වසර 2ට පෙර ලියපු චිත්‍රපටයට තවමත් නිෂ්පාදකයෙක් නැහැ - ජනක කුඹුකගේ

Wednesday, April 07, 2021 , 0 Comments

 



රංගනයෙන් ඉසියුම් තැන් මනා සංයමයකින් සංස්පර්ශ කරන ඔහු ලැබෙන සෑම චරිතයකටම ඉහළ සාධාරණයක් ඉටු කරන්නේ නිරායාසයෙනි. වේදිකාව, රිදී තිරය වගේම පුංචි තිරය යන ත්‍රිත්වයේම ඔහුගේ රංගන කෞෂල්‍යයේ මතක සටහන් තබා ඇත. "ජනක කුඹුකගේ" ඉතිං ඔහුගේ මේ දවස් වල වැඩකටයුතු  ගැන පුවත්පතකට මෙලස විස්තර පවසා තිබුනා.  


කොහොමද මේ දවස්වල ජීවිතේ?

හොඳින් කාලය ගෙවෙනවා.


කලා කටයුතුවල විස්තර කොහොමද?

මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයක වැඩ කරගෙන යනවා. නාලන් මෙන්දිස්ගේ “නෑනලා" ටෙලි නාට්‍යයේ වැඩකටයුතු පසුගිය කාලයේ නිම කළා. සඳුන් රාජකරුණාගේ “නීලපබළු" ටෙලි නාට්‍යයේ හා සමන්කුමාරගේ “ඇය ටෙලි නාට්‍ය වැඩකටයුතු කරනවා. ඒ වගේම එරංග සේනාරත්නගේ “ඉලංදාරියෝ නාට්‍යය හා මංජුල යටතුරගේ නිර්මාණයකටත් මේ දවස්වල දායක වෙනවා. ඉදිරියෙදිත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා.



විදි නාට්‍ය ඔස්සේ රංගනයට පිවිසීම තුළින් රංගන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න රුකුලක් වුණාද?

ඔව්. මං ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ ආචාර්ය ගාමිණි හත්තෙට්ටුවේගමගේ වීදි නාට්‍ය තුළින්. ඉන්පසු වේදිකා නාට්‍ය තුළින් ටෙලිවිෂනය හා රිදී තිරය ආක්‍රමණය කරනවා. ගහක් වුණත් රඳා පවතින්න හයිය මුල් අවශ්‍ය වෙනවා.

පස මතුපිට ගහක් විශාලෙට හැදුනත් ශක්තිමත් මුල් නැත්නම් කඩා වැටෙනවා. මං මුලින්ම බලපු ෆිල්ම් එක ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ “ඒකාධිපති” චිත්‍රපටය. ඒ චිත්‍රපටය මගේ ජීවිතයට බෝම්බයක් ගැහුවා වගේ. එතැනදි මං තේරුම් ගන්නවා රංගනය කියන්නේ ආවාට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එය හැදෑරිය යුතුයි. මහාචාර්ය ගාමිණි හතෙට්ටුවේගමගේ නාට්‍ය වැඩමුළුවකට ආරාධනා කරන දැන්වීමක් දකින්නේ ඒ කාලයේදී.


එතැනින් පසුව මොකද වුණේ?

ඒ නාට්‍ය කණ්ඩායම ඇතුළේ එච්. එම්. පෙරේරා, දීපානි සිල්වා, ගාමිණි හෙට්ටිආරච්චි, පරාක්‍රම නිරිඇල්ල ඇතුළු දැවැන්තයන් සමග කටයුතු කරන්න මට අවස්ථාව ලැබෙනවා.  එම වසරක වැඩමුළුවෙන් පසුව එම විදි නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වීමට මට හැකියාව ලැබුණා. එසේ රංගනයට පිවිසීමෙන් පසුව ඒ පිළිබඳව ස්වයංව අධ්‍යයනය කළා. ඉන්පසු ජර්මන් නාට්‍යකරුවකු වන ග්ලවුස් කෘසන්ගේ හා සෝමලතා සුබසිංහගේ වැඩමුළුවලට සම්බන්ධ වුණා. එයින් ලද පන්නරයෙනුයි අද මං කැමරාව ඉදිරියේ නැඟී සිටින්නේ.


