රයන්ගේ චරිතය තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ - ශිහාන් මධුෂ

Friday, April 02, 2021 , 0 Comments




මේ දිනවල කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වී සිටින අලුත් මුහුණු අතර ශිහාන් මධුෂ කියනෙත් කතා බහට ලක්වෙලා ඉන්න චරිතයක්. ඔහු ඔහුගේ අලුත් තොරතුරු ගැන මෙලෙස පුවත්පතකට කියා තිබුනා.


 මේ දිනවල නියැළෙන නිර්මාණ ගැන කතා කළොත්?

මම සම්බන්ධ වෙලා හිටපු ටෙලි නාට්‍යයක විකාශය මෑතක දී නිමාවට පත් වුණා. ඒ රවීන්ද්‍ර විජේරත්න සහ තරංග දිසානායකගේ නිර්මාණ කටයුත්තක් වන අපි අපේ ටෙලි නිර්මාණය. ඊට අමතරව ප්‍රධාන වශයෙන්ම නියැළිලා හිටියෙ සිරස නාලිකාවේ විකාශය වූ නීල පබළු එක්ක. ඒවට අමතරව නම් මේ වෙද්දි අලුත්ම ටෙලි නිර්මාණ තුනකටත් සිනමා නිර්මාණකයටත් ආරාධනා ලැබිලා තියෙනවා.


නීල පබළු හි රයන්ට මොකද වුණේ? ෂිහාන් පේන්න නැති නිසා ආදරණීය ප්‍රේක්ෂකයා  ඒ ගැන විමසනවා ඇති? 

 ඔව්. ගොඩක් දෙනෙක් මගෙන් අහනවා ඇයි කතාවෙ පෙන්න නැත්තේ කියලා. ඇත්තටම කතාවෙ පොඩි වෙනසක් සිදු වෙලා තියෙනවා මේ වෙද්දි. ඉතින් අපි කතාවෙන් ඉවත් වෙලා නැහැ. ඉදිරියේදි එනවා. ඒ වෙනස්ම විදියකින්. විශේෂයෙන්ම කියන්න ඕනෑ  මේ චරිතයට අද වෙද්දි ගොඩක් දෙනෙක් ආදරය කරනවා. ඒ නිසාම වෙන්න ඇති ඇයි රයන් පේන්න නැත්තේ කියලා ගොඩක් දෙනෙක් විමසන්නේ. සමහර වෙලාවට ප්‍රේක්ෂකයෝ මේ පිළිබඳ අහද්දි අසරණ වෙනවා. නමුත් ඉදිරියේදී නැවතත් අපිව දැක බලා ගන්න පුළුවන් වෙයි.



 රයන්ගේ චරිතය ෂිහාන්ගේ ජීවිතයට ලොකු වෙනසක් සිදු කළා නේද?

ඇත්තටම ඔව්. රයන්ගේ චරිතය තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. ඒ හරහා මට  ගොඩක් දෙනෙක්ගේ ආදරය ලැබුණා. කලා ක්ෂේත්‍රයේ යම් කිසි ගමනක් යන්න පුළුවන් වුණා. මට අදටත් මතකයි 2017.12.09 දවසෙ තමයි මම මුලින්ම තිර පරීක්ෂණයට යන්නේ. එදා මට අවස්ථාව ලැබෙනවා තිර පරීක්ෂණයෙන් තේරිලා රයගේ චරිතයට සම්බන්ධ වෙන්න. එතැනින් පසුව මම අවුරුද්දක කාලයක් නීල පබළු එක්ක රැඳිලා හිටියා. වෙනත් නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණත් ගොඩක්ම කතා බහකට ලක් වුණේ නීල පබළු චරිතය. එය නපුරු චරිතයක් වුණත් බැනලා හරි ගොඩක් දෙනෙක් ප්‍රතිචාර දැක්වුවා.


• පසුව ‘අපි අපේ’ නිර්මාණය හරහා වෙනස්ම චරිත රංගනයට ගියා නේද?

මගෙන් ගොඩක් දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි නපුරු චරිත විතරද රගපාන්නේ කියලා.. වෙනත් චරිතවලින් දකින්නත් ආසයි කියනවා. ඉතින් ඒ හැමදේටම පිළිතුරු අපි අපේ හරහා මම ලබා දුන්නා. මොකද අපි අපේ ටෙලි නිර්මාණයේ සංරක චරිතය ඇතුළෙ විවිධාකාර චරිත රංගනයන්වලට යන්න තිබුණා. මුලින්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදියට රංගනයෙන් දායක වෙන්නේ. විශ්වවිද්‍යාලයේ දක්ෂතම ශිෂ්‍යයා තමයි ඔහු. ඒ නිසාම ඔහුට ඒ තුළ

කෙණෙහිලිකම් කරන පිරිසකුත් ඉන්නවා. මට මුලින් විශ්වවිද්‍යාලයේ ආදරවන්තයෙක්. පසුව එහිදී මුහුණදෙන්න වෙන ගැටුමක් එක්ක ඔහු ආබාධිතයෙක් බවටත් පවත්වෙනවා. ඉතින් ඒ සංජක චරිතය තුළ ගොඩක් දේවල් කරන්න


 ඉදිරියට තවත් වෙනස් චරිතවලින් එන්න තියෙනවද?

