ණයට බඩු ගන්න ගිහින් කුණු බැණුම් ඇහුවා - සදුන් පෙරේරා

Friday, April 09, 2021 , 0 Comments



සදුන් පෙරේරා කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය කවුරුත් ආදරේ කරන  ගායකයෙක්. ඉතිං ඔහු ඔහුගේ ජිවිතේ විශේෂ මතකන් ගැන මෙලෙස පුවත්පත් සමඟින් පවසා තිබුනා..


සඳුන්.... ඔයාගේ ජීවිතේ ආපස්සට හිතලා බලද්දී අමතක නොවුණ මතකයන් බොහොමයක් තියෙනවා. ඔයා ජීවිතය පටන් ගත්තේ කොතැනින්ද?

මම පවුලේ එකම පිරිමි ළමයා. මට අක්කා කෙනෙකුයි, නංගි කෙනෙකුයි ඉන්නවා. අම්මා තාත්තා එක්ක අපි තුන්දෙනා ගතකරපු ඒ අතීතය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ අතීතයට අදටත් මම හරි ආදරෙයි. පුංචි කාලේ ඉඳන්ම මගේ ජීවිතේ යම් අරමුණක් ඇතිව ගතකරපු කෙනෙක්. මහ ලොකු දැනුමත් තේරුමක් නැති කාලේදී වුණත් පුංචි කාලේදිම ඇහැට දැකපු, සහ හිතට දැනිච්ච දුක් කන්දරාවක් එක්ක මේ හැම දේම දිනන්න ඕනේ කියන අරමුණ මට තිබුණා.


ඒ කියන්නේ.... පුංචි කාලේ සඳුන් වින්දේ ජීවිතේ කටුක අත්දැකීම්...?
ඔව්... අපි ණයට අරගෙන ඒ ණය ගෙවන්න තව ණය අරගෙන ඒවා වැල් පොලී වෙච්චි ආර්ථික අපහසුතා තියෙන අතීතයක් මට තියෙනවා. මම මොරටුවේ කොල්ලෙක්. මගේ අම්මයි තාත්තයි දෙන්නම ඒ දවස්වල ගාමන්ට් එකක වැඩට ගියා. මගේ තාත්තා ඒ ගාමන්ට් එකේ මැෂින් ක්‍රියාකරුවෙක් විදිහටත්, අම්මා ඇඳුම් මහන්නියක් විදිහටත් වැඩ කළා. ඒ දෙන්නා මාවයි, අක්කවයි, නංගිවයි හැකි උපරිමයෙන් ජීවත් කරවන්න උත්සාහ කළා. මගේ තාත්තා පිටරට යන්න ගිහින් කෙනෙක්ට සල්ලි දීලා ඒක නොලැබී ගියා. ඒ සල්ලි ගෙවන්න තව තැනකින් සල්ලි ගන්න අපිට සිදුවුණා.... ඒක හරි කටුක අත්දැකීමක්.


තාත්තා ගත්තු ණය ඉල්ලගෙන මිනිස්සු ගෙවල්වලට එද්දී හිතරිදුණු තැන් අනන්තවත් ඇති නේද..?
අම්මෝ ඔව්... තාත්තා හැමදාම උදෙන්ම වැඩට ගියා. නමුත් අම්මා වැඩට ගියේ අපි තුන්දෙනාව ඉස්කෝලේ යන්න සූදානම් කරලයි. ඒ නිසා ඔය පොලී මුදලාලිලා ගෙදරට එන්නේ උදේ වරුවෙයි. ඒ වෙලාවට අම්මාට තමයි ඒ හැම බැණුමක්ම අහන්න සිද්ධ වුණේ. ඒ හැමදාකම උදේ පාන්දර ඉස්කෝලේ යන්න ලෑස්ති වුණු අපි හැමදාම ඔය මුදලාලිලාගෙන් කුණු බැණුම් අහගත්තා. සමහර දවස්වල අපේ අම්මට අත උස්සපු දවස් පවා තිබුණා. ඒ හැම දෙයක්ම දැකලා &මම මේ අරමුණ කොහොම හරි දිනනවාමයි* කියලා හිතුවා. මගේ අරමුණ වුණේ මම මේ හැමදේම දිනලා මගේම වාහනයකින් මගේ රත්තරන් අම්මව එක්කගෙන ගිහින් මේ මිනිස්සු ඉස්සරහ බස්සනවා කියලා.


