දෙයක් ඕනෑ කියලා හිතුවොත් මටත් ඒ දේ ඕනෑමයි - වොල්ගා

Monday, July 12, 2021 , 0 Comments

 




වෙනස් චරිත නිරූපණයෙන් ප්‍රේක්ෂකයන් දිනාගත් රංගන ශිල්පිනියන් අතරට එක් වන වොල්ගා කල්පනී මේ දිනවල අපට හමුවන්නේ වැල්ලේ ජීවත්වන 'පාර දිගේ' නාට්‍යයේ ටුටූ ගේ චරිතයෙනි. විවිධත්වයක් තුළින් කලාවේ තම අරමුණු වෙත යන්න උත්සාහ දරන වොල්ගාට ඒ අරමුණු සේම ජීවිතය ගැනද කියන්නට තිබුණි.


 


මේ දවස්වල වොල්ගට ලැබෙන්නේ වෙනස් විදිහේ ප්‍රතිචාර වෙන්න ඇති නේද ?


'පාරදිගේ' නාට්‍යයේ 'ටුටූ' කියන්නේ වෙනස් මුහුණුවරක චරිතයක් නිසාදෝ මේ දවස්වල ටුටූ ට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. රචකයා,අධ්‍යක්ෂවරයා ,කලා අධ්‍යක්ෂවරයා,වේෂ නිරූපණ ශිල්පියා සහ මගේ එකතුවත් එක්ක තමයි ටුටූ කියන චරිතය එළියට ඇවිත් තියෙන්නේ. මමත් ඒ ස්ටයිල් එකට කැමැතියි.


ඒ චරිතයට මාව තෝරාගන්න මගේ පෙනුමත් බලපාන්න ඇති.


 


'ටුටූ' ගේ නිරූපණය පහසු වුණාද?


මම කවදත් වෙනස් දේවල් කරන්න කැමැති කෙනෙක්. එහෙත් 'ටුටූ'ගෙයි මගෙ ඇත්ත ජීවිතෙයි කිසිම සමානකමක් නොතිබුණු නිසා සෑහෙන අමාරු වුණා ඒ චරිතයට හැඩගැහෙන්න. අධ්‍යක්ෂවරයා හැම වෙලාවෙම මන්තරයක් ජප කරනවා වගේ 'ටුටූ' ගේ චරිතයට අවශ්‍ය නිරූපණය මට මතක් කරනවා. ටුටුත් හැම වෙලේම නහය උඩට ඇද ගත්තු ගමන් නේ ඉන්නේ. දැන් මමත් 'ටුටූ'ට කොච්චර ඇබ්බැහි වෙලාද කියනවානම් රූගත කිරිම්වලට පස්සෙත් මම නහය උඩට අදිනවා.


 


'පාර දිගේ' ටුටූ වෙන ගමන් 'හදවිල අරණ' ටෙලි නිර්මාණයේ නෙත්මි ගැන මොනවද කියන්න තියෙන්නේ ?


'හදවිල අරණ' ටෙලි නාට්‍යයේ නෙත්මි කියන්නේ ටුටූ ට හාත්පසින්ම වෙනස් චරිතයක්. නෙත්මි කියන්නේ ගායකයෙක්ට ආදරය කරන පෙම්වතා වෙනුවෙන් ජීවිතේ ගොඩක් දේවල් කැප කරන කෙනෙක්. නෙත්මිගෙයි මගෙයි ජීව්තේ නම් සමානකමක් තියෙනවා. ඒ හිතුවක්කාරකම... නෙත්මි වගේ දෙයක් ඕනේ කියලා හිතුවොත් මටත් ඒ දේ ඕනේමයි.


 


ආදරය කියන කාරණයෙදි සමානකම් නැද්ද?


නෙත්මි හැම තිස්සෙම උත්සාහ කරන්නේ ගායකයාව අයිති කරගන්න. සැබෑ ජීවිතේ වොල්ගා නෙත්මිට වඩා ජීවිතය තේරුම් ගත් කෙනෙක් කිව්වොත්. මම අවංකව වැඩ කරනවා. ආදරය කරනවා නම් ඒ ආදරය කරන කෙනා කොහේ හෝ සතුටින් ඉන්නවා දකින්නයි මට ඕනේ.




ආදරය ඔබ විශ්වාස කරනවද?


ආදරය කියන දේ මම පිරිසිදු තැනක තියලා තියෙන්නේ. මගේ ආදරය කාටවත් උදුරාගන්න බෑ. ඒ වගේම මම ඒක විකුණන්නෙත් නෑ.


 


රංගන ශිල්පිනියක් වෙන්න ගත් තීරණය ගැන අද වොල්ගා සතුටු වෙනවද?


