මම මටම රාමුවක් දාගෙන ඉන්නේ - දමිත්‍රි සුබසිංහ

Thursday, April 01, 2021 , 0 Comments

 



දෙරණ අවුරුදු කුමරිය ලෙසින් අභිෂේක ලැබූ දමිත්‍රි සුබසිංහ මේ වෙනකොට රංගන ශිල්පිනියක්. ඇය මේ දවස්වල ප්‍රේක්ෂකයන්ට මුණගැහෙන්නේ ‘ඉස්කෝලේ‘ ටෙලි නිර්මාණයෙන්. පුංචි තිරයෙන් නර්තන ගුරුවරියක් ලෙස මුණගැහෙන දමිත්‍රි ඇගේ අලුත් තොරතුරු ගැන පුවත්පතකට මෙලෙස කියා තිබුනා.

 

දමිත්‍රි අලුත් වැඩකින් ප්‍රේක්ෂකයන්ට මුණගැහෙනවා?


මම සම්බන්ධ වෙන දෙවැනි ටෙලි නාට්‍ය තමයි ඉස්කෝලේ කියන්නේ. මම පුංචි කාලේ ඉඳන් නර්තනය හැදෑරුවා. මේ නාට්‍යයේ නර්තන ගුරුවරියකගේ චරිතය මට නිරූපණය කරන්න ලැබුණු නිසා මගේ නර්තන හැකියාවත් පෙන්වන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඇය සල්ලිකාර පවුලක හැදුණු වැඩුණු තරුණියක්. නමුත් කලාවට තිබෙන ආදරය නිසාම පිටිසර ගමකට ගිහින් දරුවන්ට නර්තනය උගන්වනවා. මම හරිම ආසාවෙන් කරන ආදර චරිතයක්.


 

විහාරාගෙයි සැබෑ ජීවිතේ දමිත්‍රිගෙයි සමානකම් තියෙනවා නේද?


විහාරයි මමයි සමානයි කියලා තමයි මට දැනෙන්නෙ. මමත් සරලව ජීවත් වෙන්න කැමැතියි. නර්තනයටත් ආදරෙයි. ඒ නිසා විහාරාගේ චරිතය තුළ මම මාවත් දකිනවා.


 

මේ චරිතය තුළ දමිත්‍රි ට තිබුණු අභියෝග මොනවද ?


මේ චරිතය ගලාගෙන යාමේදි අභියෝග කිහිපයකට මුහුණ දෙන්න වෙනවා. ‘විහාරා‘ කියන්නේ වයසින් අඩු චරිතයක්. නමුත් කතාව ගලාගෙන යද්දි ඇතැමුන් එක්ක ඇයට සටන් කරන්න වෙනවා. මම මීට කලින් කළ චරිතයටත් වඩා මේ චරිතය වෙනස්. සියලු දෙනාගේ සහය එක්ක ඒ චරිතය සාර්ථක කරගන්න ලැබෙනවා කියලා හිතනවා.


 

දමිත්‍රි ගේ රංගනයට මේ වෙනකොට හොඳ ප්‍රතිචාර ලැබෙනවද?


ලැබෙන ප්‍රතිචාර ගැන ගොඩක් සතුටුයි. ‘ඉස්කෝලේ‘ ටෙලි නාට්‍ය විකාශය වෙන්න ගත්ත දවසේ ඉඳන් නාට්‍යයට වගේම විහාරට බොහො දෙනෙක් සමීපව දැනෙනවා. දැන් ගොඩක් අය මට කතා කරන්නෙත් විහාරා ටීචර්, නැත්නම් චූටි ටීචර් කියලා. ඒ වගේ ප්‍රේක්ෂකයන්ට ළං වෙන්න ලැබීම ගැන සතුටුයි.


 

ප්‍රවීණයන්ගෙන් හොඳ සහයක් ලැබෙනවාද?


‘ඉස්කෝලේ‘ නාට්‍යයෙත් මට අත්දැකීම් බහුල ප්‍රවීණයන් එක්ක තමයි වැඩ කරන්න ලැබිලා තියෙන්නේ. ප්‍රවීණයන්ගෙන් ලැබෙන ඒ සහය එක්ක තමයි මට මේ ගමන එන්න ලැබුණේ. මුළු නාට්‍ය කණ්ඩායම ම හොඳ සහයෝගයකින් වැඩ කරනවා.


 


දමිත්‍රි කියන්නේ රංගනයට එන්න හීන දැකපු කෙනෙක්ද?


මම රංගනයට එන්න හීන දැක්ක කෙනෙක් නෙමෙයි. හැබැයි නර්තනය නිසා මම කලාවට කිට්ටු වුණා. 2019 අවුරුද්දේ මම දෙරණ අවුරුදු කුමරිය වුණා. ඒ තරගයේ දී අපේ ලස්සනට වගේම අපේ හැකියා ගැනත් අවධානය දුන්නා. අවුරුදු කුමරිය තරගයෙන් පස්සේ තමයි මට රංගනයට එකතු වෙන්න අවස්ථාව ලැබුණේ.


 


ඒ කියන්නේ රංගන ශිල්පිනියක් වීම අහම්බයක්?