කඩේ ණය පොත උස්සගෙන කඩේට ගිය සඳුන්ට කඩේ මුදලාලිගෙනුත් අමතක නොවුණ මතකයක් ලැබුණා නේද?
ඔව්... අපි ඉස්සර බඩු ගන්නේ ණය පොතට. අපේ ගේ ළඟ ඉඳන් කඩේට ටික දුරක් තියෙනවා. මම තමයි හැමදාම උදේට කෑම ගේන්න කඩේට ගියේ. ඈතදීම ණය පොතත් උස්සගෙන එන මාව දකින මුදලාලි &මූසලකමට උදෙන්ම ණයට ගන්න එනවා* කියලා කියනවා මට ජීවිතේ අනන්තවත් ඇහිලා තිබුණා. සල්ලි නැතිකමට වෙන දෙයක් කරන්න මට තිබුණේ නැහැ. පොඩි කාලේ නිසා ඒක වැඩිය මට නොතේරන්න ඇති. හැබැයි මේ මිනිස්සු මට බණිනවා  කියලා ඇහැට කඳුළක් එන විදිහේ හැඟීමක් එදා මට දැනුණා. ඒ නිසා ටික කාලයකදී මම මගේ යාළුවන්ගෙන් රුපියල් පහක්, රුපියල් දහයක් ඉල්ලාගෙන ඇවිත් උදේට ණය පොත දෙන්න කලින් ඒ සල්ලි දීලා ගනුදෙනු කරලා ඉතිරි මුදල පොතට දාගත්තා.



සඳුන්ගේ අම්මයි තාත්තයි මාස්පතා වැටුප් ලැබූ සේවකයෝ. ඒ දෙන්නට ඒ වැටුප ලැබෙන දවස පස්දෙනාගේ ජීවිතේ කොහොමද?
ඒක තමයි මාරම මාර සතුටු වෙන දවස. එදා තමයි අපේ ජීවිතේ ලස්සනම දවස වුණේ. එදාට අපි තුන්දෙනාට රහ ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න ලැබුණා. එහෙමත් නැත්නම් අපි තුන්දෙනා ආසා කෑමක් තාත්තා අපිට ගෙනත් දුන්නා. අපි බිත්තර ආප්පයක් රහට කන්නේ තාත්තයි අම්මයි පඩි ගත්තු දවසටයි. හැබැයි ඒ දෙන්නා පඩි අරගෙන ගෙදර එන්නේ හැමතැනටම වෙච්චි ණය සල්ලි, පොලී සල්ලි ගෙවලා ඉවරවෙලයි. ඒ නිසා ඒ ද‌ෙන්නා ගෙදරට ගේන්නේ පඩියෙන් බොහෝම පොඩි ගාණක් විතරයි. එදාට තමයි අපි පස්දෙනා හිනාවෙලා හොඳ කෑම වේලක් කෑවේ. බොහෝ දවස්වලට මගේ අම්මා කන්නෙම නැති තරම්. මට තාම මතකයි මගේ අම්මා ඉස්සර දංකුඩ තමයි වැඩියෙන්ම කෑවේ. අපි ඒ ගැන ඇහුවහම &ඒක තමයි රහ* කියලා කිව්වට ඒ අපේ දුප්පත්කම, අසරණකමයි...


