තිබ්බා ගැහුවා ක්‍රමයට නාට්‍ය හැදෙනකොට රඟපෑමේ ආශාව අඩුවෙනවා - සුජානි මේනකා

Monday, July 19, 2021 , 0 Comments

 



ඇය වරෙක තත්පර ගණනක වෙළෙඳ දැන්වීමකින් රටටම අමතක නොවන මතකයක් ඉතිරි කළ පුංචි සුරතලියකි. තවත් වරෙක පෙරළිකාර, ප්‍රචණ්ඩ චරිතයක් වූ සරාගේ චරිතයට හුස්ම දුන් චරිතාංග රංගන ශිල්පිනියකි. නිතර දක්නට නොලැබුණත්, කාලාන්තරයකට මතක සිටින චරිතවලට පණදෙන ඇය සුජානි මේනකායි. ඇය ඇගේ අලුත් තොරතුරු ගැන මෙලෙස පුවත්පතකට පවසා තිබුනා..


කොහොමද මේ දවස්වල ජීවිතේ?

ගොඩක් පරිස්සම් වෙලා අත්‍යවශ්‍ය කටයුතුවලට විතරක් සහභාගි වෙමින් කාලය ගත  කරනවා.


කලා කටයුතුවල විස්තර කොහොමද?


ස්වාධීන රූපවාහිනියේ නුදුරේදි විකාශය වීමට නියමිත "පෝක් විදිය" නාට්‍යයට මං රංගනයෙන් දායක වුණා. ලොණ්ඩවුන් එකට කලින් පටන් ගැනීමට නියමිතව තිබූ නාට්‍ය දෙකක පෙර පුහුණුවීම් මේ දිනවල සිදුකරනවා.


අසංක සායක්කාර කියන්නේ වෙනස් විදිහේ නිර්මාණකරණයක යෙදෙන්නෙක්. පෝක් විදිය නාට්‍යයෙන් ඔබගේ චරිතය හා ඒ නාට්‍ය අත්දැකීම කෙබඳුද?


සායක්කාර පිටපත් ලියූ ටෙලි නාට්‍ය 4ක විතර මං රංගනයෙන් දායක වී තිබෙනවා. පෝක් විදිය කියන්නේ වෙනස්ම අත්දැකීමක්. මං වසර 2ක කෙටි නිවාඩුවකින් පසුවයි මේ නිර්මාණයට දායක වෙන්නේ. ඒ වගේම නුවංගි කියන චරිතය තුළ ඇයගේ ගති ලක්ෂණ, චරිත ස්වභාවය, සම්පූර්ණ කතාව ආදී සෑම දෙයක්ම හොඳින් නිරීක්‍ෂණය කිරීමෙන් පසුව මං මේ චරිතය භාර ගත්තා. රංගන ශිල්පියකුට හෝ රංගන ශිල්පිනියකට ආසාවෙන් රඟපෑ හැකි චරිතයක් ලැබෙන්නෙත් බොහොම කලාතුරකින්. මං හරිම වාසනාවන්තයි කාලෙකට පසුව එවන් නිර්මාණයකට දායක වීමට අවස්ථාව ලැබීම ගැන. මෙය කාලිංග රත්නායකගේ පළමු අධ්‍යක්‍ෂණය. ඔහු සහාය අධ්‍යක්ෂකවරයෙක් ලෙස ලැබූ අත්දැකීම් සමුදාය තුළ එකී කාර්යය ඔහු සාර්ථකව ඉටු කරනවා.


කාලයක් රංගන ජීවිතයෙන් අරූවෙලා නැවතත් රංගනයට පිවිසීම තුළ ඔබව රසිකයගේ මතකයේ රැඳෙන්න බාධාවක් වුණාද?


කොහොමත් එවැනි බාධාකාරී තත්වයක් පැන නැඟුණේ නැහැ. මේ දවස්වල අප රගපාපු පරණ නාට්‍ය නැවතත් විකාශය වෙනවා. ඒ පිළිබඳව රසිකයන්ගේ කතාබහට ලක්වුණා.


මෙගා නාට්‍යයක් දිර්ඝ කාලයක් ඇදෙනකොට එහි ගුණාත්මක බව අඩුවෙනවා. සරා ටෙලිනාට්‍යයටත් එකී තත්වය උගත වුණා. තිබ්බා, ගැහුවා ක්‍රමයට නාට්‍ය හැදෙනකොට රඟපෑමේ ආශාව අඩුවෙනවා. රංගනය මං ආසාවෙන්, ආදරයෙන් කරන වෘත්තියක්. කොටස් 100 ඉක්ම වූ නාට්‍යවලට සම්බන්ධ නොවීම මගේ ප්‍රතිපත්තියක්.


