සාර්ථක වෙන්න නම් හැමදාම අවදානම් ගන්න ඕනේ -හේමාල් රණසිංහ

Thursday, April 22, 2021 , 0 Comments




ඉතිං හේමාල් ඔහුගේ අලුත් විස්තර ගැන මෙලෙස පුවත්පතකට කියා තිබුනා. ඔහු වර්තමාන කලා ලෝකේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය රංගන ශිල්පියාය. බොහෝ සිනමා විචාරකයන්ට අනුව සිනමා රංගන ශිල්පීන් අතරින් “තරු ගුණයෙන්” යුක්ත එකම රංගන ශිල්පියා ඔහුය. සිනමාවේ දීප්තියෙන් අගතැම්පත් තරුව ඔහුය. දශක ගණනාවක් සිනමාවේ පැවති වීරයාගේ හිඩැස පිරෙව්වේ ඔහුය. හෙතෙම හේමාල් රණසිංහය. මේ දිනවල තිරගත වන “කලම්බො” චිත්‍රපටයේ ඔස්කාගේ චරිතයෙන් ඔබ හමුවට එන හේමාල් රණසිංහට  ඔහුගේ අලුත් විස්තර ගැන මෙලෙස පුවත්පතකට කියා තිබුනා

 


හේමාල් මාල කඩනවා කියලා ආරංචියක් ආවා?


හේමාල් නම් මාල කඩන්නේ නැහැ. ඒත් ඔස්කා නම් මාල කඩනවා. ඔස්කාව හම්බවෙන්නේ "කලම්බෝ" චිත්‍රපටයෙන්. ඔස්කා මාල කඩනවා කියනවාටත් වඩා එයාව හරියටම අඳුරගන්න ඕනේ නම් චිත්‍රපටය බලන්නම වෙනවා.


 

හේමාල්ට ඔස්කාගේ චරිතය ලැබෙන්නේ කොහොමද?


2017 වසරේ මුල භාගයේ තමයි මේ චිත්‍රපටය ගැන අපේ කතාබහ ආරම්භ වෙන්නේ. අසම රන්දිල් ලියනගේ කියන්නේ අවුරුදු 21ක භද්‍ර යෞවන තරුණයෙක්. අසම මට කීපවතාවක් කතා කරලා අවසානයේ අපි මුණගැහුණා. අසමව මුණගැහෙන්න මට විශේෂ හේතුවක් වුණේ ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණය ගැන හදාරලා ඒ ඔස්සේ වැඩක් කරන්න මහන්සි වෙන තරුණයෙක් නිසා. මට හිතුණා ඒ වගේ කෙනෙක්ගේ හීනයකට පණ දෙන එක චිත්‍රපට කර්මාන්තයේ අනාගතයට ආයෝජනයක් වෙයි කියලා. නවකයන්ගේ අදහස් හරිම නැවුම්. ඒවා චිත්‍රපට මාධ්‍යයට මොන විදිහේ අත්දැකීමක් වෙයිද කියලා මට කුතුහලයක් තිබුණා. අපි මුණගැහිලා චිත්‍රපටය ගැන කතා කරලා අවසානයේ තීරණයක් ගත්තා මේ නිර්මාණයට මම දායකත්වය ලබාදෙනවා කියලා. ඒ විදිහට තමයි ඔස්කාගේ චරිතය මම භාරගන්නේ. නමුත් අපි මුලින්ම හමුවුණු දවසේ අසමට අමතක වෙනවා මට පිටපත දෙන්න. මගේ ගෙදර මේසයක් උඩ පිටපත තියලා ගිහින්. මට පිටපත නොදීම ගැන ඇති වුණු පුංචි අමනාපයක් එක්ක තමයි මම පිටපත කියවන්න පටන් ගත්තේ. නමුත් පළමුවෙනි පිටු දෙක තුන කියවගෙන යනකොට කතාව හරිම රසවත් කියලා මට තේරුණා. ඒ පිටපත ඔහු ලියලා තිබුණු විදිහත් හරිම රසවත්. මම හිතනවා .ඒ චිත්‍රපටයෙන් ඒ රසවත් අත්දැකීම ප්‍රේක්ෂකයන්ට ලැබෙයි කියලා.


 


කොහොමද නවක අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න ලැබුණු අත්දැකීම?