සඳුන් ඉගෙන ගත්තේ....?
මම මුලින්ම ඉගෙන ගත්තේ මොරටුව ද සොයිසා නවෝද්‍ය මහ විද්‍යාලයෙයි. මමයි, අක්කයි, නංගියි අපි තුන්දෙනාම ඉගෙන ගත්තේ ඒ ඉස්කෝලේ. ඉස්සර මම පුංචි කාලේ මගේ තාත්තාට පොඩි චැලී බයිසිකලයක් තිබුණා. ඒක තමයි අපිට තිබුණු එකම වත්කම. අපිව ඉස්කෝලේ ගෙනිච්චේ ඒ චැලියේ තියාගෙනයි. හැබැයි අපි තුන්දෙනාටම ඒකේ යන්න බැහැ. මගේ කකුල් දෙක කතා කරනවා නම් මේකේ ඇත්ත කතාව කියාවි. මම පුදුමාකාර විදිහට පයින් ඇවිදපු කෙනෙක්. අක්කවයි, නංගිවයි, තාත්තාගේ චැලියේ යවලා මම ඉස්කෝලේ ගියේ පයින්. තාත්තා මට බස් එකේ යන්න සල්ලි දුන්නට මම උදේට ඒ බස් එකක එල්ලිලා ඉස්කෝලේ ගිහින් හවසට ඒ සල්ලි ටික ඉතිරි කරගන්න හිතාගෙන ගෙදරට පයින් ආවා.
ඉස්කෝලේ හිටිය වයලට් ගුරුතුමිය අසරණ දරුවන්ට කෑම දුන්නා. ඉස්සර මම පාසැලේ හැමදේකටම දක්ෂ ළමයෙක්. හැමෝම මට හරි ආදරෙයි. වයලට් ටීචර් ඒ කෑම බෙදන එක බාරදීලා තිබුණේ මටයි. ඒ කෑම වලින් එකක් මටත් ගුරුතුමිය ලබලා දුන්නා. ඒකෙන් &මම වගේම තවත් අසරණ වුණු දරුවන් ඉන්නවා* කියලා මම දැනගත්තා. ඒ නිසා මේ ජීවිතයෙන් ගොඩ එන්න මම තව හයිය ගත්තා. පාසැලේ ආරම්භක බෙල් එක ගහන එකේ සිට ගාථා කීම, පාසැල් ගීතය වාදනය කිරීම වගේ හැමදේම කළේ මමයි. මම සාමාන්‍ය පෙළ විභාගය ඉතා ඉහළින්ම සමත් වුණා. ඒ නිසා වාණිජ අංශයෙන් උසස් පෙළ කරන්න මම කොළඹ නාලන්ද විදුහලට ඇතුළත් වුණා. ද සොයිසා විද්‍යාලය අතහැරලා මම නාලන්ද විදුහලට ගියේ ගොඩක් දුකෙන්. නාලන්ද විද්‍යාලයේදි මම සංගීත කාමරයේ පැත්ත පළාතක ගිහින් තිබුණේ නැහැ. ඒ වෙද්දී මගේ එකම අරමණ වුණේ උසස් පෙළ හොඳින් සමත්වෙලා විශ්වවිද්‍යාලයට තේරුණාට පස්සේ ඒ ඉගෙනීම සම්පූර්ණයෙන්ම නවත්වන්නයි. අම්මා, තාත්තා යද්දී &කොල්ලගේ රිසල්ට් මොනවද* කියලා කවුරු හරි ඇහුවම ඒ දෙන්නට බය නැතිව ඒ දෙකයි බී දෙකයි. එයා කැලණි විශ්වවිද්‍යාලයට තේරුණා* කියල කියවන්නයි. මම ඒකත් කළා. ඒ මගේ අම්මයි තාත්තයි අපට ඉගැන්වූයේ පුදුමාකාර ආර්ථික අපහසුතාත් එක්කයි. ඒකට වටිනාකමක් ලබාදෙන්න මට ඕනවුණා. මම ඒක කළා.


