අතේ තියෙන්නෙ මංගල මුද්ද විතරයි - සාරංග දිසාසේකර

Tuesday, June 15, 2021 , 0 Comments

 



රසික ආදරයට නිරතුරුව පාත්‍ර වන ඔහු ‘ජනප්‍රිය නළුවා ලෙසින් මෙන්ම ‘හොඳම නළුවා ලෙසින් ද අවස්ථා කිහිපයකදීම සම්මානයට පාත්‍ර වූ රංගන ශිල්පියෙකි. වේදිකාවේ, රූපවාහිනියේ, සිනමාවේ එකකට එකක් නොදෙවෙනි රංගන දක්ෂතාවයන් දක්වන ඔහු විටෙක හඬ පෞරුෂයෙන් පරිපූර්ණ නිවේදකයෙකි. හඬ කැවීම් ශිල්පියෙකි. තවත් විටෙක  හදවතට ආමන්ත්‍රණය කරන හඬක් ඇති දක්ෂ ගායකයෙකි. අද වනවිට මේ සියලු ක්ෂේත්‍රවල පණ පොවන ඔහු ව්‍යාපාරිකයෙකි. සාරංග දිසාසේකර, යුගයේ ජනප්‍රියම රංගන ශිල්පියා ඔහු ෙග් අලුත් විසතර ගැන  මෙලෙස පුවත්පතක් සමඟින් පවසා තිබුනා.



 ගායකයකු, නිවේදකයකු, රංගන ශිල්පියකු, හඬ කැවීම් ශිල්පියකු, ව්‍යාපාරිකයකු ලෙසින් ජීවන ගමනේ විවිධ භූමිකාවට පණ පොවන ඔබ වඩාත් කැමැති කුමන වෘත්තියට ද? 


ඔබ කියූ සෑම වෘත්තියකම නිපුණත්වය රඳවා ගන්න, උපරිම දෙයක් කරන්න මම නිරතුරුවම වෙහෙසෙනවා. එකකට එකක් නොදෙවෙනි දක්‍ෂතා හමුවේ මම ප්‍රවීණයකු බවට  පත්වන්නේ සැබෑවටම ඒ වෙනුවෙන් කරන කැපවීම, හැදෑරීම කියන කරුණු උඩ. මේ  වෘත්තීන් සෑම එකකටම මම හරිම ආදරෙයි. නමුත් රංගනය කියන විෂයයට වැඩි කැමැත්තක්, ආසාවක් තියෙනවා.


ඔබට වැඩිම ආදරයක් ලැබෙන්නේ?


මාගේ රංගන කෞෂල්‍යයට ආදරය කරන අය නළුවකු ලෙසට මට ආදරෙයි. ඇතැම් පිරිස් නිවේදකයකු විදිහට මාව හඳුනාගෙන තියෙනවා. පොදුවේ ගැහැනු පිරිමි බේදයක්, වයස් බේදයක් නැතුව හැමෝම ආදරේ බව තමයි හැගෙන්නේ.



ඔබ වඩාත් ජනාදරයට පාත්‍රවන්නේ? 


මම හිතන්නේ රංගනයට පූර්ණ කාලීනව ප්‍රවිෂ්ට වුණ කාලයේදී නවක තරුණ දක්ෂ රංගන ශිල්පියකු ලෙසින් ආදරයට පාත්‍රවන්න පටන් ගත්ත මට, අදටත් ඒ ආදරය නොඅඩුව ලැබෙනවා. සැබෑවටම රංගන ශිල්පියකුට ලැබෙන ජනතා ආදරය එදා මෙදා තුර රඳවා ගැනීම අභියෝගයක්. ඒ අභියෝගය අද මම ජය අරන් කියලා හිතෙනවා.



 ජනප්‍රිය නළුවා ලෙසින් වසර ගණනාවක් සම්මානයට පාත්‍රවේදී මොනවා ද හිතුණේ?