ප්‍රවීණයෙක්ගේ හෝ නවකයෙක්ගේ කියලා නැහැ, හැම චිත්‍රපටයකදීම මම අද්දැකීම් ගොඩක් එකතු කරගන්නවා. මම මීට කලින් ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් එක්ක මම වැඩ කළේ. ජීවිතයේ අපි සාර්ථකත්වයට යන්න ඕනේ නම් හැමදාම අවදානම් ගන්න ඕනේ කියන විශ්වාසයේ තමයි මම ඉන්නේ. ප්‍රවීණයන් එක්ක මම වැඩ කරලා තියෙන නිසා නවක අධ්‍යක්ෂවරයෙක් එක්කත් වැඩ කරන්න ඕනේ සහ ඒ අවදානම ගත යුතුයි කියලා මට හිතුණා. ඒක වෙනම අද්දැකීමක්. මම හැමදාමත් කියන්නේ චිත්‍රපටයක් ගැන සාමූහික ප්‍රයත්නයක්.


 


ඔස්කා වගේ චරිත හේමාල්ට නුහුරු නුපුරුදු නැහැ. මේ චරිතය ගොඩනැඟුවේ කොහොමද?


"කලම්බෝ" චිත්‍රපටයේ රූගත කිරීම් තිබුණේ කොළඹ නාගරික ලුම්පන් වටපිටාව ආශ්‍රිතව. ඒ වටපිටාවේ මේ වගේ චරිත අපිට අපට නිරන්තරයෙන් දකින්න ලැබෙනවා. මේ කතන්දරයේ ලියවිලා තියෙන ඔස්කා වගේ අය හැමදාමත් අපිට හමු වෙනවා. ඔස්කාගේ චරිතයම මට ගොඩනඟන්න ඒ ඇත්ත චරිත සහ ඒ හැසිරීම් රටා මට ගොඩක් උදවු වුණා.


 


මේ චිත්‍රපටයට ඔබත් සමඟ ප්‍රවීණයන් රැසක් රංගනයෙන් දායක වෙනවා. කොහොමද ඒ අයගෙන් ලැබුණු සහයෝගය?


ඉතාමත් හොඳ සහයෝගයක් ලැබුණා. ධර්මප්‍රිය ඩයස්, රුක්මල් නිරෝෂ්, කුමාර තිරිමාදුර කියන්නේ ලංකාවේ දක්ෂ රංගන ශිල්පීන්. මේක සාමූහික වැඩක්. ඒ වැඩේදී මේ ප්‍රවීණයන්ගේ අදහස් ගුරුහරුකම් හැමදාමත් වගේ මේ චිත්‍රපටයේදීත් උපරිමයෙන් ලැබුණා. ඔවුන් සාමාන්‍ය ජීවිතයේදීත් ඔවුන් මගේ යාළුවෝ. ඒ යාළුකම් සහ ප්‍රවීණත්වය ඔස්කාගේ චරිතය ගොඩනඟන්න මට උදවු වුණා. ඒ වගේම චිත්‍රපටයට දායක වුණු නවක රංගන ශිල්පිනී ශානිකා නිරෝෂණීවත් මතක් කරන්න ඕනේ. ඇයගෙනුත් මට හොඳ සහයෝගයක් ලැබුණා. ඇගේ අනාගතයටත් මම සුබපතනවා.


 


ඔස්කාට ලැබෙන ප්‍රතිචාර ගැන කිව්වොත්?


ප්‍රතිචාර ඉතාමත් හොඳයි. ඒ වගේ කාලවකවානුවකදී චිත්‍රපටයක් බලන්න මිනිස්සු චිත්‍රපටශාලාවට යාම මම ඉතාමත්ම අගය කරනවා. ඒක හොඳ ප්‍රවණතාවයක් විදිහට මම දකිනවා. ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම සතුටු වෙනවා චිත්‍රපටය ගැන. අපි මේ චිත්‍රපටය 2017 කළාට තවමත් චිත්‍රපටය පරණ නොවී තිබීම සතුටක්. ඒ සතුට මේ දවස්වල මම භුක්ති විඳීනවා.


 


හේමාල් මේ දවස්වල මොකද කරන්නේ?


සුනිල් ආරියරත්නයන්ගේ "ක්ෂීර සාගරය කැළඹිණි" චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරනවා 22වෙනිදා. මම ඒ චිත්‍රපටයේ රඟපාන්නෙ කැරලිකාරගෙ චරිතය. ඒ සඳහා පුරුදු පුහුණුවීම් මේ දවස්වල කෙරෙනවා.


 


සයිමන් නවගත්තේගමගේ "ක්ෂීර සාගරය කැළඹිණි" නවකතාව කියෙව්වාද?