කලාවට පිවිසෙන අලුත් පරම්පරාවට ඒ ආකාරයට රංගනය හදාරන්න අවස්ථා තියෙනවාද?

ඒක තමයි තියෙන ලොකුම ඛේදවාචකය. එසේ රංගනය හදාරන පාසල් තවම අපේ රටේ ස්ථාපිත කරලා නැහැ. කලාකරුවන් විදිහට බොහෝ රජයන්ට ජාත්‍යන්තර ප්‍රමිතියක් සහිත රංගන පාසල අවශ්‍යතාව දැනුම් දුන්නා.

නමුත් මෙතෙක් ඒ පොරොන්දුව ඉටු වෙලා නැහැ. බොඩිබිල්ඩ්ස්ලා , අවුරුදු කුමාරයෝ, ගායකයන් රංගනයට පිවිසෙන්නේ එසේ රංගනයට ප්‍රමිතියක් නැති නිසා. අමාරුම විෂය පද්ධති 10 ට රංගන විෂය ඇතුළු වෙනවා. නමුත් එසේ සංකීර්ණ විෂයක් ඕනෑම කෙනෙක්ට කරන්න පුළුවන් විදිහටයි ලංකාවේ පැළ වෙලා තියෙන්නේ. ඒ ඛේදවාචකය තුළ අපි හැමෝම තල්ලු වෙනවා.


නවක නළු නිළියන් සමඟ ඔබ කරට කර වැඩකටයුතු කරනවා. ඔබ දකින අහසින් කඩත් වුණු ස්වභාවය ඒ නවකයන් තුළිනුත් දකිනවාද?

අද වෙනකොට දක්ෂ නවකයන් පිරිසක් බිහිවී පවතිනවා. නමුත් ඔවුන්ට සුදුසු වටපිටාවක් අපේ රට තුළ ගොඩනැඟිලා නැහැ. උසස් පෙළට විද්‍යා විෂයන් හැදෑරුවට හැමෝටම  වෛද්‍යවරුන් වෙන්න බැහැ. වෛද්‍යවරුන් ලෙස ආයතනගත වෙලා ඒ සඳහා පුහුණු වීම අත්‍යවශ්‍යයි. ඒ වගේම රඟපෑමට ඒ පිළිබඳව අධ්‍යාපනයක් නැත්නම් ඔවුන්ට රංගන ශිල්පීන් වීමේ අවකාශ නැහැ. මෙකී ගැටලුව රංගන ශිල්පීන්ට විතරක් සීමාවුණු දෙයක් නෙවෙයි. පිටපත් රචකයන්ට, කැමරා ශිල්පීන්ට ආදී කලාවට සම්බන්ධ සෑම කෙනෙක්ටම ආයතනික මගපෙන්වීමක් අවශ්‍යයි. නලාව තුළ ස්පර්ෂ වෙන්නේ ජීවත්වීම කියන සංකීර්ණ විෂය. එය විද්‍යානුකූලව හැදෑරිය යුතුමයි. එය නියතයක්.


ජීවිතයේ සැදෑ සමයේ බොහෝ කලාකරුවන් ආර්ථිකවත් මානසිකවත් දැඩි සේ කඩා වැටෙනවා. එවැනි තත්වයන් ඇති වෙන්නේ ඇයි?

රටක සංස්කෘතික ගමන් මාර්ගය තීරණය කරන්නේ ඒ රටේ කලාව වගේම සාහිත්‍ය. රටේ සංස්කෘතියේ සියයට 80ක බර දරන්නේ කලාව. ඒ නිසා රටේ දේශපාලනය, කලාකරුවන් වෙනුවෙන් පනත් ගෙනැවිත් ඔවුන්ගේ සුබසාධනය සැලසිය යුතුමයි. නමුත් සිදුවන්නේ කලාකරුවන්ගේ කරමතින් ගිහින් ජනතා ප්‍රසාදය ලබාගෙන කලාකරුවන්ට පයින් ගහන  එක.