ඕනෑම ක්ෂේත්‍රයක ඉන්න අයකුට සම්මානයක් ලැබීම, ඔවුන්ගේ ජීවිතයට උත්තේජනයක්. නියැලෙන ක්ෂේත්‍රයේ යමක් කළා කියන ක්‍රෙඩිට් එක තමයි එයින් ලැබෙන්නේ. සම්මානයට පාත්‍ර වීම සතුටුයි. නමුත් මම සම්මානයට පාත්‍ර වුණ හැම වෙලාවකම දැනුණේ, හෙට ඉඳලා මම තවත් හොඳින් උපරිමයෙන් මගේ වෘත්තිය කරන්න ඕනේ කියන පන්නය. මේ හැරෙන්න සම්මාන ලැබුණා කියලා ආඩම්බර වෙන්නවත්, ඒ නිසා ඔළුව ඉදිමුවා ගන්නවත්, ආ හරි මට සම්මානයක් ලැබුණා, මම තමයි නළුවා කියලා හිතලාවත් කවදාවත් වැඩ කළේ නෑ. 


 රංගන ශිල්පියකු ලෙස ඔබ කඩවසම් බව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මොනවා හරි කරනවා ද?


වයලින් වාදකයකුට වයලීනය වැදගත් වෙනවා වගේම රංගන ශිල්පියකුට නිරෝගීකම පවත්වා ගැනීම, කඩවසම් බව, හඬ පෞරුෂය කියන මේ හැමදේම හරිම වැදගත්. ඒ වෙනුවෙන් මමත් වෙහෙසෙනවා කිව්වොත් නිවැරැදියි. ඒ වෙනුවෙන් කෙරෙන ප්‍රධානම දෙයක් තමයි ශරීරයට හිතකර සෞඛ්‍ය සම්පන්න කෑම බීම ගන්න එක. තෙල් කෑම, පිටි කෑම කනේ හරිම අඩුවෙන්. ඒ වගේත්මයි පුරුද්දක් විදිහට මම සීනි කෑමට එක්කරගනෙත් හරිම අඩුවෙන්. තේ එකක් බිව්වත් අඩු සීනි තේ එකක් තමයි  බොන්නේ. ඒ වගේම කෑම ගනිද්දී ධාන්‍ය වර්ග, කුරක්කන්වලින් හැදු කෑම, එළවළු වර්ග වැඩිපුර ආහාරයට එක්කරගන්නවා. වතුරත් දැන් නම් හිතලාම බොනවා. මොකද කාර්යබහුලත්වයත් එක්ක වතුර බොන එක  මගඇරෙන නිසා. පුරුද්දක් විදිහට මට කෑම කන්න පුරුදු වෙලා ඉන්නේ අඩුවෙන්. මේ හැමදේම නිසා කෑම බීම ගැන නම් වඩාත්ම සැලකිලිමත්.


 ව්‍යායාම කරනවා ද?


දින චර්යාවේ කොටසක් ව්‍යායාම කරන එක. නමුත් දිනපතා රංගන කටයුතුවල නිරත වෙන්න වුණොත් ජිම් එකට ගිහින් ව්‍යායාම කරන්න වෙන්නේ නෑ. ඒ නිසා ඉඩක් ලැබෙන වෙලාවට මටම ව්‍යායාම පුහුණුකරුවෙක් ඉන්න නිසා ඔහුගෙන් අහගෙන බොඩි වොට් වගේ ව්‍යායාම නිවසේදීම කෙරෙනවා. මතුපිට පෙනුම කඩවසම්ව පවත්වාගන්න නිසි ව්‍යායාම, සුදුසු ආහාරපාන ගැනීම වගේම අවශ්‍ය විදිහට වතුර බොන එක හරිම වැදගත් කියලා මම නිතරම හිතනවා.


 රංගන ශිල්පියකු ගැන කතා කිරීමේදී බොහෝ විට අපි කතා කරන්නේ රංගනය ගැන. නමුත් බොහෝ කැපවීම් ඔබලා අතින් වෙනවා නේන්ද?


 ඔව්. කිලෝ වොට් ගානක විදුලි ආලෝකය මැද්දේ, පැය ගාණක් අව්ව වැස්ස නොබලා රූගත කිරීම් කරද්දී අපි නොදැනුවත්වම අපේ සෞඛ්‍යයට විශාල හානියක් වෙනවා. ඒ දේවල් යථා තත්වයට පත් කරගන්නත් අවශ්‍ය ප්‍රතිකාර, උපදෙස් ලබාගන්න අවස්ථා තිබෙනවා.


ඔබට වඩාත්ම ගැළැපෙන ඇඳුම?


