මං කාත් එක්කවත් තරහා නෑ. කාටවත් වෛර කරන්නේ නෑ - වොල්ගා කල්පනි

 


ඇය කාලයෙන් කාලයට කතා මවන්නියක්. බොහෝ හැලහැප්පිම් බාධක හමුවේත් කට පුරා සිනහවන්නියක්. රිදුණු තැන් සෙමින් අතගා ඇයගේ ගමන නොනැවතී අධිෂ්ඨානයෙන් යන්නියක්. පුංචි සිරුරක මහා දරාගැනීමේ හැකියාවක් ඇති ලොකු හදවතක උරුමක්කාරියක්. ඇය වොල්ගා කල්පනියි.


ඉතිං වොල්ලා කොහොමද මේ දවස්වල ජීවිතේ? 

වෙනදා වගේම නිදහසේ සතුටින් ඉන්නවා. කලා ජීවිතයේ මුලකුරු කියැවෙන්නේ කොයි කාලෙදීද? සිසිර ප්‍රේමප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් ජාඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනුබද්ධිත නාට්‍ය සංගමය මගින් රාජ්‍ය නාට්‍ය උළෙලට නාට්‍ය සිදුකළා. මට පුංචි කාලේ ඒ සඳහා රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ජයප්‍රකාශ් ශිවගුරුනාදන් කියන අධ්‍යක්ෂවරයා යටතේ ප්‍රථම වතාවට මට රඟපාන්න අවස්ථාව ලැබෙනවා.


රංගනයට පිවිසුණාම නිවේදනය අමතක වුණාද?

රඟපෑම් කරන කාලයෙත් මං යම් යම් නිවේදන වැඩකටයුතුවලට සම්බන්ධ වුණා. මේ ළගදීත් හිරු ටී.වී. එකේ අලුත් අවුරුදු වැඩසටහන් කිහිපයක්ම මං සිදුකළා.


බොහොවිට කලාකරුවන්ට තම පෞද්ගලික ජීවිත රහසිගතව පවත්වාගෙන යන්න බැහැ. එහිදී ප්‍රේක්ෂකයන්ගේ ආදරය සහ රුචිකත්වය වෙනස් වෙනවාද?


ඒක කොහෙත්ම වෙන්නේ නැහැ කියලා මං විශ්වාස කරනවා. පෞද්ගලිකව මටත් ඒ සම්බන්ධයෙන් අත්දැකීමක් තියෙනවා. පසුගිය කාලයේ මට ආදරේ කරපු ප්‍රේක්ෂකයන්ට මගෙන්  ඈත් කරන්න කිහිපදෙනෙක් ලොකු සටනක යෙදුණා. ඒත් ප්‍රේක්ෂකයන් හරිම බුද්ධිමත්. මං මොන තත්වයක හිටියත් එයාලා මා වටා සිටියා. ඒ ආශීර්වාදය මට ලොකු ශක්තියක් වුණා.


හැලහැප්පිම් මැද පතුලටම වැටිලා ඉන්න මොහොතකත් වොල්ගා කල්පනීගේ හිනාව අතුරුදන් වුණේ නැහැ. කොහොමද ඒ තරම් හිත ශක්තිමත් කරගත්තේ?

ඔව්. ගොඩාක් දෙනෙක් අහනවා “කොහොමද ඔයා ඔහොම හිනාවෙලා ඉන්නේ කියලා” ඇත්තටම මං හිනාවෙන්නේ අවංකවමයි. මොකද මං කාත් එක්කවත් තරහා නෑ. කාටවත්  වෛර කරන්නේ නෑ. ඇත්තම කිව්වොත් මම කාවවත් අදාළ කරගන්න කෙනෙක් නෙමෙයි. එහෙම ජීවත් වුණොත් ඕන කෙනෙක්ට හිනාවෙන්න ඒ තරම් අමාරු නැහැ.


ආදරය ගැන මොකද හිතෙන්නේ?

ආදරය කියන්නේ හරිම සුන්දර දෙයක්. ඒක කිලිටි නොකර හරි පූජනීයව පවත්වා ගැනීමයි වැදගත්. 


බොහොමයක් රංගන ශිල්පීන්, ශිල්පිනියන් තෝරා බේරා ගත් නිර්මාණවලයි දායක වෙන්නේ. වොල්ගා කල්පනි ඉන්නෙත් ඒ කුලකයේමද?

ඔව්. මාත් ආරාධනා කරන හැම නිර්මාණයටම දායක වෙන්නේ නැහැ. ඒක මට මගේ වාරණවලට සුදුසුද කියලා සලකා බලලයි ඒවාට දායක වෙන්නේ . ඒ නිසායි මං හැම තිස්සෙම ටී.වී එකේ පේන්න නැත්තේ.


ජීවිතේ අහිමිවීම් දරාගෙන ශක්තිමත්ව නැඟී සිටියා වත්ම අලුත් ආදරයකටත් හිතේ ඉඩක් වෙන් කරන්න අදහසක් තියෙනවද? 

නැහැ. තාම එහෙම බලාපොරොත්තුවක් නැහැ. ඒ තරමටම තාම මගේ හිත හැදිලා නැහැ. හිත හැදෙයිද නැද්ද කියලවත් මං දන්නේ නැහැ.


විශ්මි ජයනිකා






Previous Post Next Post