ඉන්ස්ටර්ග‍්‍රෑම්, ෆේස්බුක් හරහාත් ආදර යෝජනා ගලාගෙන එනවා - ශනුද්‍රි ප්‍රියසාද්

Wednesday, February 10, 2021 , 0 Comments




ප්‍රියසාද් පවුලේ බඩපිස්සි එහෙමත් නැති නම් අක්කලා දෙන්නගේ චූටි නංගි මේ දවස්වල හරි ජනප්‍රියයි.තාදි නිරාෂා ලෙසින් ද ගමනේ යා මයුරි ලෙසින් ද සති අන්තයේ ඇය ඔබගේ ආලින්දයට ගොඩ වෙනවා. මේ විදිහේ වෙනස්ම චරිත දෙකකට ජීවය දෙන්න ෂනුට හිතුණේ ඇයි කියන එක ගැන ශනුද්‍රි පුවත්පතකට මෙලෙස විස්තර කියා තිබුනා.


 

කලෙකට පස්සේ ටෙලිනාට්‍ය දෙකකින් දකින්න ලැබෙනවා. ලැබෙන ප‍්‍රතිචාර එහෙම කෙහොමද?

 මගේ ටෙලිනාට්‍ය දෙකක් විකාශනය වෙන්නෙ ගොඩක් කාලයකට පස්සෙ. මේ ටෙලිනාට්‍ය දෙකම විකාශනය වෙන්නේ මිනිස්සු ගොඩක් ආදරය කරන නාළිකා දෙකක් වන ජාතික රූපවාහිනියේ සහ ස්වාධීන රූපවාහිනියේ. මට ගෙදරට ලියුම් එනවා. අඩුම තරමේ දවසට එක කෙටි පණිවිඩයක් හරි ජංගම දුරකථනයට ලැබෙනවා. චරිත දෙකේ වෙනස ගැන කියනවා. හරිම ආදරණීය ප‍්‍රතිචාර තමයි ලැබෙන්නේ.

 

ශනු කැමැති මොන චරිතයටද?

 එහෙම කියන්න බැහැ. මම මේ චරිත දෙක භාර ගත්තේ චරිත දෙකම දෙවිදිහක් නිසා. මට චරිතයක් ලැබුණහම මම හරියට තෝරනවා එකක් කියලා කියන්න බැහැ. මම මේ චරිත දෙකටම කැමැතියි.

 

තාදි තිරාෂා එහෙමත් නැති නම් ගමනේ යා මයුරි මේ චරිත දෙකෙන් ඔබට වඩාත් සමීප?

 ටෙලි නාට්‍ය දෙකේම කරන්නේ තරුණ ගැහැනු ළමයකුගේ චරිතයක්. තාදි තිරාෂා මගේ ජීවිතයට සමීප කරන්න අමාරුයි. මයුරි කියන්නේ ආමි කමාන්ඩර් කෙනෙකුගේ දුවකගේ චරිතයක්. ඉතින් ඒකත් මගේ ජීවිතයට ලොකුවට සමීප නැහැ. සමහර තැන් තියෙනවා සමාන වෙන.

 

 මෙවර වෙනස්ම චරිත දෙකක් තෝරා ගන්න හිතුවේ ඇයි?

 මට හරියට ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබෙනවා. මට වැඩක් ආවහම හරියට තෝරනවා මට කරන්න තියෙන්නේ මොනවද? අලූත් දෙයක් කරන්න තියෙනවාද කියලත් හොයලා බලනවා. අනික මම රඟපාන පිරිසත් බලනවා.

 

 කොච්චර කාලයකට පස්සෙ ද මේ නාට්‍ය දෙක භාර ගත්තේ?

 ටෙලිනාට්‍ය දෙකක දකින්න ලැබේන්නේ අවුරුද්දකට විතර පස්සේ. මේ දිනවල මම දායක වුණු දැකපු නැති හීන තියන මිනි සීරියස් ටෙලිනාට්‍ය මගින් ද දකින්න ලැබෙනවා. මුළු කතාවම තියෙන්නේ කොටස් තුනක් හතරක් විතරයි. සති අන්තයේ සිරස නාළිකාව හරහා විකාශනය වෙනවා.

 

 ශනු මෙගා වැඩවලින් ඈත් වුණාද?

 ඒක මම හිතලා කරපු දෙයක් නෙමෙයි. මට ආරාධනා ලැබුණට පස්සේ මම හිතුවා වෙනසකට හොඳයි කියලා. හැමදාම මාව එක ටෙලිනාට්‍යයකින් දැකලා මිනිසුන්ට එපා වෙනවාට වඩා හොඳයි මතකයේ සිටින නාට්‍යයකට දායක වෙනව කියන අදහසේත් හිටියා. එහෙමයි කියලා මෙගා වැඩ භාර නොගෙන ඉන්නේ නැහැ. බොහෝ වෙලාවට මාව හිරු නාළිකාවේ මෙගා වැඩකින් ඉදිරියේදී දැක ගන්න ලැබේවි.


 

 ඔයා වැඩක් භාරගන්න කොට දිනක්ෂිගෙන්, ශේෂාද්‍රිගෙනුත් අහනවද?