විවිධ චරිත නිරූපණය කරනකොට, ඒ ඒ චරිතයට ගැළපෙන විදිහට ඇඳුම් තෝරා ගන්නවා. | බටහිර ඇඳුම වගේම ආරිය සිංහල ඇඳුමත් මගේ ඇඟට හොඳට ගැළපෙනවා කියලා මට හිතෙනවා. ඒ හැරෙන්න ඉතින් ඕනෑම ඇඳුමකට මම කඩවසම් විදිහට පේනවා ද කියලා හිතෙනවා. සාමාන්‍ය ජීවිතයේදී නම් ඩෙනිම, ටී ෂර්ට් එක තරම් සරල ඇඳුමක් නම් නැති තරම්.


ආභරණ පලඳින්න කැමැති ද?


නෑ. ඉස්සර ඉඳලාම රන් ආභරණ හෝ වෙනයම් ආභරණ පලඳින්න මගේ වැඩි කැමැත්තක් තිබුණේ නෑ. අදටත් මගේ අතේ තියෙන්නේ මංගල මුදුව පමණයි.



 ආසාවෙන් එකතු කරන දේවල් මොනවා ද?


ඉස්සර ඉඳලාම එකතු කළ ඔරලෝසු කිහිපයක් නම් තියෙනවා. ඊට අමතරව ලෝකයේ බොහෝ රටවලට ගියාම තත්වයෙන් උසස් සපත්තු ගන්න එකත් මගේ පුංචි පුරුද්දක්. පෆියුම් වර්ගවලටත් ආසයි. ඉහළම වෙළෙඳ නාම යටතේ තියෙන පෆියුම් පමණක්ම ගනවා කියලා මතයක් නම් නෑ. කොහොමටත් බෑන්ඩඩ් දේවල් එකතු කරන්න ඕනෑ කියලා අදහසක් මට කවදාවත් තිබුණේ නෑ.


ජීවිතයට ලැබුණු වටිනාම තෑග්ග?


මේ පාර උපන්දිනේන්ට මගේ ආදරණීය බිරිඳ දිනක්ෂිගෙන් බොන්ඩ් ගිටාර් එකක් ලැබුණා. ඒ තෑග්ගට මම ගොඩක් පුදුම වුණා. ඒ වගේන්ම ආදරෙන් දුන්න නිසා ඒක මිල කරන්න බැරි තෑග්ගක් විදිහට තමයි අදටත් මට ඒක දැනෙන්නේ.


දිනක්ෂි රසටම හදන කෑම එහෙම මොනවා ද?

ඩයට් ප්ලෑන් එකකට කන දවස්වලට නම් ඉතින් රසට කෑම හදනවාටත් වඩා වෙන්නේ ගුණය ආරක්ෂා වෙන විදිහට සෞඛ්‍යාරක්‍ෂිතව කෑම හදලා දෙන එක. ඒ හැරෙන්න ඉතින් සුමානයකට දවසක් වගේ දේශීය විදේශීය විශේෂ කෑම ඇය හදනවා අම්මාගෙන් අහගෙන. යූටියුම්වලින් එහෙම බලලා යුරෝපීය කෑම වර්ග එහෙම දිනක්ෂි රසට හදනවා. එවැනි දිනවලට නම් ඉතින් ආහාර පාලන සීමා මායිම් අමතක වෙනවා.


 ප්‍රේක්ෂක ආදරයක් නොඅඩුව ලැබෙද්දී, ජනප්‍රිය චරිතයක් බවට පත්වෙනකොට බිරිඳ සැක සංකාවකින් තහංචි දැමීම් එහෙම නැද්ද?


නැහැ, කවදාවත්ම. අපි දෙන්නාම එකම ක්ෂේත්‍රයක ඉන්න නිසා ඇය හරිම අවබෝධයෙන් ඉන්නේ. ඒ වගේයි සමහර වෙලාවට මම තැනකට සාමාන්‍ය විදිහට යන්න ගියත්, ඇය තමයි කියන්නේ එහෙම යන්න එපා ලස්සනට යන්න කියලා. ඇත්තම කියනවා නම් ඇය හරිම ආසයි මම ලස්සනට ඉන්නවාට, ලස්සනට අඳිනවාට, ප්‍රේක්ෂක ආදරයක් නොඅඩුව ලබනවාට. ඒක මා ලැබු භාග්‍යයක්


 සතුටින් ඉන්න මොනවා ද කරන්නේ?


