මගේ අලුත් නාට්‍යයට සුදුසුම කාලයයි මේ - ජනක් පේ‍්‍රමලාල්

Friday, April 23, 2021 , 0 Comments




කලා ක්ෂේත‍්‍රය මතු නොව සමස්ත සමාජයම අර්බුදයෙන් අර්බුදයට ගමන් කරනා තත්ත්වයක කලාකරුවකු නව නිර්මාණයක් පිණිස සැරසෙන්නේ නම් එය ඔහුගේ සිහි බුද්ධිය පිළිබඳව විමසිලිමත්වීමට කාරණයක් යැයි ඇතැමකු සිතුවද කලාව පමණක් නොව සමස්ත සමාජයම සැමදා ඉදිරියට ගමන් කළේ එවන් වූ වෙනස් ලෙස සිතනා හා අවදානමකට මුහුණ දෙන්නට දෙවරක් නොසිතනා මිනිසුන් නිසා බව සනාතන සත්‍යයකි. එවන් මිනිසකු ලෙස අප සිතනා චරිතාංග රංගන ශිල්පියකු හා නිර්මාණකරුවකු වූ ජනක් පේ‍්‍රමලාල් අබුද්දස්ස කෝලම, රාජකපුරු, රජගහේ නාඩගම හා සක්වල කැළඹිලා නම් වූ සිය සිව් වැදෑරුම් නිර්මාණයන්ගෙන් පසුව වූ දීර්ඝ ඉසිඹුවකින් අනතුරුව තම නවතම වේදිකා නාට්‍යය බිහි කිරීම පිණිස වූ විලි රුදාවෙන් පෙළෙතැයි අපට සැළ වූයෙන් ඒ පිළිබඳ  ඔහු මෙලෙස පුවත්පතකට විස්තර කියා තිබුනා.

 

ඔබගේ අලූත්ම වේදිකා නාට්‍යය ගැන මුලින්ම කතා කරොත්?

 

 මගේ අලූත් නාට්‍යය ”ආඬි හතයි කැඳ හැලියයි’’ ලබන මාසෙ මැද භාගයේ පමණ වේදිකාගත කරන්නට බලාපොරොත්තු වෙනවා. හොරණ ශ‍්‍රීපාලි රංග ශාලාවේදී. මම මේ නාට්‍යයක් කරන්නේ අවුරුදු 17 කට පමණ පසුවයි. මම කවදත් මගේ නාට්‍යය ජනප‍්‍රිය කරගන්නට ජනප‍්‍රිය රංගන ශිල්පීන් භාවිතා කළ කෙනෙක් නොවෙයි. ඒ ශිල්පීන් ජනප‍්‍රිය වුණේ මගේ නාට්‍ය නිසා. පොඩි උදාහරණයක් කිව්වොත් රවීන්ද්‍ර යසස් ජනප‍්‍රිය වුණේ මගේ රාජ කපුරු නාට්‍යයෙන්. සරත් චන්ද්‍රසිරි ජනප‍්‍රිය වුණේ අබුද්දස්ස කෝළමෙන්. දැන් ඒ අය හුඟක් කාර්යබහුලයි. මගේ අලූත් නාට්‍යය ගීත හා නර්තනයන් බහුලව භාවිතා කරන නාට්‍යයක්. ඉතින් මෙහි පෙර පුහුණුවීම් සඳහා විශාල කාලයක් වැය කළයුතු සේම මහත් කැප කිරීමක් කළයුතුයි. එසේම මෙයට දායක වන ශිල්පීන්

 

 ගායනයට හා නර්තනයට වගේම රංගනයටත් දක්ෂ වියයුතුයි. ඉතින් ජනප‍්‍රිය හා කාර්යබහුල රංගන ශිල්පීන් සමග මෙම කාර්යය කිරීම ඉතාම දුෂ්කරයි. ඒ නිසා මා මෙහි ප‍්‍රධාන චරිත හතටම යොදාගෙන තිබෙන්නේ මගේ පෙර නාට්‍යවල සුළු චරිතවලට දායක වූ දෙවන පෙළ ශිල්පීන්.

 

 මෙම නාට්‍යයත් රචනා කළේ සිරිසේන පේ‍්‍රමලාල් මහතාමද?

 

 මගේ පෙර නාට්‍ය සියල්ලම මගේ පියා වූ සිරිසේන පේ‍්‍රමලාල් මහතා පාසැලේදී කෙටි නාට්‍ය ලෙස රඟ දක්වා පසුව මගේ ඉල්ලීම පිට දිගු නාට්‍ය ලෙස පියා විසින්ම ලියූ ඒවා. ”ආඬි හතයි කැඳ හැළියයි’’ නාට්‍යයත් ඔහු විසින් මීට අවුරුදු 40 කට පෙර රචනා කළ විනාඩි 7 ක කෙටි නාට්‍ය පිටපතක්. විනාඩි 90 ක ධාවන කාලයකට මා විසින් එය නැවත සකස් කළා. මගේ පියාණන් දැන් වයෝවෘධ නිසා මා ඔහුව වෙහෙසවන්නට සිතුවේ නැහැ.

