සෙනෙහසින් වෙන් වුණු අමීර් - කිරන්

Monday, July 12, 2021 , 0 Comments


 



ජනප්‍රිය බොලිවුඩ් නළු ආමීර් ඛාන් සහ ඔහුගේ බිරිය කිරන් රාඕ වසර 15ක විවාහ ජීවිතය අවසන් කරමින් සිය දික්කසාදය පිළිබඳ කළ නිවේදනයට පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ විශාල අවධානයක් ලැබුණා. ඔවුන් මේ බව නිවේදනය කළේ පසුගිය 03 වැනි දිනයි. ආමීර් සහ කිරන් විවාහ දිවියට එළැඹුණේ 2005 වසරේයි. ඔවුන්ට අසාද් රාඕ ඛාන් නමින් පුතකුත් සිටිනවා.


 

ආමීර් සහ කිරන් වසර 15 විවාහ දිවියට සමුදෙමින් මෙසේ දික්කසාද වීමට තීරණය කර ඇත්තේ කාලයක් තිස්සේ ඔවුන් අතර ඇති වෙමින් තිබූ වෙනස්කම් සහ ආතතීන් නිසා බව පැවසෙනවා. එම නිසාම කාලයක සිට දික්කසාදය ගැන කල්පනා කරමින් සිටි බවට දික්කසාදය නිවේදනය කරමින් ඔවුන් නිකුත් කර තිබූ ඒකාබද්ධ ප්‍රකාශයකත් සඳහන් වුණා.


‘එක්ව ගත කළ වසර 15 ක කාලය තුළ අපි අත්දැකීම්, සතුට, සිනහව බෙදා හදාගත්තා. අප එකිනෙකා කෙරේ වූ විශ්වාසය, ගෞරවය, ආදරය දිනෙන් දින වර්ධනය වුණා. දැන් අපි අපේ ජීවිතවල අලුත් පරිච්ඡේදයක් ආරම්භ කිරීමට සූදානම්. ඒ තවදුරටත් සැමියා සහ බිරිය ලෙස නොව සිය පුතුගේ මව්පියන් හැටියට සම ව වගකීම් දරමින් තවදුරටත් එකිනෙකා ගැන සොයා බලන පවුලක් ලෙසයි'. ඔවුන් අඹුසැමියන් ලෙස ජීවත් නොවුණත් සිය සම්බන්ධය සම්පූර්ණයෙන් බිඳ නොගන්නා බවයි මෙයින් පෙනී යන්නේ. ‘අප සැලසුම් සහගතව දික්කසාද කටයුතු ආරම්භ කළේ කලකට පෙරයි. එය නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමට දැන් සුදුසු කාලය පැමිණ ඇති බව හැඟෙනවා.’ යයි ද එම නිවේදනයේ තවදුරටත් සඳහන් වුණා.



දික්කසාද වූවත් චිත්‍රපට කටයුතුවලදීත්, ඔවුන් පිහිටුවා ඇති සමාජ සේවා ආයතනවල කටයුතුවලදී දෙදෙනා තවදුරටත් එක්ව ක්‍රියා කරන බව ද ආමීර් සහ කිරන් පවසනවා. ඔවුන් ගේ දික්කසාදය සම්බන්ධයෙන් අමිර් සහ කිරන් ගේ පවුල්වල අයගෙන් සහ හිතවතුන්ගෙන් විරුද්ධත්වයක් පළ වී නොමැති බවයි පෙනෙන්නේ. මෙම ක්‍රියාවලිය තුළ දී එම පාර්ශ්වවලින් ලැබුණු සහයෝගය අගයමින් ඔවුන්ට ස්තුතිය පළ කිරීමටත් ආමීර් සහ කිරන් අමතක කළේ නැහැ. ඔවුන් තවදුරටත් සඳහන් කරන්නේ මෙම දික්කසාදය අවසානයක් නොවන බව සහ එය අලුත් ගමනක ආරම්භයක් පමණක් බව යි.


කිරන් සහ අමීර් මුල් වරට මුණ ගැසුණේ 2001 වසරේ අමීර් සුප්‍රකට ‘ලගාන්’ චිත්‍රපටයේ කටයුතු කරමින් සිටි කාලයේ යි. කිරන් එහි සහාය අධ්‍යක්‍ෂවරියක ලෙස කටයුතු කළා. ඒ දැන හඳුනාගැනීමෙන් පසු ඔවුන් යුග දිවියට එළැඹුණේ 2005 වසරේ දී. එය අමීර් ගේ දෙවැනි විවාහය වූ අතර කිරන් සමඟ විවාහ දිවියට එළැඹීමට පෙර අමීර් විවාහ වී සිටියේ රීනා දත්තා සමඟයි.


කලක් අසල්වැසියන්ව සිටි අමීර් සහ රීනාගේ ප්‍රේමය ඇරැඹුණේද චිත්‍රපටයක වැඩ කරමින් සිටි අතර බව පැවසෙනවා. 'Qayamat Se Qayamat Tak' චිත්‍රපටයේ අමීර් ප්‍රධාන චරිතය නිරූපණය කළ අතර රීනා දත්තා එහි සුළු චරිතයක් රඟපෑවා. වරක් ආමීර් ඇයට සිය රුධිරයෙන් පෙම් හසුනක් ලියා යැවූ බවටත් කතාවක් පැතිරුණා. ඔවුන්ගේ විවාහය සිදු වුණේ 1986 වසරේ යි. එම විවාහයෙනුත් අමීර් ට දරුවන් දෙදෙනකු සිටිනවා. ඒ, ජුනයිද් සහ අයිරා. 2002 වසරේ දී අමීර් රීනාගෙන් දික්කසාද වීමෙන් පසු දරුවන් ගේ අයිතිය පැවරුණේ රීනා ට යි.


ඒ දික්කසාදයෙන් පසුවත් අමීර් සහ රීනා අතර යහපත් සම්බන්ධයක් පවතින බව සඳහන්. තමා රීනාගෙන් වෙන් වූවත් ඇයට තවමත් ආදරය කරන බවත්, ගෞරව කරන බවත්, ඇය අපූරු ගැහැනියක බවත් වරක් අමීර් රූපවාහිනි සාකච්ඡාවක දී පවසා තිබුණා.



අමීර් මේ දිනවල චිත්‍රපට කටයුතුවලත් ඉතා කාර්යබහුලව සිටින බව සඳහන්. ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන ‘ලාල් සිං චද්දා’ නමැති සිනමාපටයේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතිනවා. එහි ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කරන්නේ කරීනා කපූර්. මෙය කලකට පෙර අතිශයින් ජනප්‍රිය වූ Forrest Gump නමැති හොලිවුඩ් චිත්‍රපටය ඇසුරෙන් නිර්මාණය වන්නක්. එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ටොම් හෑන්ක්ස්. එම රංගනය වෙනුවෙන් ඔහුට 1995 වසරේ ඔස්කාර් සම්මානයත් හිමි වුණා. ආමීර් මෙම චරිතය කෙසේ රඟපානු ඇත්ද යන්න බොහෝ දෙනකු මහත් කුතුහලයෙන් බලා සිටින බවයි පෙනෙන්නේ.