රට යන්න ගත්තු මගේ තීරණය වෙනස් වුණේ හඳයා නිසයි - ධනංජය සිරිවර්ධන

Tuesday, March 02, 2021 , 0 Comments




ඔහු මෙලොව හුස්ම ගැනීම අරඹන්ම කලාවත් සමඟිනුයි. එයින් ලද පන්නරයෙන් ඔහු මේ වන විට  බොහෝ දුර ගමන් කර හමාරය. “ධනංජය සිරිවර්ධන” නම ඇසූ පමණින් ඔහු රඟපෑ චරිත එකින් එක මනසේ චිත්‍රපටයක් සේ ඇදෙන්නේ ඔහුගේ රංගනයේ එකී සාර්ථකත්වය නිසායි. ඉතිං ඔහුගේ අලුත් තොරතුරු ගැන පුවත්පතකට මෙලෙස කියා තිබුනා.



කොහොමද මේ දවස්වල ජීවිතේ?

සුපුරුදු පරිදි වැඩ කටයුතු කරගෙන සතුටින් ජීවිතය ගෙවනවා.


කලා ජීවිතේ “අයනු ආයනු” කියවන්න කලා පවුලේ ආභාසය ශක්තියක් වුණාද?

මා මුලින්ම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ තාත්තා අධ්‍යක්ෂණය කරපු "නේත්‍රාංජලී” ටෙලි නාට්‍යයෙන්. ඇත්තටම ඒ වෙනකොට මං රංගනය ගැන මෙලෝ හසරක් දැනන් හිටියෙ නැහැ. ඒක ඉතාමත් සුළු චරිතයක්. එහි අසාර්ථක රංගනයක නිරත වෙලත් වෘත්තියක් විදිහට මං රංගනය තෝරා ගන්නවා. ඉන්පසුව පවුලේ නිර්මාණවලින් බැහැර වෙලා ගුරුවරුන්ගෙන් රංගනය ගැන අධ්‍යාපනය ලබලා මගේ ඇතුළේ ඉන්න රංගන ශිල්පියාව හොයා ගන්නවා. ඒ ආකාරයේ වසරක පුහුණුවීමකින් පසුව අශෝක හඳගමගේ “මේ පාරෙන් එන්න" නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. එහිදී මට තේරුම් යනවා මගේ මුල් රංගනයේ  ගොඩක් අඩුපාඩු තිබුණා කියලා. ඇත්තටම රඟපාන්න වගේම තමාගේ රංගනයේ අඩුපාඩු දකින්නත් පවුලෙන් ලැබුණ රංගන ආභාසය මට ලොකු ආශිර්වාදයක් වුණා. මං එළියට ආවේ පවුලේ නිර්මාණවලින් නෙමෙයි. හැබැයි කලා ආභාසය මට නොතිබුණා නම් මගේ ගමන මීට වඩා වෙනස් වෙන්නත් තිබුණා.


පවුලේ ආභාසය තමන්ගේ අනන්‍යතාව ගොඩනඟාගන්න බාධාවක් කියලා හිතුණ නිසාද පවුලේ නිර්මාණවලින් තොරව වෙනත් නිර්මාණ තුළින් මිනිසුන් අතරට ගියේ?

 රංගනය ඇතුළේ හොඳ දෙයක්, මතක හිටින දෙයක් කරලා කලාවෙන් අරූස්වෙලා රට යන්නයි මගේ අදහස තිබුණේ. ඒත් හඳයගේ “මේ පාරෙන් එන්න” නාට්‍යයට ලැබුණු ප්‍රතිචාර වගේම ඒත් එක්කම ලැබුණු ආරාධනා නිසා ඒ අදහස වෙනස් වුණා.


රංගන පරාසය ඇතුළේ ඔබගේ හැකියාවන් උපරිමයෙන් ප්‍රදර්ශනය කළා කියලා විශ්වාස කරනවාද?

තාම නැහැ. ඒ කාලේ රගපාපු නාට්‍යයක් මෑත කාලෙදි බලද්දි මට හිතුණා දැන් ඒක රගපෑවා නම් කොච්චර වෙනස් වෙයිද කියලා.. හැමදේමත් එක්ක දැන් මං පරිණත වෙමින් පවතිනවා. මං මහා නළුවෙක් කියලා හිතන්නේ නැහැ. හැබැයි මං එදාට වඩා සාර්ථකයි කියලා විශ්වාස කරනවා.


මෙතෙක් රඟනොපාපු රඟපෑවා නම් හොඳයි කියලා හිතෙන චරිතයක් තියෙනවද?