ඔව්. මම පොත කියෙව්වෙ මේ චරිතය මට ලැබෙන්නත් ගොඩක් කාලයකට කලින්. චිත්‍රපටයේ මේ චරිතය මට ලැබුණට පස්සේ නැවත වතාවක් මම පොත කියෙව්වා මතක් කරගන්න. නමුත් මේ චිත්‍රපටයෙන් පොතම බලාපොරොත්තු වෙන්න එපා කියලා මම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා. සයිමන් නවගත්තේගමගේ ක්ෂීර සාගරය කැළඹිණ කියන පොතම චිත්‍රපටයක්. එයින් නැවත පිටපතක් ලියනවා කියන එක කෙසේ මෙසේ වැඩක් නෙමෙයි. ඒ නිසා මුළු පොතම සම්පූර්ණයෙන්ම පැය දෙකහමාරක චිත්‍රපටයකින් බලාපොරොත්තු වෙන්න එපා. අපේ ප්‍රවීණ රංගන ශිල්පියා ජැක්සන් ඇන්තනී මහත්මයා එහි තිරපිටපත රචනා කරලා සාධාරණයක් ඉටු කළා කියලා මම හිතනවා. ඔහු හොඳ ඉතිහාසවේදියෙක්, නවගත්තේගම මහත්මයව ළඟින් ඇසුරු කරපු කෙනෙක්. ඒ නිසා එහි සාර්ථකත්වය අපිට චිත්‍රපටයෙන් දකින්න පුළුවන් වෙයි.


 


"මාරියා"ට මොකද වුණේ?


මාරියා චිත්‍රපටයේ මගේ රූගත කිරීම් අවසන් වුණා. තවත් එක දර්ශනයක් විතරයි රූගත කරන්න තියෙන්නේ. නමුත් මගේ රූගත කිරීම් අවසන් වුණා. පසුව එහි හඬ කැවීම් කටයුතු තමයි අපිට ඉදිරියට කරන්න තියෙන්නේ.


 


හේමාල් දැන් ප්‍රධාන ධාරාවෙන් ඈත්වෙලා විකල්ප ධාරාවේ සිනමාවට යන බවයි විචාරක මතය.


මගේ ජීවිතයේ කවදාවත් චිත්‍රපට වාණිජ හෝ කලා කියලා දෙපැත්තකට වෙන් කරගෙන නැහැ. පෞද්ගලිකව මම වැඩිපුර කැමති ප්‍රේක්ෂකයන්ට විනෝදාස්වාදය ලබාදෙන චිත්‍රපටිවල රඟපාන්න. නමුත් ඒ විදිහේ පිටපත් ලංකාවේ හැදෙන්නේ නැහැ කියලා මම හිතනවා. ඒ විදිහ පිටපතක් මට ලැබුණොත් මම ඒ සඳහා දායකත්වය ලබා දෙනවා. මට ලැබෙන පිටපත්වලින් තෝරලා බේරලා මට ගැළපෙනවයි කියලා හිතෙන චිත්‍රපටවල මම රඟපානවා. ඒ හැරුණුකොට ප්‍රධාන ධාරාව ද විකල්ප ධාරාවද මගේ ජනප්‍රියත්වයට හානි වෙයිද කියන කිසිම දෙයක් මම අවංකවම හිතන්නේ නැහැ. ප්‍රසිද්ධ වෙනවට වඩා ජනයාට ප්‍රිය වෙන්න කොහොමත් මම කැමතියි.


 


සිනමා නිර්මාණවල පිටපත් සම්බන්ධයෙන් ඔබට අදහසක් ඇති?


