මම කැමැති නැහැ පවුල් ජීවිතයත් එක්ක කලාව පටලවගන්න - නිපුණිකා හේවාගමගේ

Tuesday, February 09, 2021 , 0 Comments




 මේ වසරේ ආරම්භයත් එක්කම ජනප්‍රිය රංගන ශිල්පිනියක් විවාහ වුණා. ඇයව ගොඩදෙනෙක් දැනහඳුනන්නේ ‘පබසරා’ ලෙසටයි. ඇය තමයි නිපුණිකා හේවාගමගේ. ඇයගේ සහකරුවා කලා ක්‍ෂේත්‍රයට සම්බන්ධ නව පරපුරේ ගායන ශිල්පියෙක්. ඔහු ළහිරු දිසානායකයි. ඉතින් ඇයගේ ඒ සුන්දර ජීවිතය ගෙවන විදිය ගැන ඇය පුවත්පතකට මෙලෙස තොරතුරු කියා තිබුනා..


කොරෝනා එක්කම නිපුණිකාගේ ජීවිතයට අලුත් පිටුවක් පෙරළුණා නේද?

ඔව්… පසුගිය මාසයේ 17 වැනිදා මගේ විවාහ මංගල්‍යය කටයුතු සිදුකළා. 2020 නොවැම්බර් මාසයේ තමයි අපේ විවාහ මංගල්‍ය කටයුතු සිදුකිරීමට තිබුණේ. රටේ තිබුණු කොරෝනා වසංගතයත් එක්ක අපිට එය කල්දැමීමට සිදුවුණා. ඒ නිසා තමයි අපි තීරණය කළේ ජනවාරි මාසයේ වෙඩින් එක ගන්න.


 අලුතින් ගෙවන ජීවිතය ඔබට දැන් දැනෙන්නේ කොහොමද?

මට එහෙම ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. එයට හේතුව අපි දෙන්නාගේ තේරුම් ගැනීම නිසා වෙන්න ඇති. මගේ පවුලෙන් වෙන් වුණා කියලා එහෙම ලොකුවට දැනෙන්නේ නැහැ. මොකද මගේ මවුපියන් වගේම ළහිරුගේ මවුපියන් එයාලාගේ දුවෙක් විදියට මාව පිළිගත්ත නිසා. මට ඉතින් ගෙදර විතරයි වෙනස් වුණේ. හැමදාමත් අම්මලාගේ හුරතලේ ඉන්න බැහැනේ. කාලයත් එක්ක ඒ හැම දේම වෙනස් වෙනවා.


ඔබේ ජීවිතය මේ තරම් ඉක්මනට වෙනස්වීම එක ගැන සතුටුද?

අනිවාර්යයෙන්ම මගේ ජීවිතයේ හැම දෙයක්ම ඒ ඒ කාලවල සුන්දර විදියට තමයි ගෙවුණේ. එය ගැන මට සතුටුයි. ඉතින් දැන් මාව තේරුම් ගත්ත හොඳ සැමියෙක් ඉන්නවා. අපේ පවුලට හොඳ බිරියක් වෙයි මම.


 නිපුණිකාව සප්‍රයිස් කරන්න නිරන්තරයෙන්ම ළහිරු උත්සාහ ගන්නවා නේද?

ඔව්… වෙඩින් එක දවසේ ඔහු ‘කුමරියේ’ සින්දුවක් නිර්මාණය කරලා අපිට අහන්නට සැලැස්සුවා. එදා මම පුදුම වුණා. ‘කුමරියේ’ සින්දුව මම වෙනුවෙන්මයි පද රචනා කරලා ගායනා කළේ. මම කල්පනා කළේ මේ තරම් වැඩ ගොඩාක් තිබුණු අවස්ථාවක ඔහුට එහෙම නිර්මාණයක් මම වෙනුවෙන් කරන්න කාලයක් තිබුණේ කොහොමද කියලා. මේ දවස්වල ළහිරු මාව එක එක තැන්වල එක්කගෙන යනවා මාව සප්‍රයිස් කරන්න.


 ‘රෑනගල වලව්ව’ ටෙලිනාට්‍ය හරහා ඔබ නැවැත ඔබේ ආදරණීය ප්‍රේක්‍ෂකයන් වෙත ළංවෙනවා නේද?

‘රැණගල වලව්ව’ ටෙලිනාට්‍ය කරලා ටික කාලයක් වෙනවා. මම එහි නිරූපණය කරන්නේ වෙනස්ම චරිතයක්. මම හිතනවා ඒ චරිතය වෙනස්ම විදියට මගේ රංගනයක් දකියි කියලා.


 ‘පබසරා’ චරිතය ඔබේ කලා දිවිය වෙනස්ම මාවතකට ගෙන ගියා?

මම හිතන්නේ අදටත් මාව ගොඩදෙනෙක් දැනහඳුනන්නේ ‘පබසරා’ විදියට තමයි. මගේ ජීවිතයේ හැරවුමක් වුණා ඒ චරිතය.


ක්‍ෂේත්‍රයේ බොහෝ රංගන ශිල්පිනියන් විවාහයත් එක්ක නිර්මාණවලට දායකත්වය අඩුබවක් අපි දැක්කා. ඔබත් ඒ තීරණය ගනීවිද?

මම ඒ තීරණය විවාහයට කලින් හිතපු දෙයක්. පවුල් ජීවිතය ගැන හිතලා මම ඒ තීරණය ගන්නේ. ළහිරුගේ කිසිම බලපෑමක් නැහැ මම රඟපාන එකට. ඒත් මම කැමැති නැහැ පවුල් ජීවිතයත් එක්ක කලාව පටලවගන්න.


වසන්ත විතාරණගේ