 

 මෙය දේශපාලන ප‍්‍රහසනයක්ද?

 

 ඇත්තටම එය සර්වකාලීන පිටපතක්. මෙහි එන ආඬින් තමන්ගේ ආහාරය පිණිස වන කැඳ හැළියටත් හොර කරන හොරු ටිකක්. මේ කතාව වර්තමාන සමාජ දේශපාලන වටපිටාවට මනාව ගැළපෙනවා. මං සිතන්නේ මේ ඊට සුදුසුම කාලයයි.

 

 කලා ක්ෂේත‍්‍රයේ පමණක් නොවෙයි සමස්ත සමාජයේම වර්තමානයේ අර්බුදයක් පවතිනවා. මිනිසුන්ට රසාස්වාදය තබා ජීවත්වීමත්

 

 ගැටලූවක්ව පවත්නා තත්ත්වයක ඔබ අලූත් නිර්මාණයකට අතගසනවා. මෙය සාර්ථක වෙයි කියලා ඔබ සිතනවාද?

 

 මේ වගේ අර්බුදකාරී කාලවල තමයි මම මීට පෙරත් නාට්‍ය කළේ. මගේ පළමුවෙනි නාට්‍යය වූ අබුද්දස්ස කෝලම මම නිෂ්පාදනය කරන්නේ 1984 වර්ෂයේ. යුද්ධය ආරම්භ වන්නේ 1983. ජූලි මාසයේ ඇරඹි ජාතිවාදී ගිනිදැල් රටපුරා පැතිර ගිය කාලයක්. රටපුරා මාර්ග බාධක, බෝම්බ පිපිරීම්. එහෙම කාලෙක තමයි අබුද්දස්ස කෝලම කළේ. එය අතිශය සාර්ථක වුණා. මගේ දෙවන නාට්‍යය වූ රාජකපුරු 1988 අවුරුද්දේ. රටපුරා භීෂණයක් රජ කළ ආරාජික කාලයක් ඒක. අපි ඒ කාලෙ නාට්‍ය දර්ශනවලට පිට පළාත්වලට යනකොට ඒ නගරයට නිල නොවන ඇඳිරි නීතිය. ඉතින් ආපසු එනවා. ඒ කාලෙ අපි වගේ තරුණ කණ්ඩායමක් පිට පළාත්වල සැරිසරනවා කියන්නේම ජීවිතය

 

 උගසට තබනා අවදානම් වැඩක්. නමුත් අපි ඒ අභියෝගයට මුහුණ දුන්නා. ඒ වගේම එය ජයගත්තා. මෑත කාලයේ කොරෝනා වසංගතය පැමිණෙන තෙක්ම අබුද්දස්ස කෝලම හා රාජකපුරු නාට්‍ය දෙකම අඛණ්ඩව වේදිකාගත වුණා. තව විශේෂයෙන් කිවයුතු දෙයක් තිබෙනවා. සාමාන්‍යයෙන් නාට්‍යයක් දීර්ඝකාලීනව වේදිකාගත වන විට නාට්‍ය කණ්ඩායමේ නොයෙකුත් විරසකවීම් මත සමහරු නාට්‍ය හැර යනවා. මම ඉතා සතුටින් කියන්නේ මගේ නාට්‍ය කණ්ඩායම 1984 සිට මේ දක්වා සියලූ දෙනාම මා සමග සිටිනවා. ඔවුන් එදා මංගල දර්ශනයේ රඟපෑ චරිත තමයි තවමත් රඟපාන්නේ.

 

 ඉතින් මා කිවූ එවැනි අභියෝගාත්මක කාලවල තමයි මේ නාට්‍ය දෙකම පටන් ගත්තේ. දැනුත් එහෙම කාලයක් තමයි තිබෙන්නේ. කලා ක්ෂේත‍්‍රයේ වැටීම ඇරඹුනේ පාස්කු ප‍්‍රහාරයේ සිටමනෙ. දැන් නාට්‍යකරුවන් මන්දෝත්සාහී වෙලා වගේ පේනවා. අලූත් දේකට අතගසන්නේ නැහැ. ඒ නිසාම තමයි මම සිතුවේ අලූත් නිර්මාණයක් කළයුතුයි කියලා. නාට්‍ය ශාලාවලට නැවත රසිකයන් කැඳවාගන්නට කවුරු හෝ ආරම්භයක් ගතයුතුයි. අනෙක නාට්‍යකරුවෙක් හිතුවක්කාර වියයුතුයි කියලයි මම හිතන්නේ. තමන්ගේ මියගිය ඥාතියාට අවසන් ගෞරවයවත් ලබා දෙන්නට නොහැකිව මානසික ආතතියකින් පීඩනයකින් සිටින මිනිස්සුන්ට සෞන්දර්යාත්මක වින්දනයක් ලබා දෙන්න පුළුවන් නම් ඔවුන්ගේ කඳුළු පිස දමන්නට පුළුවන් නම් කලාකරුවෙකුගේ යුතුකම හා වගකීම ඒක බවයි මම හිතන්නේ.

 

 නිමල් ෆ‍්‍රැන්සිස්