සඳුන් අද ජීවිතේ බොහෝ මුදල් උපයන කලාකරුවෙක්. ව්‍යාපාරිකයෙක්. තමන්ගේ මහන්සියෙන් මුලින්ම හම්බකරපු මුදල මතකද?
හොඳට මතකයි. ආර්ථික අපහසු දැනෙද්දී මම උසස්පෙළ විභාගය කරන්නත් පෙර සිටම හම්බ කළා. සාමාන්‍ය පෙළ කරන කාලේදී අපේ ඉස්කෝලෙට පාරෙන් එහා පැත්තේ කමියුනිකේෂන් එකක් තිබුණා. මම හැමදාම පන්තියේ පළවෙනියා. ඉස්කෝලේ ඇරිලා කමියුනිකේෂන් එකට ගිහින් ඒකේ රූ නවය විතර වෙනකම් වැඩ කළා. පාසැලේදී දුන්නු පැවරුම් වගේම පාඩම් කළෙත් මම ඒ කමියුනිකේෂන් එකේදී ලැබෙන පොඩි විවේක වේලාවෙදියි. මට ඒ කමියුනිකේෂන් එකෙන් මාස්පතා රුපියල් හාරදහස් පන්සීයක් ලැබුණා. මම ඒ සල්ලි ගිහින් දුන්නේ මගේ අම්මටයි.


ගායකයෙක් වෙන්න හිතුණේ ඇයි?
ඉස්කෝලේදී මම හැමදේකදීම දක්ෂයි. පාසල් තරගවලට මාව මුලින්ම පාසලෙන් තෝරලා යැව්වා. ඒවායින් මම බොහෝ තරග ජයග්‍රහණය කළා. ඔහොම ජයග්‍රහණය කරද්දි මට තේරුණ වයස ආවට පස්සේ මගේ ඇඟේ ඇතුළේ යම්කිසි හැකියාවක් තියෙන නිසා මට ඒක පොලිෂ් කරලා ගන්න ඕනේ කියලා හිතුණා. අපේ පදිංචිය වෙනස් වීම නිසා මම මොරටුමුල්ල ශ්‍රී දහම්සොඬ දහම් පාසැලට ඇතුළත් වුණා. ඒ දහම් පාසැලට ගිය මුල්ම දවසේම ඒ දහම් පාසලේ තරගයක් තිබුණා. විශ්වාස කරන්න... මම ඒ පළමු දවසෙම ඒ ගීත ගායනා කරන තරගයටත් ඉදිරිපත් වුණා. එදා මම ගායනා කළේ &මේ ජීවනයේ... මුළු සංසාරේ... ගීතයයි. එදා ඒ තරගයෙන් පළවෙනියා වුණා. මට තාම මතකයි හැම අවුරුද්දේම ඒ තරගවලින් දිනපු කොල්ලෝ ටික එදා මට ගැහුවා. දහම්පාසැලෙන් තමයි මම ගායකයෙක්, මට ගායනා කරන්න පුළුවන් කියලා මුලින්ම දැනුණේ. එතැනින් මට මේ අලුත් ගමනක් යන්න ඕන වුණා. එතැන් සිට භක්ති ගීත වලදීත් මයික් එක මට තමයි දුන්නේ. ඊට පස්සේ මම ගමේ ගායකයා වුණා. මොරටුමුල්ලේදී අවුරුදු කාලේදී අවුරුදු උත්සවයට නිවේදනය කළෙත් මමයි.


