කරපු හැම චරිතයක්ම මට සුවිශේෂීයි. මට අසාධාරණයක් වුණත්, මොන ප්‍රශ්නයක් මතු වුණත් මම එය දරාගන්න කෙනෙක්. මම මේ ක්‍ෂේත්‍රය ගැන එහෙම විවේචනය කරන්න කැමැති කෙනෙක් නෙවේ. මම ඒ තරමට කලාවට ආදරය කරනවා.


කලාවට තිබෙන බැඳීමත් එක්ක ඔබේම කියලා නිර්මාණයක් කිරීමට සැලැසුමක් නැද්ද?

නිෂ්පාදිකාවක් ලෙසට වැඩ කිරීමට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. හොඳ අධ්‍යක්‍ෂවරයකු යටතේ සමාජයට හොඳ පණිවුඩයක් දෙන්න. නමුත් නිර්මාණයක් කරලා විකාශය කරගන්නේ කොහොමද කියලා සැලැසුමක් හදාගන්න සිදුවෙනවා. එයට සුදුසු කාලයක් එනකම් මම මගබලාගෙන ඉන්නවා.


විවිධ නිර්මාණ හරහා ඔබ විවිධ චරිත නිරූපණය කළා. සාමාන්‍ය ජීවිතය ගෙවන විදිය ගැන කතා කළොත්?

රංගන ජීවිතයට එහා ගිය සරල කාන්තාවක් මම. බිරියක්, ගෘහණියක්, සහෝදරියක්, හිතවතියක්, යෙහෙළියක් ඔය හැම චරිතයකම මම සාමාන්‍ය ජීවිතයේදීත් ජීවත්වෙවී රඟපානවා.


වසන්ත විතාණගේ