වෘත්තීයමය රංගන ශිල්පිනියක් විධියට එවැනි තෝරාබේරා ගෙන නිර්මාණවලට දායකවීම තුළ යහපත් ආර්ථික තත්වයක් ගොඩනඟාගන්න පුළුවන්ද?


එය බෙහෙවින්ම අසීරු කාර්යයක්. නමුත් මම වගේම බිමලුත් රංගන කටයුතුවලට දායක වෙන නිසා එය තරමක් සමබර කරගන්නවා.


කලාවට පිවිසෙන්න පවුලේ ආභාසය බලපෑවා නේද?


ඔව්. මගේ පියා චිත්‍රපට කලා අධ්‍යක්‍ෂවරයෙක්. ඔහු සරත් සමරවික්‍රම දහනායක. පිය ආභාසය නිසයි මං ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ. තාත්තාට අවශ්‍යතාවක් තිබිලා තියෙනවා මාව කලාවට යොමු කරන්න. නමුත් ඔහුවත් නොහිතපු අවස්ථාවක මට වයස අවුරුදු 3දීම රංගනයෙන් දායක වීමට අවස්ථාව උදාවෙනවා.


සාපේක්ෂව ඔබට චිත්‍රපටවලට රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබුණේ තරමක් අඩුවෙන්. ඊට හේතුව මොකක්ද?


අපේ තරුණ කාලෙදි චිත්‍රපටවලට සන්ධ වෙන්න බොහොමයක් අවස්ථාවක් ලැබුණා. නමුත් වැඩ ගොඩක් බදාගෙන කිරීමේ පුරුද්දක් නැති නිසා ඒ නිර්මාණ බොහෝමයක් මඟහැරුණා. ටෙලිනාට්‍යවලට දින වෙන්කර ගැනීමෙන් පසුව හොඳ චිත්‍රපටවලට ආරාධනා ලැබුණත් ඒවා ප්‍රතික්ෂේප කරන්න මට සිද්ධ වුණා. ඒ ගැන පුංචි පසුතැවීමක් තිබුණත් එය අතීතයට එක්වුණු දෙයක්. ඒ නිසා මෙතෙක් ආ ගමන ගැන සතුටු වෙනවා.


රංගන කටයුතුවලට සැමියාගෙන් ලැබෙන දායකත්වය කෙබඳුද?

බිමල් තමයි මගේ ජීවිතේ හැමදේම. මගේ වෘත්තීයමය ජීවිතයට වගේම පෞද්ගලික ජීවිතයට ඔහු ලබාදෙන සවිය කියා නිම කළ නොහැකියි. මට දැන් මහන්සියි, පුංචි විද්වේකයක් අවශ්‍යයි කියා කීවම මට අවශ්‍ය එකී පරිසරය ගොඩනඟන්න ඔහු මහන්සි  වෙනවා. ඔහු මගේ සෙවණැල්ල කියන්න බැහැ. මං වාගේන්ම මාව බලාගන්නේ ඔහු. ඇතැම් විට මටත් වඩා මාව ඔහුට තේරෙනවා.


රංගන ජීවිතයෙන් ඔබ්බට පියවරක් ඉදිරියට තියලා අධ්‍යක්ෂණයට, නිෂ්පාදනයට යොමුවෙන්න අදහසක් නැද්ද?


මට ලිවීමේ හැකියාව තියෙන නිසා පිටපතක් ලියන්න බලාපොරොත්තුවක් තියෙනවා. හොඳ නිර්මාණයක් කරන්න ප්‍රමාණවත් කාලයක් අවශ්‍යයි. මං කැමැතියි මං ලියන චිත්‍රපටය හෝ ටෙලිනාට්‍ය බිමල් අධ්‍යක්‍ෂණය කරනවා නම්. බිමල් අධ්‍යක්‍ෂණය කරන නිර්මාණය මං නිෂ්පාදනය කරනවා.


සුජානි මේනකා කියන්නේ ගොඩක් පොත්පත් ඇසුරු කරන්නියක්ද?


මගේ ජීවිතේ හරියට දෙකට බෙදුවොත් එහි හරි අඩක් වෙන්වෙන්නේ කියැවීමට.