හර්මන් හෙන්ගේ “සිද්ධාර්ථ" කියන පොතේ සිද්ධාර්ථ ගේ චරිතය කරන්න මං කැමැතියි. ලංකාවේ මුල්ම ඩිජිටල් චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙන්න ඔබට අවස්ථාව ලැබුණා න්ද? කොහොමද ඒ අත්දැකීම. මං ඒක හරියට දන්නේ නැහැ පළමුවැනි ඩිජිටල් චිත්‍රපටයද කියලා. ඒක මාධ්‍යවේදී නිමල් ලක්‍ෂපතිගේ අලුත් මානයක වැඩක්. ඒකට රඟපෑවේ බිමල් අයියයි, උපේක්ෂයි, මමයි. ඒක කාලෙකට ඉහතදි කරපු චිත්‍රපටයක් වුණත් අදටත් ආසාවෙන් බලන්න පුළුවන්.


ඔබ සහ සම්පත් ජයවීර එකතු වෙලා කරගෙන යන “ප්‍රාණ” ගැනත් කතා කරමු නේද?

මේ වෙනකොට "ප්‍රාණ" තියෙන්නේ අප්‍රාණික තත්වයක. ඒකට ප්‍රධානම හේතුව මේ දවල පැතිරිලා තිබෙන වසංගත තත්වය. "ප්‍රාණ" කියන්නේ සජීවී රංගන වැඩමුළුවක්. එය ලංකාවේ හතරදිග්භාගයෙන්ම ළමයි සහභාගි වුණ වැඩමුළුවක්. මේ වසංගත තත්ත්වය අවසන් වුණු දවසක ප්‍රාණ යළි පණ ලබයි.


එම රංගන පාසලෙන් අධ්‍යාපනය ලබන ළමයින්ට රංගන අවස්ථාව උදා කරලා දෙනවද?

 යම් නිර්මාණයකට ආධුනික රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් සොයනවා නම් අපේ පාසලේ දරුවන්ගෙන් එම අවස්ථාව උදා කර දිය හැකියි. නමුත් ඒ සෑම දරුවකුටම රංගන  වරම් ලබාදීමේ හැකියාවක් නැහැ. දරුවන් විශ්වවිද්‍යාලයකට ගියත් රැකියාවක් ලබා දෙන්නේ නැහැනේ. අපිත් කරන්නේ යම් අවස්ථාවක් උදා කරගැනීමට මාර්ගය සකස් කිරීමයි. එයින් ඔවුන්ට ඕනෑම රංගන පරීක්ෂණයක් හොඳින් සමත් වීමට ඉඩ සැලසෙනවා.


රංගනයට පිවිසෙන්න එය හැදෑරීමක් කළ යුතුමද?

නැහැ. මං විශ්වාස කරන්නේ නැහැ හැදෑරීමක් අවශ්‍යයි කියලා. ඊට හොඳම උදාහරණය  ජෝ අබේවික්‍රම මහත්මයා. ඔහු රංගනය හැදෑරීමක් නොකළාට ලොකු සමාජ අවබෝධයත්, ජීවිත අවබෝධයක් තිබූ කෙනෙක්. සමාජය ගැන, මානවයාගේ ස්වභාවය ගැන දැනීම ඔහුව ශ්‍රේෂ්ඨත්වයට පත් කළා. කෙනෙක්ට අඬන්නේ කොහොමද, හිනාවෙනෙ කොහොමද කියලා කියා දෙන්න විධියක් නැහැ. අප කියා දෙන්නේ මානවයාගේ ස්වභාව. එවිට රංගනය ඉබේම ඉගෙනගන්න පුළුවන්.


පුංච් පවුලේ විස්තර කොහොමද?

චූටි දූ නිසා දැන් හරිම කාර්ය බහුල ජීවිතයක් ගත කරන්නේ. ගොඩක් රැයවල් ගත කරන්නේ නිදි වර්ජිතව. දැන් අම්මගෙ හරි තාත්තගෙ හරි අතේත්ම ඉන්න පුරුදු වෙලා. ඒ නිසා හරිම අවිවේකී නමුත් සතුටින් පිරි කාලයක් ගත කරන්නේ ..... 


දුවෙක්ගේ පළමු පෙම්වතා තමයි තාත්තා.. කොහොමද ඒ ආදරය දැනෙන්නේ ?

ඒක හරිම සුන්දර, අපූරු හැඟීමක්. හැකි සෑම මොහොතකම චූටි දූත් එක්ක කාලය ගත කරන්න තමයි මං හැම තිස්සේ උත්සාහ කරන්නේ..