ඒ අවස්ථාව ලැබුණේ කොහොමද?
මොරටුමුල්ලේ ඒ කාලේ අවුරුදු උත්සව හැම එකක්ම නිවේදනය කළේ ඈපාසිංහ අංකල්. ඒ වෙනකොට ඈපා අංකල් ටිකක් වයසයි. දවසක් අපේ ගමේ තිබුණ පොඩි අවුරුදු උත්සවයක් නිවේදනය කරනවා දැකපු ඈපා අංකල් මගේ හැකියාවන් වර්ණනා කරල අපේ ගම්වල තිබුණු අනෙක් හැම අවුරුදු උත්සවයක්ම එයත් එක්ක නිවේදනය කරන්න මටත් අවස්ථාව ලබලා දුන්නා. පහුකාලීනව මම අවුරුදු කාලේදී හරිම කාර්යබහුල නිවේදකයෙක් වුණා. මට එක අවුරුදු උත්සවයකින් රුපියල් දෙදෙහක් විතර ලැබුණා. ඒකත් මට ලොකු මුදලක්. දවල් අවුරුදු උත්සවය තිබුණාට පස්සේ රාත්‍රියට සංගීත ප්‍රසංගයක් බොහෝ වෙලාවට තිබුණා. ඉඳහිටල මට ඒ ප්‍රසංගයක ගීතයක් ගායනා කරන්න ලැබුණා. ඒක මට ලොකු අවස්ථාවක් වුණා. මොරටුව කියන්නේ වඩුවැඩවලට ප්‍රසිද්ධ නගරයක්. මම සාමාන්‍ය පෙළ කරලා එඩ්වඩ් මාමාගේ වඩුමඩුවට ගිහින් ලී යතුගෑමේ ඉඳන් හැම වැඩක්ම ඉගෙන ගත්තා. වඩුමඩුවේ ලියන මහත්තයාගේ ජොබ් එකත් ටිකක් කළා. මට එතැනදීත් යම්කිසි මුදලක් ලැබුණා.



ගායකයෙක් කියල හිතට හරියටම දැනුණේ කවදාද?
2016 පෙබරවාරි හතරවෙනිදායි. ඒ මට වාසනාව අරගෙන ආපු ගීතය තමයි ආයෙත් වරක් කියන ගීතයයි. ඊට කලින් මම ගීත දෙකක් පටිගත කරලා තිබුණා. නමුත් ඒ දෙක වැඩිය මිනිසුන් අතරට ගියේ නැහැ. උසස් පෙළ ඉවරවෙලා මම මගේ ජීවිත සටන ගෙනයන්න පටන් ගත්තා. ඒ වෙද්දී ශෙනුකගේ ශබ්දාගාරයට මම දවස් කිහිපයක් ගියා. ශෙනුක මගේ යාළුවෙක්. ඊට පෙර තව ශබ්දාගාර කිහිපයකටම ගියත් ඔවුන් මාව එළෙව්වා. ඇතැමුන් මාව ගණන් ගත්තේ නැහැ. හැබැයි ශෙනුක මාව යාළුවෙක් විදිහට බාර ගත්තා. හැමදාම රූ ශබ්දාගාරයට ගිහින් මොනව හරි කරලා උදේට ගෙදර ඇවිත් කීයක් හරි මම ඒ කාලේදී හොයාගත්තා. මට ලංකාවේ එකදවසකින් ජනප්‍රිය වෙන ගායකෙයක් වෙන ගීතයකුත් තිබුණා. ඔය කාලේදී අත් අල්ලා දුරක් ගෙවලා* ගීය මගේ අතින් ලියවුණා. කෝච්චියේ යද්දී මට දැනිච්චි දේ මගේ තිබුණ ෆෝන් කට්ටේ තමයි මම ඒක ටයිප් කළේ. ඒකෙන් පොඩි ජනප්‍රියත්වයක් මට ලැබුණා. ශබ්දාගාර කීපයකින්ම මට කතා කළා. මාව ටිකක් කට්ටිය හඳුනාගත්තා. ඒ වෙද්දිම හඳුනාගෙන මට අතදීපු අය තමයි මට ගීත ගායනා කරන්න පුළුවන්නේ...* කියලා මාව දිරිමත් කළේ. මම කරපු තුන්වන ගීතය තමයි &ආයෙත් වරක්* ගීතය. ඒක එක රුයකින් අතිශය ජනප්‍රිය වුණ ගීතයක් වුණා. පෙබරවාරි හතරවැනිදා තමයි ඒ ගීතය මුලින්ම ප්‍රචාරය වුණේ. එදා ඉඳන් මගේ ගමනට දෙවියන්ගේම පිහිටයි.