මම විශ්වාස කරන විදිහට චිත්‍රපටයක මූලිකම දේ තිරපිටපත. මම වර්තමානයේ චිත්‍රපට පිටපත්වල ලොකු අඩුවක් දකිනවා. ප්‍රේක්ෂකයන්ට කැමති චිත්‍රපටි ද හැදෙන්නේ එහෙම නැත්නම් නිෂ්පාදකවරුන්ට හෝ අධ්‍යක්ෂවරුන්ට කැමති චිත්‍රපටි ද හැදෙන්නේ කියලා මට ලොකු ගැටලුවක් තියෙනවා. ඒක මම චිත්‍රපටවල රඟපාන්න ආව මුල් දවස්වල ඉඳලා තියෙන ප්‍රශ්නයක්. චිත්‍රපට කර්මාන්තයට මම එන්නෙත් මුලින්ම ප්‍රේක්ෂකයෙක් විදියට බලලා. සිනමාවට ආවාට පසුව තමයි වැටහෙන්නේ හිතපු දෙය නෙමෙයි මේක ඇතුළේ වෙන්නේ කියලා. මට කතන්දරවල ලොකු අඩුවක් දැනෙනවා, තිර පිටපත්වල ලොකු අඩුවක් දැනෙනවා. අපි බලමු ඉදිරියේදී එක විසදෙයිද කියලා. ඒ වගේම අද රංගන ශිල්පියා සුදු හුණු ගාන මනුස්සයෙක් බවට පත් වෙලා. හැමෝටම සුදු හුණු ගාන්න වෙන්නේ අපිට. රඟපානවාට අමතරව අපිට සුදු හුණු ගාන්නත් වෙනවා. මට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. තිරපිටපත් හිඟයක් තියෙනවා ක්ෂේත්‍රයේ. තිරපිටපත් රචකයන්ට යම් වටිනාකමක් දෙන්න ඕනේ. ඒ වගේම පිටපත් රචකයන්ටත් වගකීමක් තියෙනවා නැවුම් දේවල් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න.


 


තිර පිටපතක් ලියන්න හේමාල්ට අදහසක් නැද්ද?


මම වෘත්තියෙන් රංගන ශිල්පියෙක්. එතැනින් එහාට දේවල් මම හිතලා තිබුණෙ නැහැ. පිටපත් රචනය කියන්නේ කලාවක් එක් හිතු මනාපයට ලියන්න බැහැ. තිර පිටපතක චරිතවලට ගලාගෙන යාමක් තියෙනවා. පිටපත ලිවීම තමයි භාරදූරම කාර්යය. ඒකට යනවා නම් හරි අධ්‍යයනයකින් පසුවයි අතගහන්න ඕනේ. මම තිර පිටපතක් ලියන්න කැමතියි. නමුත් රංගන ශිල්පියෙක් විදිහට දේවල් තවමත් මම හරියට කරලා නැහැ. එහෙම තිබියදී තව ගොඩක් දේවල් පටන් අරගෙන කාලය නාස්ති කරන්න මම කැමැති නැහැ. මේ මොහොතේ රංගන ශිල්පියෙක් ලෙස යම් දෙයක් කරන්න මම උත්සාහ කරනවා. ඒ උත්සාහය මට තව වර්ධනය කරගන්න ඕනේ. රංගනය ඇතුළට කිඳා බැහැලා ඒත් එක්කම තව තවත් ජීවත් වෙන්න ඕනේ. මම බහුකාර්ය පෞරුෂයක් තියෙන මනුස්සයෙක් නෙමෙයි. මට එක සැරයකට කරන්න පුළුවන් එක වැඩයි. ඒ නිසයි මම එක සැරේකට චිත්‍රපට දෙකක් බාර නොගන්නෙත්. තිරපිටපත් රචනය කියන්නේ වෙනම කාරණාවක්. ඒක හිතින් අතහැරලා නැහැ. කවදහරි දවසක මගේ අතිනුත් තිරපිටපතක් ලියැවෙයි. කතන්දර ගොඩක් මගේ ඔළුවේ තියෙනවා. ඒවා මම තිරපිටපත් ලියන්න පුළුවන් මගේ මිත්‍රයින්ට ඉදිරිපත් කරලත් තියෙනවා. මේ දැන් තියෙන වටපිටාවත් එක්ක පිටපත් රචනය ගැන හිතන්න අමාරුයි.


 


කලින් හේමාල් අවුරුද්දටම එක සැරයයි චිත්‍රපටියකින් දැක්කේ. ඒත් දැන් ඔබ වෙළඳ දැන්වීම්වලත් ඉන්නවා. ඒ සුලභත්වය ඔබේ විශේෂත්වයට හානියක් නෙමෙයිද?