රටම කඩන්වැටුණු අවධියක, මිනිස් සුබසාධනය අහිමිවුණ රටක කලාව විතරත් සුපුෂ්පත තැනක පවතින්න විදිහක් නැහැ. කලාවක් තියෙන්නේ ඒ ගොඩේමයි. අනෙක් රටවල කලාකරුවන් කල්පනා කරන්නේ මගේ අතින් කලා නිර්මාණය ගොඩනගන්නේ කොහොමද කියලා. නමුත් අපේ රටේ කලාකරුවන් කල්පනා කරන්නේ ඊළඟ වේල කන්නෙ කොහොමද?


ගෙදර බිල් ගෙවාගන්නේ කොහොමද කියලා. අනෙක් රටවල කලාකරුවන්ට ඔවුන්ගේ හැකියාවට සරිලන මුදලක් ලැබෙනවා. ඒ නිසා ඔවුන්ට අවධානය දෙන්න අවශ්‍ය නිර්මාණයට සාධාරණයක් ඉටු කරන්නේ කොහොමද කියන කාරණයට විතරයි. ඒ නිසයි ඒ රටවල උසස් නිර්මාණ බිහිවනෙත් අපේ රටේ එසේ නොවන්නේත්.  


කලාකරුවන්ට කලාවෙන්ම පමණක් ජීවත් වෙන්න අපහසුයි කියලද ඔබ පවසන්නේ?

කලාව කියන්නේ ලෝකයේ ඉහළම මිල නියම වන වෘත්තිය. එය පිටපත් රචකයන්ට, කැමරා ශිල්පීන්ට, රංගන ශිල්පීන්ට ඔවුන්ගේ කැපවීමට සරිලන වැටුපක් ලැබෙන වෘත්තියක්. නමුත් අපේ රටේ රූගතකිරීම්වලට යන අපේ වාහනේන්ට අපිම පෙට්රල් ගහන් යන්න ඕන තත්වයක් තියෙන්නේ. ඒ නිසාම ඒ නිර්මාණවලින් අපට ඉවත්වෙන්න සිදුවූ අවස්ථාත් තියෙනවා.


පුංචි තිරයේ ඔබව නිතර දැක්කත් ඊට සාපේක්ෂව රිදී තිරයේ දකින්නේ තරමක් දුලබව ඒකට හේතුව මොකක්ද?

ඒක අධ්‍යක්‍ෂවරුගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්. සිනමාව ඇතුළේ මට චරිත ලැබුණේ ඉතාමත් සීමිතව. ඒ චරිතවලට මගේ ශක්ති ප්‍රමාණයෙන් සාධාරණය ඉටු කළා. මං මගේ පාඩුවේ වැඩ කටයුතු කරන කල්ලි සංගම්වලට සම්බන්ධ නැති කෙනෙක්. ඒකත් හේතුවක් වෙන්න ඇති චිත්‍රපටවලට ආරාධනා නොලැබෙන්න.


වෘත්තිය තුළ ලැබුණු අවස්ථාවන් හා වර්තමාන මොහොත ගැන ඔබ තෘප්තිමත් නැද්ද?

හොඳ අවස්ථාවන් ගණනාවක් මට ලැබිලා තියෙනවා. ඒ අවස්ථාවන්ට මගේ උපරිමයෙන් සාධාරණය ඉටු කරලා තියෙනවා. නමුත් වර්තමානයේ සමස්ත කලාව ගැන මං තෘප්තිමත් නැහැ. තියෙන ප්‍රධාන ගැටලුව අපේ නිර්මාණවලට නිසි මිලක් නියම නොවීම. 


රංගන ජීවිතයෙන් ඉදිරි පියවරක් තබන්න බලාපොරොත්තුවක් තියෙනවාද?

චිත්‍රපට පිටපතක් අවුරුදු 2ක් පමණ කාලයකට උඩදි මං ලියන්නේ . නමුත් ඒ සඳහා වැය වන මුදල ලබාදෙන්න කිසිම නිෂ්පාදකවරයෙක් ඉදිරිපත් වුණේ නැහැ. සිහිනයක්ම තියෙනවා අධ්‍යක්‍ෂණයට යොමුවෙන්න. ඒ සිහිනය මියැදෙන්නත් පුළුවන්. යම් දවසක හරියන්නත් පුළුවන්.


විශ්මි ජයනිකා