තාත්තාගේ චැලියෙන් ඉස්කෝලේ යන්න බැරිව පයින් ගියපු සඳුන් තමන්ගේම කියල වාහනයක් අරගෙන අම්මාව මුලින්ම නංගවගත්ත දවස ඇත්තටම මොකද හිතුණේ...?
ඒක පුදුමාකාර හැඟීමක්. මම මුලින්ම වාහනයකට නැංගේ මගේ තාත්තාගේ පුංචි චැලියෙන්. මටම වාහනයක් අරගෙන මුලින්ම වාහනයට නැංගුවේ මගේ තාත්තාවයි. එයා තමයි වාහනයට නැගලා මුලින්ම වාහනයට වැන්දේ. මම තාත්තාත් එක්ක ගෙදර ගිහින් අම්මවත් එක්කගෙන පන්සල් ගිහින් ඊළඟට මුලින්ම මම අම්මව එක්කගෙන පුංචි කාලේ අපි හිටපු ඒ පැත්තට ගියා. මම උසස්පෙළ ඉවරවෙලා අවුරුදු දෙකකින් මගේ මුල්ම වාහනය වුණු ඇක්වා එක ගත්තා. මම ඒ අවුරුදු දෙකේදී මගේ ගේම් එක ගහලා ඉවරයි. මේ කාලය පුරාවට විඳපු දුක කියන්න මට තේරෙන්නේ නැහැ. මම එදා පුදුමාකාර ආඩම්බරයකින් අම්මාව ගම වටේ එක්කගෙන ගියා. අද වෙද්දී මම Audi එකක් පදිනවා. මම දැන් ව්‍යාපාරිකයෙක්. මේ වෙද්දී මට බොහෝම ශක්තිමත් බිරිඳක් ඉන්නවා. එයා නිකිනි. එයා මනෝ වෛද්‍යවරියක්. එයා ඉන්නේ නෙදර්ලන්තයේ.


අද ගෙවන ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?
මේ ලෝකෙට අපි හැමෝම එවන්නේ එක එක විදිහටයි. මම මේ තැනට එන්න පුදුමාකාර දුකක් වින්දා. නිර්වස්ත්‍රව මෙලොවට එන අපිට ඇඳුම් අන්දවලා ගන්නේ අම්මයි තාත්තායි. ජීවිතේ කියන්නේ කාලෙන් කාලෙට අභියෝග එන, කාලෙන් කාලෙට වෙනස් වෙන නවාතැනක්. අද විඳපු දුක, අපි පහුකරපු කටුක අත්දැකීම්, මහන්සිය, තවත් දවසක අපි ආපස්සට හැරිලා බලද්දී පුදුමාකාර සතුටක්. ආඩම්බරයක්. මේ ලෝකේ යන්නන් වාලේ යන්න එපා. කරන්නන් වාලේ කරන්න එපා. හරි අවබෝධයකින් හැමදෙයක්ම කරන්න ඕනේ. මම අද මේ කරල තියෙන දේවල් ඒ දවස්වල හීනවලත් හීනයි. කවදාවත් මම මේ හිටපු තැන දැකලා තිබුණේ නැහැ. හැබැයි මං මේ ඉන්න තත්ත්වයට එන්න වැඩ කළා. මේ මම මගේ බිරිඳ එක්ක ආදරයෙන් ගතකරන කාලයයි. මගේ පවුලේ හැමෝම දැන් හරි සතුටින් ජීවත් වෙනවා. දැන් අපේ ජීවිත සුන්දරයි. හැබැයි ඒ දුක් විඳපු කාලය අති සුන්දරයි.