අපි මොන දේ කරන්නෙත් සතුටින් ඉන්න නිසා සතුට කියන දේ හදවතේ හැම තිස්සේම රඳවා ගන්න නිතරම උත්සාහ කරනවා සහ ඊට අවශ්‍ය වාතාවරණයක් මම සකසාගෙන තියෙනවා. රාජකාරි නැතිව විවේකීව ඉන්න වෙලාවට මියුරු සංගීතයට සවන් දීම අපි දෙන්නාගේම විනෝදාංශයක්. ඊට අමතරව ඉතින් මොන විදිහට රාජකාරි බහුල වුණත් නිදහසේ අවිදින්න, ට්‍රැවලින්වලටත් වෙලාවක් වෙන් කරගන්නවාමයි. කොහෙවත් යන්න බැරි නම්, නිවසේ ව ත්ම පැදුරක් දාගෙන කෑම බීම ටිකක් තියන් කාලා, ගිටාරය අරන් සිංදුවක් එහෙම කියලා සතුටින් ඉන්නවා. සතුටින් ඉන්න තැනක්, වෙලාවක් අවශ්‍ය වෙන්නේ නෑනේ.



අද ඔබ ගත කරන ජීවිතය ගැන ඔබට මොකද හිතෙන්නේ ?


මම බෞද්ධයකු විදිහට හිතනවා කර්මානුරූපිවයි අපිට මේ හැම දේවල්ම ලැබෙන්නේ හෝ නොලැබෙන්නේ කියලා. ජීවිතේ කඩා වැටීම්වලදී හඩා වැටීම්වලදී පමණක් නොවේ ජයග්‍රහණ ලබද්දී, සතුටින් ඉද්දීත් මට හිතෙනවා. මේ හැමදේම මම පෙර කළ කරුමයක් අනුව ලැබෙන දේවල්වල ප්‍රතිඵලයක් ලෙසට. ඒ හැරෙන්න මම වාසනාවට සියලු දේ ලැබෙනවා කියලා හිතන කෙනෙක්වත්, වාසනාව නිසා දෙයක් ලැබෙනකන් බලන් ඉන්න කෙනෙක්වත් නෙවේ. සමහර අය හිතනවා අම්මාගෙනුයි, තාත්තාගෙනුයි ලැබුණු ආභාෂය නිසා මම ක්ෂේත්‍ර කිහිපයකින් දක්‍ෂයකු වී සිටිනවා කියා. නමුත් ආරෙන් දෙයක් ලැබුණ පලියට, කෙනෙකුට ක්ෂේත්‍රයක රැඳෙන්න බෑ. හැදෑරීම, අධ්‍යයනය, පුහුණුව, කැපවීම, අභියෝග ජයගැනීමේ හැකියාව වගේම රඟපෑම වගේ විෂයයකදී යාවත්කාලින වීමත් වැදගත්. මා මේ සියලු දේවල එකතුවකිනුයි ක්ෂේත්‍රයේ රැඳෙන්නේ.



ලෝකයේ ගරු කරන පුද්ගලයා කවුද?

ම්... එහෙම කෙනෙක් මේ ලෝකයේ ඉන්නවා නම් මම හිතන්නේ ඒ මගේ අම්මා. ඇස්පනාපිට කොන්දේසි විරහිතව ඇගෙන් ලබන ආදරය තමයි හැමදාම මට ශක්තියක් වුණේ. ඇගේ සිනහව, ඇගේ ලංගතුකම, අන් අය සමඟ සුහදව වැඩ කරන විදිහ, හැමෝටම ගරු කරන වටිනා චරිතයක් වෙනකොට නිහතමානී වෙන්න වගේ මහා පුදුමාකාර දේවල් ගොඩක් ඇගෙන් මගේ ජීවිතයට ලැබුණා. ලෝකයේම ප්‍රසිද්ධ චරිතයක් වුණ, ලෝකයේම රසික ආදරයක් මට ලැබුණේ ආඩම්බර නොවී මානුෂීය ගුණධර්මවලින් පොහොසත් වෙලා ජීවත් වෙන්න මට පන්නරය ලැබුණේ අම්මාගෙන්.



ඔබට වැඩිම ප්‍රේක්ෂක ආදරයක් ලැබෙන්නේ කාගෙන් ද?

ඒකේ විශේෂයක් නෑ. කුඩා දරුවෝ පවා මට ආදරයක් දක්වන බව, වැඩිහිටි මෑණිවරු පවා මට ආදරේ බව එවන දුරකථන ඇමතුම් SMS පණිවිඩ සහ සමාජ මාධ්‍ය හරහා එවන පණිවිඩවලින් දකින්න ලැබෙනවා.