දැන් පැණිවළලු බිස්නස් එකක් කරනවා; ලොකුවට බිස්නස් නැහැ - අජිත් ලොකුගේ

Friday, March 12, 2021 , 0 Comments




 චරිතාංග රංගන ශීල්පීන් අතර, කැපී පෙනෙන චරිතයක් තමයි අජිත් ලොකුගේ කියන්නේ. වේදිකාව, ටෙලිනාට්‍ය, චිත්‍රපටවල චරිතවලට ජීවය දෙන ඔහු කාලෙකට පස්සේ ඔහගේ අලුත් තොරතුරු ගැන පුවත්පතකට මෙලෙස කියා තිබුනා.



මේ දවස්වල ඔබ වෙළෙඳාම් කටයුතුවල නිරත වෙලා සිටින බව අපි දකිනවා. කොහොමද අතමිට සරුද?

‘මැටි කඩුළු’ ටෙලිනාට්‍යයේ පැණි වළලු බිස්නස් කරගෙන යනවා. එය නම් කිසි අවුලක් නැහැ. ‘හදවිල අරණ’ ටෙලිනාට්‍යයේ ව්‍යාපාරයක් කරගෙන යනවා. සීගිරිය ළඟ එකේ නම් ලොකු බිස්නස් එකක් නැහැ. හරියට මම හිතන්නේ කොරෝනා ප්‍රශ්නය නිසා. සංචාරකයන් පැමිණීම අඩු නිසා වෙන්න ඇති නේද. බලමුකෝ ඉදිරියේදී.


ගැමි චරිතවලට ඔබව තෝරා ගන්නේ ඔබේ බාහිර පෙනුමත් නිසා වෙන්න ඇති?

ඔව් මමත් හිතන්නේ එහෙම තමයි. අනෙක මමත් එවැනි චරිත කරන්නේ පුදුමාකාර ආශාවකින්. මොකද එවැනි චරිතවල අපිට ඉගෙන ගැනීමට බොහෝ දේවල් තියෙනවා. බොළඳ චරිතවලට වඩා.


ඔබ නිර්මාණය කළ ‘විහඟ ගීතය’ ටෙලිනාට්‍යයෙන් පසු ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය අත්හැරියාද?

ටෙලිනාට්‍යයක් මම නිර්මාණය කරලා තියෙන්නේ. අධ්‍යක්‍ෂණය මම අත්හැරලා නැහැ. නිර්මාණයක් කිරීමට ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව නිෂ්පාදකවරයෙක් සොයා ගැනීමට අපහසු වීම තමයි. ඒ වගේම හොඳ කතා පිටපතක් නැති එක. මම කැමැති නැහැ එහෙම ආවාට ගියාට නිර්මාණ කරන්න.


වර්තමානයේ හොඳ නිර්මාණ කිහිපයක් දැකගන්නට ලැබෙනවා. ගුණාත්මක කලාවක මගසලකුණුද මේ?

ගුණාත්මක නිර්මාණ කලාවක් තිබුණු රටක් මේක. විදේශීය ටෙලිනාට්‍ය පිළිලයක් වුණා අපේ කලාව නැති වී යෑමට. හැබැයි අපි රැවටුණාට ලංකාවේ මිනිසුන් බුද්ධිමත්. ඔවුන් රසය ගැන දන්නවා. කලාව දැන් ව්‍යාපාරයක් බවට පත්වෙලා. එහෙම වුණාම තමයි ඔය හරයක් නැතිව නිර්මාණ බිහිවෙන්නේ.


වේදිකාව ඔබේ මහගෙදර වගෙයි අපි දකින්නේ. නව පරපුර වේදිකාවට කිසි රුචියක් නැති බව දකිනවා. වේදිකා රංගනය අත්‍යවශ්‍යමද නළුවෙක් වීමට?

එහෙම අත්‍යවශ්‍යමයි කියලා නැහැ. නමුත් වේදිකාවෙන් හොඳ දැනුමක්, අභ්‍යාසයක් ලැබෙනවා. එතකොට යන ගමනට පොඩි ගැටීමක් එනවා. මමත් මේ ක්‍ෂේත්‍රයට 1983 ඉඳලා අද දක්වා සුවිශේෂී නිර්මාණකරුවන්ගේ වේදිකා නාට්‍යවල රඟපෑවා.


වසන්ත විතාරණගේ