කෑම රසයි කියපුවාම හිතට දැනෙන්නේ සතුටක් - නිමන්ති පෝරගේ

Friday, April 02, 2021 , 0 Comments

 


නිමන්ති පෝරගේ, දක්ෂ රංගන ශිල්පිනිය ඔබට හොඳට හුරුපුරුදු ඇති නිතර රූපවාහිනියේ දක්නට නොලැබුණත් සෑම රංගනයකින්ම ඔබේ හදවතේ ලැගුම් ගන්න ඇයව  ලස්සන කුස්සියේදී රසවත් කෑම උයන හැටි ගැන මෙලෙස පුවත්පතට විස්තර කියා තිබුනා.


ඔච්චර හදිසියෙන් උයන්නේ? 

මම කුස්සියේ වැඩ කරන්නේ මෙහෙම තමයි. හරි ඉක්මනට ඉක්මනට උයන වැඩටික ඉවර කළාම දවසේ කරන්න තියෙන වැඩවලින් ගොඩක් ඉවර වුණා වගේ තමයි දැනෙන්නේ.


 සාමාන්‍යයෙන් උයන්න කොච්චර වෙලා යනවාද?

කාගේවත් සහයක් නැතුව පොලුත් ගාගෙන එළවළු, පලාවර්ග ඔක්කොම කපලා ව්‍යංජන 4 ක් විතර හදාගන්න පැයකින් පුළුවන්.


 ඔබ උයන කෑමවලින් ගෙදර හැමෝම රස කර කර කන්න ආස මොනවාද?

මම හදන කෑමවලින් හැමෝම ආසාවෙන් කනවා පැස්ටයි, මැකරෝනියි. ඒ වගේමයි රසට හදන චිකන් ස්ටු එකටත් හැමෝම කැමතියි.


 හැම කෑමක් වගේම ගෙදරදීම හදා ගන්නවාද?

ඔව්. අම්මා මගේ ළඟ ඉන්නේ. අම්මාට ඕන කෑමක් රසට හදන්න පුළුවනි. රෑට කන්න ඉඳිආප්ප, පොල් පිට්ටු, මනිපිට්ටු ,තෝසේ, ආප්ප, වගේ ඕන දෙයක් හදන්න අම්මාට පුළුවන්. අම්මා හදන කෑමවලට ව්‍යාංජන හදන්නේ නම් මම. හදන කෑමට ගැලපෙන විදිහට කිරිමාළු, චිකන් කරි, කට්ට සම්බෝල, පොල් සම්බෝල රසට හදලා ගන්නවා.


කෑම රසවෙන්න අත්ගුණය බලපානවා කියලා ඔබ හිතනවාද?

මෙහෙමයි. අපි යම් කෑමක් හදන්න දක්වන හැකියාව, උනන්දුව අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. මොකද දන්නවාද මම එහෙම කියන්නේ මම හදන චිකන් කරියේ රස, තුනපහ වර්ගම දැම්මත් අම්මට රසට ගන්න බෑ. ඒ වගේමයි අම්මා කළුවට, තෙල් බේරෙන්න හදන පොළොස් ව්‍යංජනයේ රස මට ගන්නත් බෑ. ඒ හැමදේම පුරුද්දත් එක්ක ලැබෙන්නේ.


ඉවුම් පිහුම් කරද්දී අදා බැලීම් එහෙම කරනවාද?

ඔව්.. ඔව්.. සමහර කෑම වර්ග යූ ටියුබ් එකෙන් බලන් හදනකොට, විඩියෝ දහයක් විතර බලලා, මම කැමති විදිහට ගෙදර තියෙන ජාති දාලා අමුතු අමුතු කෑම වර්ග හදනවා. කොයි කෑම හැදුවත් හැමෝටම ගැලපෙන,  සෞඛ්‍යාරක්ෂිත විදිහට තමයි කෑම හදන්නේ. 


අතුරුපස වර්ගත් හදන්න දන්නවාද?

ජෙලි වර්ග, චොකලට් මූස් වගේ දේවල් පොඩි අයට නිතර හදනවා. 


 ඉවුම් පිහුම් වැඩ එපා වෙන්නේ නැද්ද?


සමහර වෙලාවට එහෙම දැනුනත්, දරුවන් වෙනුවෙන්, ස්වාමියා වෙනුවෙන් හොඳම දේ දෙන්න ඕන නිසා අයේත් ඉතිං සුපුරුදු විදිහටම ආසාවෙන් උයනවා.