තාමත් මම කැමැතියි අවුරුද්දකට මගේ එක චිත්‍රපටයක් විතරක් එනවාට. නමුත් පහුගිය අවුරුදුවල අපිට මුහුණපාන්න සිද්ධ වුණු දේවල් නිසා ඒක වෙනස් වුණා. අප්‍රේල් 21 ප්‍රහාරය, කොරෝනා වසංගතය නිසා චිත්‍රපටශාලාවල තමන්ගේ චිත්‍රපටය පෙන්වන්න ගොඩක් අධ්‍යක්ෂවරු සහ නිෂ්පාදකවරු බය වුණා. මම ක්ෂේත්‍රයට එන්නේ 2010 දී මේ වෙද්දි චිත්‍රපට දහයක් විතර මගේ තිරගත වුණේ. සමහරු අවුරුදු තිබුණා මගේ චිත්‍රපට තිරගත නොවුණු. චිත්‍රපටවල පෝලිම පැනලා චිත්‍රපට තිරගත වුණු සිදුවීම් ඒ කාලේ අපි දැක්කා. මගේ ප්‍රධාන වෘත්තීය චිත්‍රපට රංගනය. මේක නඩත්තු කරන්න ඕනේ භූමිකාවක්. ලංකාවේ කවුද චිත්‍රපට නළුවා කියන භූමිකාව නඩත්තු කරන්නේ? කවුරුත් එහෙම කරන්නේ නැහැ. එහෙම නඩත්තු කරන්න නම් අපිට වෙළඳ සන්නාම යටතට යන්න සිද්ධ වෙනවා. පසුගිය වකවානුවේ සිනමා කර්මාන්තය කඩා වැටුණාම මේ කර්මාන්තයෙන් යැපුණු සියලුම දෙනාට මොකද වුණේ කියලා කවුරුත් හොයලා බැලුවේ නැහැ. අපි අපිට පුළුවන් ප්‍රමාණයෙන් මේ කාලවලදී මිනිස්සුන්ට උදවු උපකාර කළා. එහෙම කරගෙන යද්දී එක් අවස්ථාවක් ආවා මට එහෙම කරගෙන යන්න බැරි අවස්ථාවක්. මේ කාලයේදී වෙළඳ සන්නාමයන් මගේ ළඟට ඇවිත් ඒවා ප්‍රවර්ධනය සඳහා ආරාධනා කරනවා. ඒ වගේ ආරාධනා බොහෝමයක් ආවා. ඒ සියල්ලෙන් මට ගැළපෙන මිනිස්සුන්ට හානියක් නොවන සන්නාමයක් ප්‍රවර්ධනය වරදක් කියලා මම හිතන්නේ නැහැ. ඒ වගේම අධ්‍යක්ෂවරු සහ නිෂ්පාදකවරු තමන්ගේ චිත්‍රපට පෙන්වන්න බයවෙන වකවානුවක කලින් කරපු මගේ චිත්‍රපට දැන් තිරගත වෙමින් පවතිනවා. මේ ඇතුළත යාන්ත්‍රණය නොපෙනෙන නිසා හැමෝටම දැන් හේමාල් හැමතැනම පේනවා කියලා හිතෙන්න පුළුවන්.


 


හේමාල්ට සිනමාව ඇතුළේ පූර්වාදර්ශී චරිතයක් ඉන්නවාද?


පූර්වාදර්ශී චරිතයක් කි‍යලා සම්පූර්ණයෙන්ම එක චරිතයකට විතරක් අනුගත වෙන්න මම කවදාවත් උත්සාහ කරන්නේ නැහැ. නමුත් මේ ලෝකේ කිසිම දෙයක් සම්පූර්ණයෙන්ම ඔරිජිනල් නැහැ. මොනවාහෝ තැනක කුමන හෝ දේවල් අපි මීට කලින් දැකලා, කියලා තියෙන්න පුළුවන්. ලංකාවේ මම කැමති රංගන ශිල්පීන්ගේ අධ්‍යක්ෂවරුන්ගේ ආභාසය මට ඇවිත් ඇති. මට ඕනේ හේමාල් වෙන්න මිසක් තවත් කෙනෙක් වෙන්න නෙමෙයි. මට හේමාල් වෙන්න ගොඩක් අයගෙන් දායකත්වයන් ලැබිලා තියෙනවා. මම කැමති රංගන ශිල්පීන් ගත්තොත් ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, අමරසිරි කලංසූරිය, කමල් අද්දරාරච්චි, මහේන්ද්‍ර පෙරේරා, ජැක්සන් ඇන්තනී, ශ්‍රියන්ත මෙන්ඩිස්, දර්ශන් ධර්මරාජ්, අශාන් ඩයස් යන අතීතයේ සිට වර්තමානය දක්වා රංගන ශිල්පීන්ට මම කැමතියි. ඒ වගේම ලෝක සිනමාවේ මම කැමැති රංගන ශිල්පීන් බොහොමයක් ඉන්නවා. මා තුළ මේ අයගේ ආභාසය වගේම හේමාල්ගේ ඔරිජිනල් කෑල්ලත් තියෙනවා කියලා මම විශ්වාස කරනවා.


