මට රඟපාන්න පුළුවන් කියලා අම්මාවත් දැනගෙන හිටියේ නෑ - රිචි ප්‍රනාන්දු

Tuesday, June 15, 2021 , 0 Comments




රිචි ප්‍රනාන්දු මේ කාලයෙ තරුණ පරම්පරාව අතරෙ බොහොම ජනප්‍රිය චරිතයක්. ඔහු සම්බන්ධ වුණු ‘මිහි‘ සහ ‘සත් වර්ෂා‘ යන නිර්මාණ හාත්පසින් වෙනස් චරිත දෙකකිනුයි ඔහු ප්‍රේක්ෂකයා අතරට එන්නේ. කොවිඩ් කාලෙ ගෙදරට වෙලා කාලය ගතකරන මේ තරුණ රංගන ශිල්පියා  පුවත්පතක් සමඟින්  මේ විදියට විස්තර පවසා තිබුනා.


 


රිචී අපට කිව්වෙ මිහි නාට්‍යයේ ඔහු රඟපාන රන්දිකගෙ චරිතය නිසා සමහරු ඔහුට සාප කරන්නත් අරන් කියලා. රන්දිකගෙ චරිතය කපටි අවස්ථාවාදී තරුණයකුගේ චරිතයක්. ඔහුගේ සැබෑ ජීවිතයත් ඒ වගේමයි කියලා හිතෙන තරමටම ඔහු ඒ චරිතයට සාධාරණයක් කරලා.


“ වැඩිපුරම මට හොඳයි කියන්නෙ කොල්ලො... ඒක හරිම විශේෂයි. මේ චරිත නිසා බැණුම් අහනවා තමයි. ඒත් ඒක මරු. මේ ප්‍රතිචාරවලට මම කැමතියි.“ රිචී එහෙ කියමින්ම කතාවට එකතු වුණා. බැණුම් අහන රන්දිකගෙ චරිතයෙන්ම අපි කතාව පටන් ගත්තා.


මම ගැනම කියන එක හරි මදිනෙ. මං ගැන කියන්න ඕන මගෙ වටේ ඉන්න අය. ඔවුන් කියයි මම කවුද කියලා. ඒත් මම රන්දිකට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්.


පොඩිකාලේ ඉඳන් නළුවෙක් වෙන්න කැමැත්තක් මට තිබුණා. ඒත් ඒක හැබෑ කරගන්න ලැබෙයි කියලා කිසිම අදහසක් තිබ්බේ නැති වෙලාවක තමයි තුෂාර අයියා මට ‘මිහි‘ නාට්‍යයට කතා කළේ. මම මීට කාලයකට කලින් තුෂාර අයියගේ කෙටි නාට්‍යයකට සම්බන්ධ වුණා. මාව මුලින් තෝරලා තිබ්බේ මිහි නාට්‍යයෙ දේශාන්ගේ චරිතයට. නමුත් ඊට පස්සේ මගෙ ඇස් දෙක නිසා රන්දිකගේ චරිතය කරන්න ලැබුණා. මම අලුත් කෙනෙක්. ඒත් ඒ වැඩේ ඇතුළෙ එහෙම හැඟීමක් මට ඇති කළේ නෑ. අධ්‍යක්ෂවරයාගෙන් ලැබුණු සහායත් එක්ක වගේම හැමෝගෙන්ම ලැබුණු උදවු සහ මඟපෙන්වීම් එක්ක නිර්මාණයට සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියා හිතනවා. “


ඒත් රිචී ප්‍රනාන්දු ක්ෂේත්‍රයට එන්නෙ නිරූපණ ශිල්පියෙක් විදිහට. පස්සෙ වෙළෙඳ දැන්වීම් සඳහා සම්බන්ධ වුණා. රංගනයට එන්නෙ ඒ සියලු දේ අත්හැරලා. රිචී ඒ ගැන කියන්නෙ මෙහෙමයි.