මම රංගනයට ආවේ ඒ ගැන හොඳට හිතලා බලලා. ඒ වගේම මේ ක්ෂේත්‍රයේ මම කැපවීමෙන් වැඩ කළා. සතිශ්චන්ද්‍ර මහත්මයා කියනවා වගේ මේ වෘත්තියෙදි අපිව ගෙදරින් එක්ක ගිහින් අපිට කෑම බීම දීලා මුදලුත් දීලා අපිව ගෙදරට පරෙස්සමට ගෙනත් ඇරලනවා. අපිට කොච්චර පිරිසකගේ ආදරය ලබන්න පුළුවන්ද. රංගනයේ යෙදීම මට නම් වාසනාවන්ත රැකියාවක් විදිහටයි දැනෙන්නේ.


 


ප්‍රේක්ෂක ආදරය වගේම ලැබෙන විවේචනත් ඔබට දරාගන්න පුළුවන්ද?


විවේචන ගැන මම ලොකුවට හිතන කෙනෙක් නෙමෙයි. කටකතාවකට වුණත් නිහඬ නොවි හරි දේ කියනවා. කිසිම දෙයකින් මාව වට්ටන්න බැහැ. මගේ නෑදෑයෝ පවා කියන්නේ මට මාර දරාගැනීමක් තියෙනවා කියලා.


ලංකාවේ බොහෝ අය හොඳට වඩා ළං කරගන්නේ නරක. ඉක්මනින් වැලඳ ගන්නෙත් ඕපදූප. එය හරිම දුර්වලකමක්. නමුත් බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා අපේ වැඩ වලට ආදරය කරන.


 

රංගනය වෘත්තීය කරගෙන ජීව්ත්වීම පහසු නැති බව දැනිලා නැද්ද?


රංගනයට තිබෙන ආදරය නිසා රැඳිලා හිටියට දැන්නම් එහෙම දැනෙන්නේ නෑ කිව්වොත් බොරු. රංගනයට ආපු මුල් අවුරුදු පහේ අපි හම්බ කළා. වාහන පවා ගත්තේ ඒ හම්බ කරපු සල්ලිවලින්. දැන් තත්ත්වය එයට වඩා වෙනස්. සමහර වෙලාවට අපේ වටිනාකම කිව්වම නිර්මාණ නැතිවෙනවා. එයට වඩා ගොඩක් අඩුවෙන් රඟපාන්න කැමැති අය ඉන්නවා. නමුත් අපේ වටිනාකම තීරණය කරන්න ඕනේ අපි. කාටවත් එය තීරණය කරන්න දීම සුදුසු නැහැ. තමන්ගේ වටිනාකමක් තමන්ට හදාගන්න බැරිනම් ඒකත් ප්‍රශ්නයක්.


 

වොල්ගා සම්මානනීය හීනයක් සැබෑ කරගන්න මහන්සි වෙනවද?


මට හැමදාම ඕන වුණේ ජනප්‍රියත්වය නෙමෙයි දක්ෂ සහ හොඳම කොටසට එකතු වෙන්න. අපට ලැබෙන ප්‍රේක්ෂක ආදරය වාසනාවක්. ස්වභාවධර්මයේ ආශීර්වාදයක් නිසා ප්‍රේක්ෂකයන්ට මතක හිටින එකිනෙකට වෙනස් චරිත නිරූපණය කරන්න ලැබුණා. ඒ ඔස්සේ හොඳම කොටසට යන්න මම උත්සාහ කරනවා.


 

සිනමා රංගන ශිල්පිනියක් වෙන්න අදහසක් නැද්ද?


හොඳ චරිත නිරූපණයකින් සිනමාවට එකතු වෙන්න කැමැතියි. නමුත් ටෙලි නාට්‍යවලට තරම් සිනමා නිර්මාණවලට මට ආරධනා ලැබෙන්නේ නෑ. 'මංගල තෑග්ග' සිනමා නිර්මාණයට සම්බන්ධ වුණා. තව චිත්‍රපටයකට එකතු වෙන්න හිටියත් කොරෝනා තත්ත්වය එක්ක ඒ නිර්මාණය කල් ගියා.


 

වොල්ගාට විවාහයක් ගැන අදහසක් නැද්ද ?


සහකරුවෙක් ඕනේ දරුවෙක් ඕනේ කියලා සමහර වෙලාවට හිතිලා තියෙනවා. නමුත් හැම දෙයටම කලින් මගේ මනස හරි විදිහට හදාගන්න ඕනේ. මගේ ජීවිතේ කොළේකට අලුත් කරගන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. විවාහයට කොළයක් ලබා ගෙන සතුටින් ඉන්න අය ගැන සතුටුයි. හැබැයි ඒ කොළේ මට වැඩක් නෑ.


 

මොනවද ජීවිතයේ සැලසුම්?


තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබෙනවා. ප්‍රවීණයන්ගෙන් ඒ දේවල් ඉගෙන ගෙන ක්ෂේත්‍රයේ කාටවත් කරදරයක් නොවී පාඩුවේ ගමනක් යන්නයි මට ඕනේ.