රංගනයට එන්නේ මම අහම්බයකින්. මුලින්ම මම රංගනයට එකතු වුණේ ‘දෙරණ‘ නාලිකාවෙන්ම විකාශය වුණු ‘පා වෙලා වලාකුළේ ඒවිද අම්මා‘ නාට්‍යයෙන්. රංගනය ගැන බලාපොරොත්තුවක් නොතිබ්බට අහම්බෙන් හරි රංගනයට එකතු වෙන්න ලැබීම ගැන මට අද සතුටුයි. රංගන ශිල්පිනියක් වීම නිසා අද මට බොහෝ දෙනෙකුගේ ආදරය ලැබෙනවා. ඒ ආදරය ඇත්තටම වාසනාවක්.


දමිත්‍රි වැඩ ගොඩක පේන්න නැත්තේ ලැබෙන ආරාධනා අඩු නිසාද?


ආරාධනා ලැබෙනවා. හැබැයි මම බොහෝ වෙලාවට තෝරාගන්නේ කාලෙකට එක නාට්‍යයක් පමණයි. එතකොට කරන නිර්මාණයට මට සාධාරණයක් කරන්න පුළුවන්. මම කැමැති හොඳ නිර්මාණ තෝරා ගෙන ගැලපෙන දෙයක් කරමින් හොඳ ගමනක් යන්න. මම හිතනවා හොඳ එක නිර්මාණයක් කළොත් ප්‍රේක්ෂක හදවතේ දිගු කාලයක් රැඳෙන්න පුළුවන් කියලා.


 


අහම්බෙන් එන්න ලැබුණ ක්ෂේත්‍රයේ දැන් එහෙනම් දුර ගමනක් යන්නයි බලාපොරොත්තුව ?


අහම්බෙන් එන්න ලැබුණට මම දැන් රංගනයට ආදරෙයි. නමුත් රංගනය ගැන මට තව බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඒ දේවල් ඉගෙන ගෙන රංගනයේ දිගු ගමනක් යන්න බලාපොරොත්තුවක් තියෙනවා.


 

ඔබ රාමුගතව වැඩ කරන කෙනෙක්ද?


මම මටම රාමුවක් දාගෙන ඉන්නේ. ඒ රාමුව ඇතුළේ මට ගැළපෙන දේවල් තීරණය කරනවා. දැන් මට අවුරුදු 24යි. ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දෙකක් ලබපු අත්දැකීම් එක්ක තමයි මම සීමා ඇතුව වැඩ කරන්නේ. මට නොගැළපෙන දෙයක් අතහරින්න දෙපාරක් හිතන්නේ නැහැ.


ඔබේ රැකියාවට රංගනය බාධාවක් වෙන්නේ නැද්ද?


මම බැංකුවක රැකියාවක් කරනවා. මගේ රංගන කටයුතුවලටත් ආයතනයෙන් හොඳ සහයක් ලැබෙනවා. ඒ නිසා කාලය කළමනාකරණය කරගෙන රංගනයයි වෘත්තියයි දෙකම සාර්ථකව සමබරව කරන්න කැපවෙනවා. මොකද මගේ ගමනට ඒ දෙකම වැදගත්.


 


රංගනය වෘත්තිය කරගන්න බලාපොරොත්තුවක් තියෙනවාද?


මම රංගනය කරන්නෙත් වෘත්තීය මට්ටමෙන්. එයිනුත් මම ආදායමක් ලබනවා. නමුත් කරන රැකියාව අතහැරලා රංගනය විතරක්ම කරන්න අදහසක් නැහැ.


 


මේ ක්ෂේත්‍ර‍ෙය්දී බොහෝ වෙලාවට ගොසිප් හැදෙනවා. මේ ගමනෙදි ඔබටත් ඒ වගේ දෙයකට මුහුණ දෙන්න වුණොත්?


කොච්චර හොඳට හිටියත් මේ ක්ෂේත්‍රයේදි සමහරු රංගන ශිල්පිනියන්ට ගොසිප් හදනවා. විවේචනය කරනවා. නමුත් අපි පුළුවන් තරම් කතාවක් හදාගන්නේ නැතිව ඉන්න උත්සාහ කරන්න ඕනේ. මේ ක්ෂේත්‍රයේ වැඩ කරද්දි ඕනම දෙයකට මුහුණ දෙන්න හොඳ හයිය හිතක් තියෙන්නත් ඕනේ.


 

සිනමාවට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?


දැනට නම් මම සම්බන්ධ වෙලා ඉන්නේ ටෙලි නාට්‍යවලට සහ වෙළෙඳ දැන්වීම්වලට. සිනමාවට සම්බන්ධ වෙන්නත් මම කැමැතියි. සිනමා නිර්මාණයකටත් මට ආරාධනා ලැබුණා. නමුත් එය බාරගන්නවද නැද්ද කියලා තවම තීරණය කළේ නැහැ. හොඳ සිනමා නිර්මාණයකින් ඉදිරියෙදි ප්‍රේක්ෂකයන් අතරට එන්න ලැබුණොත් ඒ අවස්ථාව බාර ගනීවි.


 

දමිත්‍රි දැන් පෙම්වතියක්ද?


ඒකට උත්තරය තව ටික කාලයකින් දෙන්නම්