“ මම මීට කලින් රැකියා පහක් විතර කළා. නමුත් ජීවිතය විඳන්න පුළුවන් කියලා හිතුණේ රංගනයෙන්. මුලින් නම් මම නිරූපණ ක්ෂේත්‍රයට එනවට හෝ රංගනයට එක් වෙනවට ගෙදරින් කැමැති වුණේ නැහැ. හැබැයි මම කරන දේවල් අනෙක් අය අගයද්දි මගේ අම්මට දැන් සතුටුයි. සමහරු අහනවා ඇත්තටම මේ රඟපාන්නෙ මමම ද කියලා. කොටින්ම අම්මටත් පුදුමයි. ඇයවත් දැනගෙන හිටිය නෑ මට රඟපාන්න පුළුවන් වග. දැන් අම්මට සතුටුයි මම ගැන.“


රුචි කියන්නෙ රංගනය පහසු දෙයක් නොවෙයි කියලා. රංගනය කියන විෂය වගේම තමන් කවුද යන්න තමන්ම සොයා ගෙන යන ගමනක ඔහු ඉන්න බව රුචී අපට කිවුවා.


“ මම වැඩ ඉල්ලගෙන යන කෙනෙක් නෙමෙයි. හැබැයි ඇතුළේ තිබෙන ලොකු තරගයත් එක්ක ප්‍රතිපත්ති සහිතව ජීවත් වෙන්න ලොකු සටනක් කරන්න වෙනවා. වැඩක් ලැබෙන්නෙ හිතවත් කම් මත. හිතවත්කම් ගොඩනගා ගන්න කඩේ යන එක කරන්න අමාරුයි.“


ඒත් රුචී කියන දක්ෂ තරුණ නළුවා එක් රාමුවක් ඇතුළේ කොටු වෙලා වගේ ද ?


“දුෂ්ටයගෙ චරිතය නරක නෑ. එය ප්‍රේක්ෂක ආකර්ෂණයෙන් ඈත් වෙන්න කාරණාවක් කියා මා හිතන්නෙත් නෑ. බොහෝ වෙලාවට වීරයින්ට වඩා දුෂ්ටයන් මිනිස්සුන්ට සමීප වෙනවා. ඒත් රාමුවක් ඇතුළෙ කොටු නොවී විවිධ චරිත කරන්න අවස්ථාව ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා.“


රිචී සල්ලිවලට ප්‍රමුඛතාවක් දෙන නළුවෙක් ද? 


සල්ලි නැති නළුවෙක් වෙන්න මම කැමැති නැහැ. ජීවත් වෙන්න සල්ලි ඕන. ගන්න මුදලට සාධාරණයක් කිරීමයි වැදගත්. මට මම ගැන සාධාරණ වටිනාකමක් තිබෙනවා. ඒය වැඩි ගාණක් නොවෙයි. ඒත් සමහරු හිතනවා මම වැඩි මුදලක් අය කරනවා කියලා.


රංගන ශිල්පියෙක් විදිහට දැන් ඔබ සතුටින්ද.?


සමහර වෙලාවට පසුතැවීමක් එනවා. හැබැයි මම මේ විෂය විඳිනවා. ඒකට ආදරය කරනවා. රංගනයට එළඹීමත් සමඟ සමහර අවස්ථා මට අහිමි වුණා. ‘ආශාවරී‘ ගීතයේ රූප රචනයට ඉදිරිපත් වීමත් සමඟ මට වෙළඳ දැන්වීම් අඩු වුණා.


එක වෙළෙඳ දැන්වීමකට මුදලුත් ගෙවලා ඒකෙන් මාව අයින් වුණා. හැබැයි ‘ආශාවරී‘ රූප රචනය ගොඩක් කතාබහට ලක්වුණා. ලංකාවේ මියුසික් වීඩීයෝවලින් වැඩිපුරම නරඹපු මියුසික් වීඩියෝ අතර තුන්වැනි තැනට ඒ වීඩියෝ එක ආවා.


ඒ මොන දේ වුණත් රංගනයෙන් ලබන තෘප්තිය වෙන කිසිම දේකින් උපයා ගන්න බෑ මට. දැනට මගේ එකම බලාපොරොත්තුව අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගෙන රංගනයේ හොඳ ගමනක් යන්න. ජනප්‍රිය වෙනවට වඩා දක්ෂයෙක් වෙන්නයි කැමැතියි. ඔය ඔක්කොම එක්ක හොඳ මනුෂ්‍යයෙක් ලෙස ජීවත් වෙන්න උත්සාහ කරනවා.