ඉදිරියට සටන් නළුවෙක් විදියට රිදී තිරයට එන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. මමත් ඇත්තටම ගොඩක්ම ආසාවෙන් ඉන්නේ එවැනි චරිතයකට සම්බන්ධ වෙන්න. මොකද ඒ  දේවල්වලට දෙන්න පුළුවන් උපරිමය මට ලබා දෙන්න පුළුවන් හැකියාවන් ගොඩක් මගේ ළඟ තියෙනවා. ඉතින් ඉදිරියේදී මගේ ඒ හීනයට බලාපොරොත්තුවට යන්න තමයි මට ඕනෑ.


• සටන් නළුවෙක් වෙන්න ෂිහාන්ට මොනවද තියෙන හැකියාවන්?

හැකියාවන් කියන්න මම පුංචි කාලේ ඉඳන්ම ක්‍රීඩා පැත්තෙන් ඉදිරියටම ගිය ක්‍රීඩකයෙක්. පාසල් යන කාලෙදි වැඩිපුරම කළේ ක්‍රීඩා. නොකරපු ක්‍රීඩාවක් නැති තරම්. මළල ක්‍රීඩා, පාපන්දු, වොලිබෝල් ක්‍රිකට්, බොක්සින්, ටයිකුන්ඩු, වූෂු, ජිම්නාස්ටික් මේ හැමදේම කළා. ඉතින් ඒ හැම ක්‍රීඩාවකින්ම ජයග්‍රහණ රැසක් ලබාගෙන තියෙනවා.


ඉතින් හොඳ ක්‍රීඩකයෙක් නොවී ඇයි නළුවෙක් වුණේ?

මගේ හීනයක් බලාපොරොත්තුවක් තිබුණා නළුවෙක් වෙන්න. ඒ නිසාම ක්‍රීඩා පැත නතර කරලා තමයි මේ ක්ෂේත්‍රයට ආවෙ. ඒ නිසා අනිත් දක්ෂතා කැප කරන්න වුණා. නමුත් ඒ හැම දක්ෂතාවක්ම තවම මගේ ඇඟේ තියෙනවා. දැන් කලා ක්ෂේත්‍රයට ආවත් ඒ දක්ෂතා ප්‍රයෝජනයට අරගෙන කලාවේ නිරත වෙන්න තමයි කැමති. අද නළුවෙක් නොවුණනම් මම ක්‍රීඩා අංශයෙන් ඉදිරියට යයි. පාපන්දු ක්‍රීඩාව තමයි විශේෂයෙන්ම කළේ. නමුත් නළුවෙක් වෙලා අද ලබන ප්‍රතිචාර සහ ඒ ආදරය මට ලොකු සතුටක්. ඒ වගේම ලොකු තෘප්තියක් ඒ තුළින් ලබනවා.


 අද ඒ ලබන ආදරය ගැන මොකද හිතෙන්නේ ?

ඇත්තටම මේ ඇවිල්ලා තියෙන පොඩි ගමන ගැන ගොඩක්ම සතුටුයි. තව යන්න තියෙන ගමන ගොඩක් දුරයි. ඉතින් මේ තැනට එන්න මට ගොඩක් දෙනෙක් උදව් කළා. මම මේ  ක්ෂේත්‍රයට මුලින්ම එන්නේ රුවන් අයියා හරහා. ඒ වගේම රවීන්ද්‍ර විජේරත්න, තරංග  දිසානායක සහ බලංගොඩ වීරසූරිය අයියාව විශේෂයෙන් මතක් කරන්න ඕනෑ. ඒ වගේම  නම් වශයෙන් නොකිව්වට වචනයෙන් හරි උදව් කරපු හැම දෙනාටම විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕනෑ මගේ මේ ගමනට ශක්තියක් වුණාට. මොකද මගේ පවුලේ කිසිම  කෙනෙක් කලාවට සම්බන්ධ අය නෙමෙයි. මගේ මහන්සියෙන් ලොකු කැප කිරීමකින් මේ ගමන මම ආවේ. ඉතින් ඉදිරියට හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙලා රටක් ආදරය කරන රංගන ශිල්පියෙක් වෙන්න තමයි මගේ අරමුණ වෙන්නේ.


ධනු විජේරත්න