 


එතකොට හේමාල්ව පූර්වාදර්ශී චරිතය කරගත්ත ක්ෂේත්‍රයේ නවකයන්ට මොකක්ද කියන්නේ?


මම කියන්නේ ඒ අයට තනිකරම මාව පූර්වාදර්ශයක් කරගන්න එපා කියලා. හේමාල්ගෙන් ආභාසයක් ගන්න. මාව පූර්වාදර්ශයක් කරගත්තට කමක් නෑ. හැබැයි තමන්ව අමතක කරගන්න බැහැ. සම්පූර්ණයෙන්ම මගේ කාබන්කොපියක් වෙන්න එපා. මගෙන් පූර්ව ආදර්ශ ගන්න. නමුත් එළියට දෙන්න ඕනේ තමන්ගේම ඔරිජිනල් දෙයක්.


 

හේමාල්ගේ පෞද්ගලික විස්තර ගැනත් කතා කරමු?


මුලින්ම මම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. මම චිත්‍රපටවලට සූදානම් වෙනකොට ඒ චරිත ස්වභාවය මෙසේ විය හැකියි කියලා හිතලා මගේ බාහිර ස්වරූපය වෙනස් කරගන්න මම හරිම කැමතියි. ඒ නිසා මම රැවුල් වවනවා, කොණ්ඩේ වවනවා, මහත් වෙනවා, කෙට්ටු වෙනවා. එහෙම වෙද්දි ප්‍රේක්ෂකයන්ගේ හිත රිදෙනවා. මගේ පවුලේ අයගෙනුත් ඒ ගැන දැඩි විරෝධතාවක් එනවා. මම රංගන ශිල්පියෙක් විදිහට ඒ වගේ දේවල් කරන්න කැමතියි. මම එහෙම දේවල් කරන්නේ කලා කෘතියට ආලෝකයක් දෙන්න සහ චරිතයට අවශ්‍ය ජීවය ලබා දෙන්න. ඒ නිසා ඒ වෙනස භාරගන්න කියලා මම සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටිනවා. පෞද්ගලික ජීවිතේ තොරතුරු විශේෂයෙන් කියලා මගේ ජීවිතේ වෙලා නැහැ. මම රංගන ශිල්පියා කියන භූමිකාව කරගෙන යන්න උත්සාහ කරන කෙනෙක්. තිරයෙන් පිටිපස්සේ මම සාමාන්‍ය මනුස්සයෙක්. මම සමාජශීලී කෙනෙක් නෙමෙයි. මගේ පාඩුවේ තනිවම ජීවත්වෙන්න කැමති කෙනෙක් මම.


 

 විවාහ වෙන්න අදහසක් නැද්ද?


ඒ හැම දෙයකටම වෙලාවක් තියෙනවා. ඒක මොන වෙලාවද කියන්න බැහැ. විවාහය කියන තීරණය එසේ මෙසේ තීරණයක් නෙමෙයි. මැරෙනතුරාවටම එකට ඉන්න පුළුවන්, බොහොම ආදරයෙන් බොහොම උපේක්ෂාවෙන් යන්න පුළුවන් ගමනක් වෙන්න ඕන. ඒ ගමන යන කෙනාව හොයා ගන්න එක ඒ තරම් ලේසියි කියලා මම හිතන්නේ නැහැ. මේ මොහොතේ මට ඒක ගොඩක් අමාරුයි. ඒ නිසා මම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා මට ආදරෙයි නම් ඒකට මාව පොලඹවන්න එපා කියලා. එය සිදුවනවා නම් කාලයත් එක්ක සිදුවෙයි. මට ඕනේ එකිනෙකාට ගරු කරන්න, ආදරය කරන්න පුළුවන්, අපි අපි වෙලා ජීවත් වෙන්න වෙන්න පුළුවන් කෙනෙක්. අපි බලමු ජීවිතේ මොකක්ද වෙන්නේ කියලා.


 

හැමදාම ජනප්‍රිය නළුවා සම්මානය ගන්නද බලාපොරොත්තුව? හේමාල් හොඳම නළුවා සම්මානය ගන්නේ කවද්ද?


මේක සාමූහික වැඩක්. මේ හොඳම සම්මාන කාටවත් තනියම ගන්න බැහැ. මේ සියලු දේවල් සාමූහික ප්‍රයත්නයක අවසානය. ඒ වටපිටාව නැතුව හොඳම නළුවා සම්මානය ගන්නවා කියන එක උඩුගං බලා පීනනවා වගේ වැඩක්. අපි බලමු ඉතින්.