ආසාවෙන් උයද්දී රස වැඩිවෙනවාද කෑම වල?

ආදරෙන්, කැමැත්තෙන් හදන කෑම රස වෙනවා.


 අරපිරිමැස්ම ගැන මොකද හිතෙන්නේ.

මම හැම වෙලාවෙම හිතන දෙයක් වගේම දරුවන්ටත් කියන දෙයක් තමයි, අපි මේ  ලේසියෙන් කෑවා බිව්වට, මොනතරම් පිරිසකගේ දහඩිය මහන්සියෙන්ද අපි බත් කටක් රසට කන්නේ කියලා. එනිසා අපේ ගෙදර අහක දාන දේවල් නරක් වෙලා විසි කරන දේවල් හරි අඩුයි. දුක් මහන්සියෙන් හම්බ කරන දේවල් රුපියලක්වත් අහක යනවා දකින්න මම ආසා නෑ.


 මුළුතැන්ගෙයි කටයුතු කරද්දි ඔබ අනුගමනය කරන විශේෂ දේවල් මොනවාද? 

මම හරිම කැමතියි උයලා ඉවර වුණ ගමන්ම මුළුතැත් පිරිසිදු කරලා ඉව්වේ නෑ වගේ පිළිවෙලට තියෙනවාට. ඒ වෙනුවෙන් කරන ප්‍රධානම දේ තමයි උයලා ඉවරවුණ ගමන්ම ඇතිලිවල තියෙන ව්‍යාංජන උණුසුම රැඳෙන භාජනවලට දාලා ඇතිලි වළං ඔක්කෝම ඉක්මනටම හෝදලා දාන එක. එහෙම කරාම හිතට ලොකු නිදහසක් දැනෙනවා.


සිංදු අහන්න ටීවී බලන්න පුරුදු වෙලා ඉන්නවාද උයන වෙලාවට.


නැහැ. ඉක්මනින් ඉක්මනින් වැඩ කරන කොට ඒක හරි වදයක් විදිහටයි මට පේන්නේ.


 ඔබ උයන දේවල් පවුලේ අය අගය කරනවාද? 

සමහර වෙලාවට අගය කරනවා. ඒ ඇරත් මම බලෙන් හරි අගය කරවා ගන්න වෙලාවලුත් තියෙනවා. රසට කෑම හැදුවාම කාගෙන කාගෙන යනකොට මම බලෙන්ම ළඟට ගිහින් අහනවා අද කෑම රසයි නේද කියලා. එතකොට ඔව් කියනවා. එතකොටත් ඉතිං හරි සතුටක් දැනෙනවා.


සාමාන්‍යයෙන් උදේ කීයටද ඔබ අවදි වෙන්නේ.

මොනතරම් රෑ වෙනකං ඇහැරිලා හිටියත් උදේම නැගිටින පුරුද්දක් නම් මට තියෙනවා. මම හිතන්නේ දවසෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න නම් ගෙදර මම උදේම නැගිටින්න ඕනේ. සැළසුම්කරණය, කළමනාකරණය කියන දේ වඩාත් හොඳට නිවසක් තුළ ස්ථාපිත කරන්න පුළුවන් මව, බිරිඳ, ගෘහණිය කියන මේ චරිත තුනටම පණ පොවන අපිටම තමයි. ඒ නිසා උදෑසන අවදි වෙන එක මගේ දෛනික ජීවිතයේ කොටසක්. සමහර ගෑනු අය උදේ 10 - 11 වෙනකං නිදාගෙන මුළු දවසේම වැඩ පස්සට දාගෙන, මුළු ජීවිතයම පස්සට දාගන්න හැටි අපි ඕනෑ තරම් දැකලා තියෙනවා.


උදේ අවදි වුණ ගමන්ම මොකද කරන්නේ?


පාන්දර තුනට නැගිට්ටත් මම කරන පළමු රාජකාරිය තමයි හොඳට බොඩි වොෂ් එකක් දාලා පිරිසිදු වෙලා රාත්‍රී ඇඳුම ඉවත් කරලා අලුත් ඇඳුමක් දාගන්න එක. රාත්‍රී ඇඳුමෙන් උදෑසන කාලයේ ඉන්නවා කියන එක මම අප්‍රසන්න දෙයක් විදියට දකින්නේ.