 ඔව්. අක්කලා දෙන්නා, අම්මා, තාත්තා කියන හැමෝටම මම කියනවා ඒ ගොල්ලන්ට මම මගේ හැමදේම කියනවා. ටෙලිනාට්‍ය ගැන ගොඩක් වෙලාවට අහන්නේ අක්කාගෙන්. තාත්තාගෙන් චිත‍්‍රපට ගැන විමසනවා.

 

 ඔය තුන් දෙනාගෙන් වැඩිපුර ජනප්‍රිය ඔයා නේද?

 එහෙම නැහැ. ලොකු අක්කාට තමයි ගොඩක් දෙනෙක් ආදරේ කරන්නේ. තුන් දෙනාටම කැමැතියි. සමහර වෙලාවට මට ආස නැහැ. ලොකු අක්කාට ආසයි. මට ආස නැහැ අක්කලා දෙන්නට ආසයි. මට නම් ඒ ගැන හිතාගන්න බැහැ.

 

 පාරට බැස්සම ශනුට මිනිස්සු මොනවද කියන්නේ?

 මම ගොඩක් වෙලාවට කඩේ යනවා මගේ දේවල් මම තනියම කර ගන්නවා. ඒ වගේ වෙලාවට පාරට බැස්සහම කොහේ හරි ඉන්න කොට ළඟට ඇවිත් ගොඩක් දෙනෙක් කතාබහ කරලා යනවා.

 

 මේ දිනවල චිත‍්‍රපටයක වැඩ කියලත් ආරංචියි?

 ඔව්. මම මේ දවස්වල චිත‍්‍රපටයක වැඩ කරනවා. චිත‍්‍රපටයේ නම ආදරණීය ප‍්‍රාර්ථනා එකේ අලූත් කණ්ඩායමක් තමයි ඉන්නේ. අධ්‍යක්ෂණය වාසුල වඩුගේ. රඟපාන්නේ මම සහ නෙත්මි රොෂෙල් වගේම නවක කෙනෙක් වන රාහුල්. මම වැඩිහිටි කෙනෙක් විදිහට රඟපාන පළමු වතාව. මට ආසම හිතුණ චරිතයක් හින්දා මම ඒ චරිතය තෝරා ගත්තා.

 

 ආපහු ගීතයක් කරන්න අදහසක් නැතිද?

 මට වෘත්තීය ගායිකාවක් වෙන්න අදහසක් නැහැ. ගායනයට ආසයි. ලොකු අක්කා ගේ වෙඩිං එකට ගීතයක් කළා. ගෙදර කට්ටියත් කියනවා ගීතයක් කරන්න කියලා. හරි කෙනෙක් එක්ක හොඳ වැඩක් කරන්න ඕනෑ කියන අදහසේ ඉන්නවා.

 

ශනුට වැඩිපුර උදව් ලැබෙන්නේ දිනක්ෂි අක්කාගෙන්ද? ශේෂාද්‍රි අක්කාගෙන්ද?

 දෙන්නාගෙන්ම එක විදිහට ලැබෙනවා. අපි තුන්දෙනා හරි එකමුතුයි අපි තුන් දෙනාට අපි තුන්දෙනා ඉන්නවා. ක්‍ෂේත‍්‍රය ගැන කියා දෙන්නේ ලොකු අක්කා. අධ්‍යාපන වැඩවලට උදව් කරන්නේ පොඩි අක්කා.


 

ශනු හොඳම නිළිය වෙන්න ද සූදානම් වෙන්නේ?

 මම සම්මාන ගන්නවා කියලා බලාගෙනම රඟපාන කෙනෙක් නෙමෙයි. ඒක ඔළුවේ තියාගෙන වැඩ කළොත් මට වැඩ කර ගන්න බැරි වෙනවා. මොකද ලැබුණේ නැති නම් හිත රිද්දගනීවි. මම කැමැති මම කරන චරිතය හොඳට කරන්න.

 

රසික ප‍්‍රතිචාර වගේම ෂනුට ආදර යෝජනාත් ගලාගෙන එනවා නේද?

 

ඔව්. සමහර වෙලාවට මට ගෙදරට කෝල් පවා එනවා ඉන්ස්ටර්ග‍්‍රෑම්, ෆේස්බුක් හරහාත් ආදර යෝජනා ගලාගෙන එනවා. ඕනෑම ප‍්‍රසිද්ධ චරිතයකට රසිකයෝ ආදරෙයි කියලා කියනවා. ඒක මට විතරක් අදාළ කාරණාවක් නෙමෙයි. ඒක සාමාන්‍ය දෙයක්.

 

 ජනප්‍රියත්වය කරදරයක් වුණ අවස්ථා එහෙමත් තියෙනවද?

 සමහර වෙලාවලදී එහෙම හිතෙන  අවස්ථා තියෙනවා. අපි මේ කරන දෙයක් එක්ක ඉස්සරහට ජනපි‍්‍රයත්වය කියන දෙයත් අපි අතරම තියෙන දෙයක් වෙනවා. ඒක දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. ඒකට අපි හැඩ ගැහිලා ඉන්නේ. සීමාවන් දැනගෙන වැඩ කරන කොට ඒවා ප‍්‍රශ්නයක් වෙන්නේ නැහැ.

 

 දිනේෂ් විතාන